Monday, June 8, 2026
Epaper
Home කෙටි කතාවහොරා… මේ මොකුත්ම කිව්වේ නෑ

හොරා… මේ මොකුත්ම කිව්වේ නෑ

හිරු ඇවිදිල්ලා - පස්්වැනි කොටස

by Shanaka Lakehouse

“ඒයි… යමං බඩගිනියි.”දුලානි මේසයට තට්ටුවක් දමමින් නැඟිට්ටාය. ආහාර ගැනීමේ කාමරයට ගිය ඔවුහු පුටු දෙකක් ඇද ඉඳගත්තෝය.

“ඉතින් ඉතින් මොකෝ මනමාල කුරුල්ලා කියන්නේ.” ඇය කෑම පෙට්ටියෙන් කේක් කෑලි දෙකක් සහ චොකලට්ටුවක් එළියට ගත්තාය. ආකර්ෂණා ද සිය උණුසුම් බෝතලයෙහි වූ කිරිතේ දෙදෙනාගේ බඳුන්වලට දැම්මාය.

“විශේෂයක් කිව්වේ නෑ ඉතින්. අද උදේ තමයි ඇවිත් තියෙන්නෙ හවස හම්බවෙමු කිව්වේ. “දුලානිට උත්තර සැපයූවාය.

“ආ එහෙමද? “නළල රැලි ගන්වමින් ඔවුහු යළි සිය අසුන් කරා නැවත පැමිණියෝය.

හවස දෙකහමාර වන විට දුලානි සිය අසුනෙන් නැඟිට්ටාය. ආකර්ෂණා දුලානිගේ මුහුණ බැලුවේ විස්මයෙනි.

“ආකාෂි මට අමතක වුණා කියන්න.

ඔයා අද පරක්කු වෙන නිසා ඔයාට කරදර කරන්න හිතුවේ නැහැ. පහන්ට මම එන්න කිව්වා පොඩි වැඩ වගයකට එළියට යන්න තියෙනවා. අපි ගිහින් එන්නම් සුදු….” කියමින් පිටව ගියාය.

හවස හතරහමාර පහුවන විට නුගේගොඩ ගුවන් පාලම අවසානයේ වූ බස් නැවතුමෙහි ඇය එනතෙක් ඔහු රැඳුණේය. මහරගම දෙසින් ආ එකසිය තිස් අට කොට්ටාව පිටකොටුව බසයෙන් බසින ඇය, ඔහුව දුටුවාය. දෙන්නාම හෙමින් හෙමින් විත් සුපුරුදු කෝපිහලට ගොඩවූහ.

ළා එළිය මිශ්‍ර අඳුරෙහි සියුම් සංගීතය මනසට ගෙනාවේ මිහිරකි. සහායකයා මෙනුපත මේසය මත තැබීය. ඔහු ඇය දෙස බැලීය.

“මොනාද බොන්නෙ?” ඇය ඇසුවාය.

“අමෙරිකන් කැපචිනෝ දෙකක් මල්ලි”ඔහු සහායකයාට කීය. තම රුචිය දන්නා බැවින් ඔහු එසේ කීය.

“අප්පච්චිට කොහොමද ?”

කෝපි එනතෙක් ඇය නිහඬ බව බින්ඳාය.

“අනේ මන්දා ආකාෂි… මට තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක.

ලොකු සුවයක් නෑ “දිගු සුසුමක්ද හෙළීය.

“ඇයි? තවත් පොඩි පොඩි ප්‍රශ්නත් තියෙනව ද?” ඇය විමසුවාය.

“ගැහැනු කොහොමත් පොඩි පොඩි දේවල් එක්ක ගොඩක් දුර යනවා” ඔහු ඈත බලාගෙන කීය.

“ගැහැනු හිත් එහෙම තමයි. ඒ හිත් කියවන්න පුළුවන් අය තමයි එයාලගේ ආදරය අඳුනගන්නෙ” ඇය කීවාය.

දෑත් සලමින් ඇතුළට එන යුවතිය දැක ඇය පුදුම වූවාය.

“දුලානි ඔයා?” ඇයට කියවිණි.

“ඔව්. ඔව්. උඹලට උදැල්ල දාන්න ආවා නෙවෙයි “කියූ ඇය පහන්ටද පුටුවක් ළං කර දී ඔහු අසලින් හිඳගත්තාය.

“ඉතින් මිත්‍රයා. කොහොමද?” පහන් ඇසුවේ අරවින්දගෙනි.

අරවින්ද ඔවුන්ට තවත් කෝපි දෙකක් ඇණවුම් කළේය.

“ඉතින් සප්‍රයිස් කරන්න තමයි නොකියා කඩා පැන්නේ.

ඔයගොල්ලො ප්‍රශ්නයක් කරගන්න එපා. හැබැයි අරවින්දවත්, ආකර්ෂණාවත් මේ කිසි දෙයක් දන්නේ නෑ “ඇය රහස හෙළි කරන්නට පෙර කීවාය.

“ඔන්න දෙන්නටම ආදරෙන් ඇරයුම් කරනවා. මගේ බර්ත්ඩේපාටිය. කාලෙකින්ම මුකුත් කළේ නෑනෙ. ඔන්න අමතක කරන්න බෑ දිනය ඡුනි අට. වෙලාව හවස හයයි තිහ. තැන ටැන්ජරින් බීච් හොටෙල් කළුතර. ඩබලම එකට අල්ලගන්නයි හිටියේ.”

ඇය සිනහසෙමින් කීවාය.

“හොරා මේ මොකුත්ම කිව්වේ නෑ.” ආකර්ෂණා කිව්වාය.

“මේ අපිට සුනංගු වෙන්න බෑ. ඔන්න අපි කැපුණා”

බිලද ගෙවා දමමින් ඔවුහු පිටව ගියෝය.

“පිස්සු කෙල්ල” අරවින්ද කීවේය.

“අනේ ඔව් හරිම හොඳයි. පණ වුණත් දෙන්න ලෑස්ති කෙල්ලක්”

ඇය මිතුරිය කෙරෙහි උපන් සෙනෙහසින් කීවාය. අරවින්ද අමතක වූ දෙයක් සිහි වූ ලෙසින් තම බෑගයෙහි වූ පාර්සලය ගෙන ආකර්ෂණාට දිගු කළේය.

“අම්මා දුන්නේ ඔයාලට දෙන්න කියලා. ”

අරවින්දගේ දුරකතනය හැඬවිණි. දුරකතනය අතට ගත් අරවින්දගේ මුහුණේ ඉරියව් වෙනස්වනු ඇය නිරීක්ෂණය කළාය. අනෙක් කෙළවරෙන් ඇසුණේ ගැහැනු කටහඬකි.

“ඇයි හදිසියක් ද? “ඔහු ඇසීය.

“මේ වෙලාවේ මං ලොකු වැඩක” කියමින් දුරකතනය විසන්ධි කළේය.

මේ නි‍ෙවසේ සිටි ඥාති යුවතිය යැයි ඇය අනුමාන කළාය. එතැන් පටන් දෙදෙනාගේ සංවාදය ගෙනයාමට කැමැති නොවුණු ආකර්ෂණා

“අපි යමු නේද?” යෝජනා කළාය.

“ඇයි තව ටිකක් ඉමු.” ඔහු කීවේය.

“මගේ හිස ටිකක් රිදෙනවා” ඇගේ වචනවල ශෝකයත් සංතාපයත් ගැබ්ව ඇති බව ඔහු තේරුම් ගෙන තිබුණි.

“එහෙනම් අපි යමු.” කියමින් කෝපි හලෙන් ඔවුහු නික්මුණහ.

“එකපාරටම ඇයි මේ?”

“නෑ මොකුත් නෑ මහන්සියට වෙන්න ඇති.” කීවද ඇගේ හිත තුළ යම් නොවිසඳුණ සිතුවිල්ලක බීජ පැළවෙමින් තිබුණි.

ඇයට අභිෂේකා විමලවීරගේ ගී පදවැලක දෙපදයක් සිහියට නැඟුණි.

“රිදෙන තරමට දැනෙනවා.

දැනෙන තරමට රිදෙනවා” ඇය මුවින් නොකීවාය.

ආදරයේ සියුම් රිදී රේඛා අහසේ ඇඳීයයි. බලාපොරොත්තුවේ සිහිනවැල් ඉදිවෙයි. ඇඳුණු රිදී රේඛා ඇසිල්ලකින් එළිය විහිදුවා ඇසිල්ලකින් නැතිවී යයි. රළු අඳුරු වලා පටලයන් එකී ආලෝකය මකා දමයි . ගැඹුරු වූ හුස්මක ගැඹුර සෙමෙන් නාස්පුඩු ඔස්සේ සෙමෙන් පහළට ඇදී යනු ඇයට නිනවිවක්වක් නොවිණි. ආදරයේ ගැඹුර සොයන්නට ඇය නොවෙහෙසුණාය. එහෙත් ප්‍රේමයේ මතක ඇය සිතින් වින්ඳාය. ප්‍රේමයේ ගැඹුර මනින්නට හෝ එහි කිඳා බසින්නට ඇය ඉක්මන් නොවූවාය. එහෙත් ෙප්‍ර්මයේ සිවු දෙසෙහි නිදහසේ සරන්නට ඇය රුචි වූවාය.

රාත්‍රී ආහාරය ඇයට රුචි නොවීය. තේ එකක් වත්කර ගැනීමට පවා අලසකමක් හිත තුළ පැළපැදියම් වී තිබුණි. රාත්‍රී ඇඳුම ඇඟලා ගත් ඇය පුටුව පසෙකට කර හිඳගත්තාය.

කොළයක් සහ පැන්සලයක් ගෙන හිතේ තැන්පත් කර තිබුණු මතක සේයාවන් කොළය මත රූපණය කළාය. ඒ ගෙවී ගිය සතියේ මතකාවර්ජනයකි. රන්වන් හිරු කිරණ සැඳෑ අහසේ සැඟවෙන්නට වෙරදරයි. තිසා වැවේ රළ සෙමෙන් නැඟෙමින් සෙමෙන් බිඳෙමින් නිසල වෙයි. වැව් තලාවේ හිඳගත් තරුණ යුවළකි. තරුණියගේ නළලතින් පහළට වැටුණු කියඹු වැලකි. ඇය තරුණයාගේ ළය මත හිස හොවා ප්‍රේමයේ ලොව්තුරු සුවය විඳියි.

චිත්‍රයේ පසෙකින් ඇය ආකර්ෂණා යනුවෙන් ලිව්වාය.

“තාම ඔබ ගැන ලියනවා.

නොකියවන බව දන්නවා .

දන්නවද ආදරේ නීතිය

රිදුණු තරමට දැනෙනවා .

නමුනුකුල බර දරනවා

ගයනකල් මඟ බලනවා

දන්නවද ආදරේ නීතිය

දැනුණ තරමට රිදෙනවා”

චිත්‍රයත් එහි ලියූ ගී පද දෙසත් ඇය බොහෝ වෙලාවක් බලා හුන්නාය. ඇඳි සිත්තම දුරකතනයෙන් පින්තූරයක් ගෙන අරවින්ද වෙත එය යවමින් සිත සැහැල්ලු කරගත්තාය.

 

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?