එක හුස්මටම වතුර වීදුරුවක් බිව් අරවින්ද
“හා හා… යං යං ඉතින්. තවත් සුනංගු නොවී” කීය.
ටික දුරක් යන අතරතුර
“ඇයි ඔයා කරුවල වැටෙන්න කලින් නොගියේ” ඔහු ඇසීය.
” එනකම් හිටියා. ඔයත් එක්ක යන්න.”
ඇය කීවේ තොදොල් වෙමිනි. වතෙහි ගෑවී නොගෑවී යන තරමින් ඇය ඔහුට ළං විය. ඔහු පය ඉක්මන් කළේය. ඇය ද පය ඉක්මන් කරවිත් ඔහුගේ අතේ එල්ලුණාය. විදුලිය මෙන් ක්‍රියාත්මක වූ ඔහු ඇගේ අත ගසා දැමීය. ඇය ඔහු වෙත තරහ පෙන්වමින් “නපුරා ” කීවාය. ඒ වන විටත් ඔවුන් හේරත් මාමාගේ නිවෙසට ළඟාවී තිබුණි. මිදුලටම ගොස් “යන්නම් මාමේ…” කියමින් හැරුනේ ඇය දෙස නොබලාමය.
“මහ වදයක් වුණා මේ මෝඩ කෙල්ල.” ඔහු ආපසු එන අතරේ තමාටම කීය.
“අම්මා අප්පච්චිට බෙහෙත් දුන්නා ද”
අසමින් ඇඳට ගියේ තමාගේ ලෝකයේ තනිවීමටය. ඇඳට ගියත් නින්ද එකෙණෙහිම නොආවේය.
ආශ්වාදයේ සොඳුරු සැඳෑව යළි යළිත් හිතින් විඳගන්නට විය. ඒ ප්‍රේමණීය මොහොතෙහි දෑස් පියාගෙනම සැරි සැරීය. ඈ වෙතින් හැමූ ඉමිහිරි විලවුන් සුවඳ තවමත් තමා වටා ඇති බව ඔහුට දැනුණි. ඒ සුවඳ සිතින් ඉව කරමින් ආඝ්‍රහාණය කරන්නට විය. විශේෂය නම් එදින හමුවෙන් පසු ඇය ඔහුටවත් ඔහු ඇයටවත් ඇමතුමක් දෙන්නට උත්සාහ නොකර තමන්ගේ ලෝකයන්හි තනිවීමය.
දියෙහි ගිල්වා දින කීපයකට පෙර බර තැබූ වී හොඳින් මුල් ඇදී ඇත. උදේම වැපිරීමේ කටයුතුවලට යා යුතුය. අම්මාට උදෑසන ආහාර රැගෙන ඒමට කියා මල්ලී සමඟ අරවින්ද කුඹුරට ගියේ පාන්දරමය. හේරත් මාමා සහ ඩේවිඩ් මාමා ඒ වනවිටත් පැමිණ සිටියෝය.
“එහෙනම් පුතේ දෙයියන් බුදුන් අදහලා නමෝ විත්තියෙන් පටන් ගමු වැඩේ.”
මල්ලිත්, ඩේවිඩ් මාමත් දියකඩමින් ලියදි සකස් කරන්නට වූ අතර අරවින්දත්, හේරත් මාමාත් වට්ටියට ගත් වී වැපිරීම සිදු කළහ. හැන්දෑවනතුරුම වැපිරිල්ල සිදු කළ ඔවුහු ඇළෙන්ම ඇඟපත සෝදා නිවෙස් බලා පිටව ගියහ. අපේක්ෂිත අයුරින් කටයුතු නිමා කර ගැනීමට හැකි වීම ගැන සතුටු වෙමින්,
“මල්ලි මං හිතපු විදිහටම වැඩේ ඉවර කරගන්න පුළුවන් වුණා” කීය.
අම්මාට උදවු වීමට නදීෂා ද පැමිණ සිටියාය. මහන්සිපිට දමා ඇයව මඟහරින්නට සිතූ අරවින්ද කාමරයට වැදුණේ රාත්‍රියේම කොළඹ බලා පිටත් විය යුතු බව පවසමිනි.
” නැන්දේ මාත් ගෙදර යනවා.”
උස් හඬින් කියනු අරවින්දට ද ඇසිණි. දවස පුරා පසෙක දමා තිබුණු දුරකතනය පිරික්සීමේ දී ආකර්ෂණාගෙන් ඇමතුම් කීපයක්ම තිබුණු බව ඔහු දුටුවේය.සැණින් ඇය අමතා
” ආකර්ෂණා සුදු මැණික…
ඔයාගෙ කෝල් මට මිස් වුණා. තරහ ද ඉතින්?” ඇසුවේ වූ අතපසුවීමට පසුතැවෙමිනි.
“ගෙදර ගියාට පස්සේ මං ගැන මතකයක් නෑනේ ඉතින්.”
ඇය කීවේ නෝක්කාඩු ස්වරයෙන් සැඟවුණු අරුතක්ද සහිතවය.
” නෑ.. ආකාෂි ඔයාලා පාන්දරම පිටත් වෙන බව කීවනේ. ඒත් දවල් වුණාම කෝල් එකක් දෙන්න හිතුවත් උදේ හයට පිටවෙලා කුඹුරට ගිය ගමන් මේ දැනුයි ගෙට ගොඩ වුණේ.”
නිදහසට කරුණු කීය.
” ඇත්තමයි ආකර්ෂණා වපුරලා ඉවර කරලා ගෙට ගොඩවුණේ මේ දැන්. හරිම මහන්සියි. අද රෑම කොළඹ එන්න පිටත් වෙනවා. නින්දත් කෝච්චියේම තමයි.”
ආකර්ෂණාට දුක හිතුණාය.
“අපරාදෙ මං එයා ගැන එහෙම හිතුවේ” ඇයට හිතුණාය. උදේ සිට හැන්දෑවනතුරුත් ඇමතුමක් හෝ ඇමතුම්වලට පිළිතුරු නොදීම ඇය කනස්සල්ලට පත් කළාය. කුඹුර වැපිරීම ගැන ඇය මොහොතකටවත් නොසිතුවාය.
” තරහයිද ඉතින් තාමත්….” ඔහුගේ හඬ ස්වරය පහත්ය. ඇය විසල් හුස්මක් ගන්නා හඬ ඔහු අසා සිටියේ දෑස පියා ගනිමිනි.
” පරිස්සමට එන්න… මං තියන්නම්… බුදු සරණයි…” ඇය කීවාය.
ඇගේ තරහව පහව ගොස් ඇති බව ඔහුට දැනුණි. එය හදෙහි වූ බර සැහැල්ලුවට කරුණකි.
” මල්ලි එළිය වැටෙන්න කලින් කුරුල්ලෝ ටික එළවන්න යන්න වෙයි. මේ දවස් ටිකේම හොඳට බලාගන්න. නැත්තම් වපුරපු වී ටිකත් කුරුල්ලෝ කාලා ගියොත් අපිට හුළං තමයි.” ඔහු කීය.
“ඔයාට දැම්ම කැම්පස් පටන් ගන්නෙත් නැහැනෙ. තාත්තගෙ බේත් ටික ගැනත් බලන්න.”
ඔහු කියාගෙන ගියේ අමතක වේ යැයි හැඟීමෙනි.
” දවස් තුනකින් වගේ වතුර බඳින්නම්ද අයියේ” මල්ලි ඇසීය.
” පුතේ මේ දිවුල් ගෙඩි ටිකත් එක්කම සියඹලා ටිකකුත් තියෙනවා අර දරුවන්ට ගිහින් දෙන්න. මට දෙන්න අමතක වුණා හදිස්සියේම.” අම්මා “අර දරුවන් “යැයි කීවේ ආකර්ෂණාලටය. අම්මාට ද යම් ඉවක් වැටී ඇති බව අරවින්දට තේරුම් ගියේ එවිටය. ඔවුන්ගෙන් සමුගෙන මල්ලි සමඟ පාපැදියෙන් දුම්රියපොළට පිටත් විය. වෙලාවටත් විනාඩි විස්සක් ප්‍රමාද වී පැමිණි දුම්රියට නැඟ ගත් හේ අසුනකට බර වූයේ “යන්තම් ඇති ” තමාටම කියමිනි.
එක දිගට ගෙවුණේ අවිවේකී සතියකි. කන්තෝරුවේ වැඩ ද යමරෙටම තිබිණි. සතිඅන්තය කුඹුරටම ගෙවුණි. පොඩිම අස්වැසිල්ලකට කියා තිබුණේ ආකර්ෂණා දැක ගැනීමට හැකිවීමය. කුඹුරු වැඩෙහි බරපතළකමත්, ඇඟපතෙහි තෙහෙට්ටුව, ගමන් මහන්සිය ආදී සියලු පීඩාවන් එක පොදියට ඔහුගේ හිසට බර වැඩි යැයි ඔහු සිතුවේය. අප්පච්චිගේ අසනීපය, ගෙදර අගහිඟකම්, මල්ලිගේ සරසවි ගමන, තමාගේ අනාගතය, කාර්යාලය, ආකර්ෂණා මේ සියල්ල එකම ප්‍රහේළිකාවක් වෙමින් උත්තර සෙවිය යුතුය. හරහට හෝ පහළට උපකාරක පද කිසිත් පේන මානයක නොවේ. මෙකී සිතුවිලි අතර දෙනෙත් පියවී ගියේ ඉබේටම වගේය.
මහ සෙනඟක් දුම්රියපොළෙහි එහා මෙහා යති. සමහරෙක් දුම්රිය ගමන ආරම්භයට පැමිණ සිටිති. තව කෙනෙක් තම ගමනාන්තයට පැමිණ සිටිති. සිය හිසකේ අතින් සකසමින් අරවින්ද මරදාන දුම්රියපොළෙන් එළියට බැස්සේය. ගමන් බෑගය ද කරෙහිලා ඔහු ඉන් පිට වූයේ විවේකාගාරයට පිවිසීමකින් තොරවය. විඩාව තෙහෙට්ටුව ඔහුගේ මුහුණෙන් දිස් වුණි.
“උදේට බඩට මොනවාහරි දාගෙනම යනවා”
සිතමින් සයිවර් කඩයකට රිංගා තෝසේ දෙකක් සහ ප්ලේන්ටියකින් සැනහුණු ඔහු මරදානේ පිහිටි සිය කාර්යාලයට පයින්ම පිවිසියේය.
මහන්සිය මොහොතකට අමතක වූයේ ආකර්ෂණාගේ සොඳුරු කටහඬිනි.
“ගුඩ් මෝනින් අරවින්ද”
” හ්ම් … ගුඩ් මෝනින් සුදු මැණික”
“ඔයා හොඳින් නේද” ඒ ඔහුය.
” හ්ම්… ඔයා තවම ඔෆිස් ගියේ නැහැ නේද? ”
” අද අපි මුණගැහෙනවද” ඒ පැනය ඇයගෙනි.
“ම්… නිවාඩු ගිය නිසා වැඩ ගොඩගැහිලා.
ඒත් උදේම ආව නිසා බොහෝ දුරට පුළුවන් වෙයි වැඩ ටික ඉවර කරගන්න.
ඔව්. එහෙනම් සුපුරුදු කොෆි ෂොප් එකේදී හවස පහට”ඔහු කීය.
“එහෙනම් මං තියන්නද” ඇය ඇසුවාය.
“එපා”
“ඇයි”
“ලෝබයි.” ඔහු කීවේය.
“ඉවසන්න” ඇය හෙමින් කීවාය. හවස හමුවීමේ අපේක්ෂාවෙන් දුරකතන සංවාදය නිමා කළාය.
උදේම වැඩ පටන් ගත් අරවින්ද එකිනෙක ගිණුම් පිරික්සන්නට විය . ඔහු එක්වරම තිගැස්සුණි. පොත් සමාගමේ හිමිකරු තම මේසය අසලය.
“තේජාන් මහත්තයා” කියමින් ඔහු නැඟිටින්නට ගත් උත්සාහය සිය අතින් වැළකීය.
“ඉඳගෙනම කතා කරමු. කොහොමද අරවින්ද ඔයාලගේ අප්පච්චිට? ඒ ගැන දැනගන්නයි ආවෙ”කියමින් පිටට තට්ටුවක් දැමීය.
“ලොකුවට ගුණයක් නම් නෑ.” කී අරවින්ද ඔහුගේ මුහුණ බැලීය.
“මොනවා හරි උදවුවක් ඕනෑ වුණොත් කියන්න අරවින්ද” කියූ ඔහු සිය කාමරය වෙත පිවිසියේය.
“ඇත්තටම ගුණ යහපත් මනුස්සයෙක්”
තම වයසේ පසු වුවත් කාරුණික ගුණ යහපත් බවෙහි අඩු නොවූ මේ මිනිසාට සිත ඇතුලෙන් පින් දෙමින් “ස්තුතියි බොහොම” සිතිවිලි වදන්වලට පෙරළීය.
තේජාන් එම පොත් සමාගමේ හිමිකරුය. ඔහුට හිමිකාරීත්වය පැවරෙන්නේ සිය පියාගේ හදිසි වියෝවෙන් පසුවය. පොතපතට ඇලුම් කළ ඔහුද සිය පියාගේ අඩි පාරේ යමින් මනා ලෙස ව්‍යාපාරය කළමනාකරණය කළේය. එ් සිය සේවකයන්ගේ ආදර පැසසුමට ලක් වෙමිනි.
තවත් කොටසකින් හමුවෙමු
