Monday, May 11, 2026
Epaper
Home කෙටි කතාවහිරු ඇවිදිල්ලා

හිරු ඇවිදිල්ලා

ප්‍රේම කුමාරයා හැම සතියෙම ගමට ඉඟිල්ලෙනවා නේද?

by Shanaka Lakehouse

අලුත්ම දවසක් උදා වී ඇතැයි සිත කියයි.

“අලුත්ම දවසක්… ඇත්තටම අලුත් දවසක්ද?”

වෙනදා වගේම තවත් එක දවසක්ද කියා ආකර්ෂණාට තේරුණේ නැත. කොහොම වුණත් ආකර්ෂණා නැඟිට්ටේ නම් අලුතෙන් සියල්ලම පටන් ගත යුතුය යන සිතිවිල්ල සිතට දැඩි සේ පවරා ගනිමිනි. තමා තීරණයකට එළැඹිය යුතු මොහොත උදාවී ඇති බව ඇයට නිරායාසයෙන්ම හැඟිණි.

“ඒත්.. එහෙම තීරණයක්… එකපාරටම ගන්නේ කොහොමද?”

ආකර්ෂණාගේ යටි සිත ප්‍රශ්න කළාය. විනිශ්චයාසනය ඉදිරියේ සිටගත් ඇය තුලාවේ දෙපසට ගැටලුව දමා කිරන්නට වූවාය. විටෙක ළයට, හදවතට ළං වූ කොටසෙහි බර වැඩිය. එවිට ඇය මොළයට ළං වූ කොටසෙහි තුලාවට කරුණු එකතු කරයි. එහෙත් ඒ සෑම විටම එක පැත්තක් බර වෙයි. ඒ හදවතට ළංව දැනෙන සංවේදී සිතිවිලිය. නැවත ඇය මේ වෙලාවේ ගත යුතු බුද්ධිමත් තීරණය කිරා මැනිය යුතු බව කල්පනා කළාය.

එක්වරම ඇඳෙන් බැසගත් ආකර්ෂණා දුහුල් ඇඳුම පිටින්ම කැඩපත අසල රැඳුණාය. ඒ අසල වූ විසල් දිය බඳුනෙන් පුරවා ගත් සිසිල් දිය එක හුස්මටම බීවාය. ඇගේ පිළිබිඹුව ඇය ඉදිරියේය. ඇය ඒ දෙස මොහොතක් බලා සිටියාය.

තිස්වැනි උපන් දිනය පසු කළේ මේ ඊයේ පෙරේදා වගේ බව ඇයට කල්පනා විණි. එහෙත් මධ්‍යම රාත්‍රිය පසු වී පසුදිනට පහන් වන මොහොතේ වෙනදා එන විශේෂ සුබ පැතුම ඇය කරා නාවේය.

“මගේ මැණික, ඔයාට සුබම සුබ උපන් දිනයක්.”

ඔහු දුරකතනයෙන් හෝ එසේ කීවේ නැත. එවැනි පැතුමක් තබා ගෙවී ගිය මාස කීපයේ ඇමතුමක් තියා කෙටි පණිවුඩයක් වත් ලැබුණේ නැත.

ගෙවා දැමූ ප්‍රේමයේ මතක දෑස් පියාගෙනම ඇය මේ මොහොතේ සිහි කළාය. දෑස්වල එක් වුණු කඳුළු බර දරා නොසිටම දුහුල් රාත්‍රී ඇඳුම ස්පර්ශ කරන්නට විය. උණුසුමෙන් පතිත වුණු ඒ කඳුළු බිඳු වාතය හා මුසුව සැණින් සීතල විය. ආයෙමත් කැඩපතෙහි දෑස් ඇගේ දෑස ගැටිණි.

“ඔයා හරිම ආකර්ෂණීයයි ආකර්ෂණා. නමටම ගැළපෙන රූපය. ඔය ඇත්දල පාට… රූපයට එන්න නම් පෙර කුසල් තියෙන්න ඕනෑ මං අහල තියෙන විදිහට.”

එහෙම කියමින් අරවින්ද සිය දෙතොලඟ සෙමෙන් සිප තමා ළයට ළං කරගත් අයුරු ඇය මනෝ සිත්තමට නැඟුවාය.

මෙකී ප්‍රේම යාත්‍රාවේ පා වීම ඇරඹී වසර දෙකකට වැඩි මිසක් අඩුවක් නැත. ප්‍රේමය මායාවක් නොවෙයි. ප්‍රේමයේ මතක ඇය ජීවත් කරවයි. ඈත් වන තරමටම ඔහුගේ මතක ඇයට සමීප කරවයි. පියවුණු නෙතුපියන් අබියස ඒ රුව මැවෙයි. ජීවිත සන්ධිස්ථානයකට පෙර යළි යළිත් එකී සිත්තම් ඇගේ මනසේ ඇඳී ගියේ මෙලෙසිනි.

“අලුත් නාට්‍යයක් ඇවිත් තියෙනවා අරවින්ද, යමුද? නාමෙල් මාලනී පුංචි තියටර් එකේ තියෙන්නේ. දුලානිලත් යමු යමු කියනවා. මොකද කියන්නේ, යමුද?”

ආකර්ෂණාගේ දෑස් ඔහු දෙසය.

“මට ටිකක් කරදරයි ආකර්ෂි. ගෙදර ප්‍රශ්න ගොඩක්. අප්පච්චි අසනීපෙන්.”

ඔහු හැඟීම්බරය; සත්‍යවාදීය. ඒ දෑස් තුළින් දුක ධ්වනිත වෙයි.

“දුලානිලා එක්ක ඔයා යන්න. ඩ්‍රාමා එක මිස් කරගන්න එපා. මට මේ සතියේ ගෙදර යන්නම වෙනවා. අප්පච්චිට ටිකක් අසනීපයි. මං ගිහින් ආවම අපි හොඳ ෆිල්ම් එකකට යමු.”

ඔහු කීවේ ඇය සනසන අටියෙනි.

සතියකට වරක් හෝ දෙවරක් අරවින්ද නොවරදවාම අනුරාධපුර ගමට ගිය බව ඇයට සිහිවෙයි. “ඇත්තටම ඔහු යන්නේ ගෙදර දුක සැප බලන්නමද?” දුලානිට ද මේ පිළිබඳව ඉව වැටී තිබිණි.

“ආකර්ෂි, උඹේ ප්‍රේම කුමාරයා හැම සතියේම ඉගිල්ලෙනවා. දාමුද පොඩි සර්ච් පාරක්?”

තම සිත හඳුනා ගනිමින් පේන බලන්නාක් මෙන් දුලානි කීවේ අනපේක්ෂිත මොහොතකය. “ඔච්චර නිවාඩුත් තියෙනවද මන්දා.”

දුලානිගේ වචන ආකර්ෂණාගේ හදවතට කිඳා බැස්සේ ගැඹුරු ප්‍රශ්නාර්ථයක සිත හිර කරමිනි. එදා හවස ඇය මේ උභතෝකෝටිකයේ පැටලී හිරකර තැබූ මුත් මනස ඇගෙන් ප්‍රශ්න කරයි. ඇයම ඒවාට උත්තර සොයමින් සාධාරණීකරණය කරයි.

ජීවිතයම ප්‍රශ්න පත්තරයකි. ඒවා එකින් එක ලිහාගත යුතුය. සැබවින්ම ජීවිතය කියන්නේ සංකීර්ණ ප්‍රශ්න පත්තරයක් බව ඇයට සිතුණාය. විටෙක ප්‍රශ්න තමන්ගේය. තවත් විටෙක අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගැනීමට සිදුවන වෙලාවල් ද නැතුවා නොවෙයි. ආදරය, ප්‍රේමය, විරහව, දුක, කඳුළ, සතුට, සිනාව මේ සියල්ල ජීවිතයේ පොදු සාධකය.

දුලා අම්මා සමඟ ලෙඩෙක් බලන්නට යන බව කීවා මතකය. සිකුරාදා ඔෆිස් නිවාඩු බව කලින්ම තමාට කියා තිබිණි. පොත් සමාගමෙන් නිවාඩු ගෙන ගෙදර යන බව අරවින්ද කල්තියාම දැනුම් දී තිබිණි. තම සිත තුළ අරවින්ද කෙරෙහි තෙරපෙමින් කැකෑරෙන මේ තදබල සිතිවිල්ලෙන් නිදහස් විය යුතු බව ආකර්ෂණා කල්පනා කළාය. ක්ෂණිකව නැඟුණු සිතිවිල්ල ක්‍රියාවට නඟමින් ආකර්ෂණා දුලානිට ඇමතුමක් ගෙන මෙලෙස ඇසුවාය.

“දුලා, අපි යමුද මේ සැටඩේ අරවින්දලගෙ ගෙදර?”

“අනුරාධපුරයේ? හදිසියේම?” පෙරළා අනික් පසින් ඇසීය.

“ඔව්… පුළුවන්ද කියන්නකෝ.”

“හා.. හා.. යංකෝ… යංකෝ….”

ඇගේ වචන ඇයට අස්වැසිල්ලකි.

“බලන්න ගිය නැන්දාව ඩොක්ටර් ළඟට ගෙනියන්න වුණා. දැන් ඇතුළට යන ගමන්. ගෙදර ගිය ගමන් ඔයාට ගන්නම්.”

මිතුරියගේ වචන ආකර්ෂණාට ගෙනාවේ සහනයකි. දුකේදීත් සැපේදීත් හදවතේ මිතුරියකි. “හොඳ බොක්කක් තමයි” ඇතැමුන් කියන එකී වචනය සිහිවී ඇය මුවගට ඇඳුණේ සිහින් සිනාවකි.

සෙනසුරාදා ගමන කෙසේ විය යුතුද සිතමින් සිකුරාදා සවස කාර්යාලයේ වැඩ නිමවා බෝඩිමට පැමිණියාය. විදුලි කේතලයට වතුර දමා ක්‍රියාත්මක කළ ඇය සිත එක්තැන් කර ගැනීමේ නිෂ්ඵල උත්සාහයක යෙදුණාය. කේතලයේ වතුර උතුරන හඬ “ගොඩොස් ගොඩොස්” හඬ නඟමින් බොහෝ වෙලාවක් තිබිණි.

“තව පොඩ්ඩෙන් කේතලෙත් ගිනිගෙන මහ විනාශයක් වෙනවා” සිතමින් දඩි බිඩියට විදුලි ස්විචය අක්‍රිය කළාය. තේ එකක් සකසා ගත් ඇය විස්කෝතුවක් සපමින්ම තේ කෝප්පය බිඳෙන් බිඳ තොල ගන්නට වූවාය. හෙම්බිරිස්සාවක සේයා දැනුණෙන් නෑම කල්දැමූ ආකර්ෂණා ඇඟපත දොවා ගනිමින් ඇඳ මත වැතිරුණේ පොතක් ද අතැතිවය.

අකුරු අතර අරවින්දගේ රූපකාය දිස්වෙයි. ඔහුගේ පෞරුෂය ගැන යටිසිත ලෝබ වනු ඇයට දැනිණි. උස අඩි හයකට ආසන්නය. දේහධාරී තලෙළු පැහැගත් ඔහුට උඩුරැවුල කියාපෑවේ කඩවසම් පෙනුමකි. බයාදු බවක් ගෑවිලාවත් නැත. ඒ ගම්භීර පෙනුම ඔහුගේ අනන්‍යතාවට ගැළපෙයි. ඔහුට යහමින් නැත්තේ මිල මුදල් බව ඇය තේරුම්ගෙන තිබුණාය.

“අපිට මහ ලොකු බූදල් දේපළ නැහැ ආකර්ෂි. ඔයා කැමැති වෙයිද දන්නේ නැහැ අපේ දුප්පත් පොළොවේ පය ගහලා ඉන්න.”

ඇය සිනාසුණාය.

“අපිට කියලා මහ ලොකු දේවල් නෑ අරවින්ද. දුප්පත්කම ආදරයට බාධාවක්ද? නැහැනේ.”

“නැහැ. ජීවත් වෙන්න සල්ලි ඕනෑ. දුප්පත්කම ආදරයට බාධාවක් නොවූණත් සමහර තැන්වලදී මිල මුදල් ඉස්සර වෙනවා. අපිව අසරණ කරනවා.”

ඔහු කීවා ඇයට මතකය.

හිතේ සෙලවෙන තෙරපෙන සිතිවිලි අතර කුසගිනි නොදැනේ. කියවන්නට ගත් පොත පසෙකය. ස්ථර තුනක්… ඇය කල්පනා කළාය. හදවතේ යෙහෙළිය ඇය වත් පොහොසත්කමින් ඉහළය. මවුපියන් වලව්කාරයන්ය. ඇගේ මතය ඉස්මතු කරමින් මවුපිය විරෝධය මැද රැකියාවක නියුතුය. පන්ති භේදය නැතත් පන්ති කිහිපයක් සමාජගතව ඇති බව පැහැදිලි සත්‍යයකි. දෙවැනි තමා නියෝජනය කරන මධ්‍යම පාන්තික පන්තියයි. තෙවැනි පන්තිය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ පන්තිය නියෝජනය කරන ප්‍රධාන චරිතය වටා තමාගේ අනාගතය ගෙතී ඇතැයි ඇයට කල්පනා විය.

“සිය ආදරවන්තයා තමා රවටන්නේද? තමා වැටී සිටින්නේ මුළාවකද?” යන්න සිතමින් ඇය සිටියේ සිතිවිලි ලෝකයක අතරමංවය. තහවුරු නොවූ සිතිවිලිවල එල්බගෙන අරවින්ද ගැන ඉක්මන් තීරණ නොගත යුතුය යන්න ඇය අන්තිමට සිතුවාය. ගමන නිමාකර සිය යෙහෙළිය තවමත් නිවෙසට පැමිණ නැත. ඇය ආවා නම් කුමන හෝ අවශ්‍යතාවක් මතුකර ගමනට අවසර ගන්නට ඇය සමත්ය.

එහෙත් තම යෙහෙළියගේ ඇමතුමක් කුමන ස්වරූපයක් ගනීද යන දෙගිඩියාව ඇය වෙත තිබිණි. සිතිවිලි ගොන්නක් අතර සිරවී සිටි ඇය නිදි දෙව්දුව කරා රැගෙන ගොස් තිබුණේ චිත්ත පීඩාවට විරාමයක් දෙමිනි.

කතා කර ගත් පරිදි පාන්දර හතරට ගමන යොදා ගැණුනි. එය ආකර්ෂණාට ගෙනාවේ සතුටකි. ඊයේ රාත්‍රියේ දුලානි ගෙන ආ පණිවුඩය ඒ සතුටේ මූලයයි. සිතුවිලි ගොන්නකට මැදිව සිටි ආකර්ෂණාට නින්ද මහත් සහනයක් ගෙන තිබුණි. එකී නින්දට වැඩි වෙලාවක් යන්නට මත්තෙන් දුරකථන නාදය ඇය නින්දෙන් පිබිදුවාය. සිය සහෝදරියක වන් අදරැති සොයුරියගේ අපේක්ෂාවෙන් සිටි ඇමතුමයි.

“ආකර්ෂි, වැඩේ ගොඩ.”

“කොහොමද ගොඩදා ගත්තේ? කියන්නකෝ ඉතින් අගේ නොකර.”

දුලානිට ආකර්ෂණාගෙන් නෝක්කාඩුවකි. එහි සතුටක් ද ගැබ්ව තිබුණි.

“ලෙඩෙක් බලන්න කියලා තමයි පර්මිෂන් ගත්තේ. ඒකත් බොහොම අමාරුවෙන්. දණ්ඩ නීති කීපයකටම යටත් වෙන්න වුණා.”

දුලානිගේ ඒ වචන ටිකට නම් ආකර්ෂණාට සිනා නොවී සිටීමට බැරි විය.

උදේ පාන්දරම ගමන යොදාගෙන තිබුණි. එහෙත් රජරට රැජින දුම්රියෙන් නම් නොවේ. දුලානිගේ පියා රියදුරු සමඟ සිය මෝටර් රථය ගමනට යෙදවීය. එය පියාගේ එක් කොන්දේසියකි. දෙවැන්න, ගමන වෙහෙසකර බැවින් එදින නවාතැන් ගත යුතු වූයේ නැන්දනියකගේ නිවෙසෙහිය. තෙවැන්න, පසුදිනම ආපසු පැමිණීමය. පියාගේ කන්තෝරු වැඩ කීපයකට වාහනය යෙදවිය යුතු බැවින් ගමන එලෙස නිමා කළ යුතුය. කෙලෙසක හෝ ගමනට ලද අවසරය යෙහෙළියන්ට ගෙනාවේ ඉහවහා ගිය සතුටකි.

කතා කරගත් පරිදි දුලානි විනාඩි පහළොවකදී බෝඩිමට පැමිණියාය. ගේට්ටුව විවර වන හඬ වැකෙත්ම පහළ මාලයට දිව විත් හැරෙන තැපෑලෙන්ම යළිත් තරප්පු පෙළ නැග ගත්තේ තමාටම දොස් පවරමිනි. තමාගේ අසිහිය පමාවට හේතුවකි.

“මටත් පිස්සු තමයි. තිබ්බ නොඉවසිල්ලට තව පොඩ්ඩෙන් බෑග් එක දාලායි යන්නේ.” ආකර්ෂණා තමාටම කීවාය.

බෑගය රැගෙන යළි පහළට දිව ගියාය. යෙහෙළිය රියෙන් බැස මග බලා උන්නාය.

“ආයෙ අම්මේ.. සීදේවි මූණ පොඩ්ඩ. හිනා කටයි, මල් හතයි.” දුලානි කීවාය.

“අනේ තෑන්ක් යූ දුලා. ඔයාට මම කොහොම ස්තුති කරන්නද මන්දා.”

යෙහෙළිය තරයේ වැලඳ ගත්තාය. මොහොතක් එලෙස සිට දෙදෙනාම මෝටර් රථයේ පසුපස අසුනේ හරිබරි ගැසී හිඳගත්තාය.

“ෆුල් ටෑන්ක් කරගත්තා නේද රවීන්ද්‍ර?” දුලානි ඇසීය.

“ඔව් ලොකු බේබි. ලොකු මහත්තයා ඊයේ රෑම තෙල් ගහගන්න කිව්වා.” රවීන්ද්‍ර පිළිතුරු දුන්නේය.

“ඔයාට තේ බොන්න ඕනෑ වෙනකොට කියන්නකෝ.” ඇය කීවේ සිනාසෙමිනි.

දෙමිතුරියන්ගේ කිචිබිචිය පටන්ගෙන ටික දුරක් යද්දී ආකර්ෂණා යෙහෙළියගේ උරහිසට හේත්තු වී ගෙනම නින්දකට පිවිසියාය. “පව් අහිංසකි” ඇය දෙස බලමින් දුලානි සිතුවාය.

බඩගමුව පසු කරද්දී එක්වරම රිය නතර කෙරුණි. තුරු සෙවනින් සැදි මේ විසල් වනගහනය සිසිල්ය. තුරුලතාවන්ගෙන් සැදී වනපෙතට තමා ඉතා ඇලුම් කරන බව දුලානි රවීන්ද්‍රට කීවේ යෙහෙළිය නින්දට වැටුණු මොහොතේය.

“ආ.. බහින්න නෝනා සුව නින්දෙන් ඇහැරිලා.” දුලානිගේ හඬට ආකර්ෂණා ගැස්සී ඇහැරුණාය.

“මට ටිකක් නින්ද ගියා. මුළු රෑම නින්දක් නැහැ.”

තම්බන ලද ඉරිඟු කරල් කීපයක් උණු උණුවේම රස බලමින් ඉඟුරු තේ එකකින් සැනසුණු ඔවුහු යළි ගමන් ආරම්භ කළහ. රථය සුපිරි වෙළෙඳසැලක් අසල නැවැත්වීය. අරවින්දගේ ගෙදරට අවශ්‍ය කළමනා මෙන්ම පිටපොළ නැන්දාගේ නිවෙසට වෙනමම බෑගයක් ද සැකසුණි. ලෙඩා වෙනුවෙන් සස්ටජන් ටින් එකක් ගැනීමට ද අමතක නොකළෝය.

දඹුල්ල නගරය පසුකර තවත් බොහෝ දුරක් ගෙවීය. තලාව නගරයටත් ඒ ඔස්සේ දුම්රිය පොළ අසලින් දිවෙන අතුරු පාරකට පිවිසිණි. අරවින්දගේ නිවෙසට ඔවුහු ළඟා වූහ. මග තොරතුරු දුලානි විසින් සති කීපයකට පෙර අරවින්දගෙන් දැනගෙන තිබුණි. නිවාඩු දිනක ඥාති නිවෙසකට යන බැවින් ඉඩක් ලදොත් සිය නිවෙසටද ගොඩවැදී යන බව ඇය ඔහුට කියා තිබුණි.

රථය මිදුලේ නතර විය. අරවින්දගේ අම්මා යැයි සිතිය හැකි කාන්තාවක් සහ අරවින්දගේ සොයුරා එළියට ආහ. ඔවුන්ගේ දෑස්හි විශ්මයාර්ථයක් රැඳී තිබුණු බව හොඳින්ම පෙනුණි.

“කලබල වෙන්න එපා අපි අරවින්දගේ යාළුවෝ. අපි පොඩි ගමනක් යන ගමන් කතා කරලා යන්න හිතුණා. කෝ අරවින්ද නැද්ද ගෙදර?” දුලානි ඉස්සර විය.

ඔවුන්ගේ මුහුණුවල වූයේ අහිංසක සිනා රැළිය. යෙහෙළියන් දෙදෙනාම මවට දෙපා නැමදූහ.

“එන්න නෝනලා ගේ ඇතුළට. මේවා මහ ලොකු ගෙවල් නෙමෙයි.” බැගෑපත් ලෙස මව කීවාය. අරවින්ද නිවෙසෙහි නොමැති වීම ඔවුන්ට කුතුහලයකි. එය වැටහුණු මඩ කමිසයකින් සැරසුණු තරුණයා උත්තර බඳින්නට විය.

“අයියා, අප්පච්චිව උදේම වෛද්‍යවරයකුගේ ළඟට ගෙනිහින් ආපහු ආව ගමන් කුඹුරට ගියා. මම අයියට තේ අරගෙන යන්න තමයි ආපහු ආවේ. හොඳ වෙලාවට එහෙම වුණේ.” මල්ලී කීවේය.

යුවතියන්ට අප්පච්චි ගැන සිහි වූයේ එවිටය. දෙදෙනාම අරවින්දගේ මව සමඟ ඔහු සිටි කුඩා කාමරයට ගියෝය. පියා සුව නින්දකය. එක් ප්‍රශ්නයක් විසඳාගන්නට එය ප්‍රමාණවත් විය. “ඔහු බොරුකාරයෙක් නොවෙයි” ආකර්ෂණා සිතුවාය. ඔහු කෙරෙහි ඇති කරගත් සැක සිතිවිල්ලට ඇයට දුකක් ඇතිවිණි.

“අපිත් එන්නම් මල්ලිත් එක්ක කුඹුරට යන්න.” යෝජනාව දුලානිගෙනි.

“ඔක්කොටම කලින් තේ ටිකක් බීලා ඉමු. මහන්සිත් ඇතිනේ.” අරවින්දගේ මව කීවාය.

“නෑ අපිටත් එක්කම තේ බෝතලයක් දෙන්නකෝ. අපි කුඹුරට ගිහින්ම අරවින්දලත් එක්ක තේ බොන්නම්.” ඒ යෝජනාවටත් දුලානි ඉස්සර වූවාය.

ගුරු පාර දිගේ විනාඩි දහයක් පමණ ගිය ඔවුනට ඇළෙන් එගොඩව අරවින්දලාගේ කුඹුරට ළඟාවිය හැකි විය. ඈතින් පෙනෙන මඩ නාගත් මිනිසා හඳුනා ගන්නට ආකර්ෂණාට වැඩි වෙලාවක් ගත නොවීය. මල්ලී සමඟ එන යුවතියන් දෙදෙනා ද හඳුනා ගන්නට අරවින්දට ද වැඩි වෙලාවක් ගත නොවීය. කඩිමුඩියේ කළ වැඩය පසෙකලා පෝරු ලෑල්ල පැත්තකින් තැබූ ඔහු විනාඩියට දෙකට ගොඩට ආවේ ඇළෙන් මඩ සෝදා ගනිමිනි. වෙහෙසකර ඔහු තුළ ඇති වූයේ විශ්මයකි. නොසිතූ මොහොතකම දෙදෙනාගේ පැමිණීම පිළිබඳව ඔහු වඩාත් විමසිලිමත් විය.

“ආකර්ෂි ඔයාලා මෙහේ? හදිසියේම?” ඔහුගේ පුදුමය සාධාරණය.

“හදිසියේම ආවේ දුලාගේ නැන්දලාගේ ගෙදර යන ගමන්. අපිට හිතුණා ඔයාලගේ අප්පච්චිත් බලලා යන්න.” ආකර්ෂණා කීවාය.

“ඉතින් කියන්න තිබුණනේ එනවා කියලා.” විශ්මය මැඩ ඔහු වචන එකතු කළේය.

“නෑ, ප්ලෑන් කරලා ආපු ගමනක් නෙමෙයි.” දුලා කීවේ සත්‍ය හඟවමිනි.

“කොහොමටත් ආකර්ෂි දන්නෙත් නෑ. මේක ක්ෂණික තීරණයක්.” ඇය නිදහසට කරුණු කීවාය.

කුඹුරේ සිට අරවින්දලාගේ ගෙදර එන විට එහි අමුත්තියක් ද වූවාය. ඇය අරවින්දලාගේ ඥාති නැගණියකි.

“මේ නදීෂා දුවටත් මම එන්න කීවා උදවු වෙන්න.” අරවින්දගේ මව කීවාය.

සියලු දෙනා එක්ව දිවා ආහාරය සැකසූහ. කල් ඇතුව වැඩ අවසන් කර ඇළෙන් නාගත් අරවින්ද නිවෙසට ගොඩ වැදුණි.

සුහද කතාබහ අවසන්ව, අව්ව කෙමෙන් පහව යද්දී ඔවුහු මහමළුව වඳින්නට සූදානම් වූහ. ඒ යුවතියන්ගේ යෝජනාව ස්ථිර කරමිනි. දුලානි, යුවළට ඉඩ දෙමින් ඉදිරි අසුනෙහි ඉඳගත්තාය. අරවින්ද ගෙවූ මහන්සියෙන් හෙම්බත්ව තිබුණි. ඇගේ දෑතට ඔහුගේ දෑතෙහි කරගැට හොඳින් හඳුනා ගන්නට හැකි විය. ආකර්ෂණාගේ දෑත අරවින්ද සිය මුවට ළං කළත් සැණින් හෙමින් උකුල මත තැබීය. ඒ රියදුරුට කන්නාඩියෙන් පෙනෙතැයි වූ හැඟීමෙනි.

“ඔයා ගොඩක් මහන්සි වෙනවා.” ඇය කීවාය.

මහමළුවට පා තැබූ ඔවුහු ශ්‍රීමහ බෝධිය වන්දනා කරගත්තෝය. ආකර්ෂණා කිසිදු කරදරයකින් තොරව සිය අපේක්ෂාවන් ඉටුවන්නට ප්‍රාර්ථනා කළාය. ඔවුහු රුවන්වැලි සෑය වෙත ළඟා වූහ. බැසයන හිරු රශ්මිය රුවන්වැලි දාගැබ මුදුනේ චූඩාමාණික්‍යය වෙත විදාලීය. රන්වන් හිරු රැසින් බැබළෙන කිරි පබළුවන් දාගැබ, මහත් ශාන්ත වූ ස්වරයක් ගෙන එනු ලැබිණි. නිසංසලේ වන්දනා කරමින් පැයක් පමණ ඔවුන් ඔවුන්ගේ ලෝකවල ආගම ඇදහූහ.

“හරිම ශාන්තයි. මෙහෙම ඉන්දැද්දී පුදුම සැනසීමක් දැනෙනවා අරවින්ද. මම ආසයි රැයක් එළිවෙනකම් රුවන්වැලි සෑය ළඟ මෙහෙම ඉන්න.” ඇය කීවාය.

“ඔව් දවල්ට පොළොව රත් වුණත් රෑට හරිම සිසිල්. මෙහේ හුඟාක් අය පෝය දා නොවුණත් පූජාවන්ට එනවා.” ඔහු කීය.

“අපි දැන් යන්න ඕනෑ. දුලාලගේ නැන්දලා අපි එනකම් මග බලාගෙන ඉන්නවා.” ඇය කීවාය.

බිඳෙන් බිඳ අඳුර ගලා එමින් තිබුණි. මෙවර යෝජනාව ආකර්ෂණාගෙනි. ඒ තිසා වැවේ මොහොතක් රැඳී යන්නටය. පොහොය නොවුණත් ළාසඳ මෝදුවෙමින් තිබුණි. තිසා වැවේ ජලය ඇගේ හදවත සේම මතුපිටින් නිසලය; ඇතුළතින් ගැඹුරුය. ඇගේ දෑතට ඔහුගේ රළු දෑත් හමුවුණි. හදවතට බරක් වැටුණා වගෙයි. ඇය හුස්මක් ගත්තාය. ඒ හුස්ම දිගුය. ඇය කරගැට දෑත් සෙමෙන් පිරිමැද්දාය. ඔහු සුළඟට ඇගේ නළල මත රැඳුණු කියඹු වැලක් සියතින් මෑත් කළේය. ඇතුළාන්තයෙන් ආ හුස්ම ඔහු පිටකළේ ද ඇයට නොදෙවැනිවය. ඔවුනොවුන්ට සමුගන්නට වෙලාවය. ඔහු ඇයගේ නළල මත හාදුවක් තැබීය. ඇය ඔහුගේ ළයට ළංවී මුහුණ තබා මොහොතක් නිසලව සිටියාය.

“අපි දැන් යන්න ඕනෑ.” තව මිනිත්තුවක් හිටියා නම් හොඳ යැයි සිතුවත් ඇය එසේ නොකීවාය.

“යන්න දෙන්න ලෝබයි.” ඒ ඔහුය. මේ මොහොතෙන් මිදීම දෙන්නාටම ලෝභය.

“අපි යන්නම්” කියමින් ඇය මුදුව ඒ දෑත් සිපගත්තාය. ඒ වචනවල ඇගේ අභ්‍යන්තරික හැඟීම් එක්ව තිබුණි.

නැන්දා පෙරමඟට වී සිටියාය. ආගිය කතාබස් බොහෝය. ගමන් වෙහෙස මඳක් නිවී ගියේ ඇඟපත සෝදා ගැනීමෙන් අනතුරුවය. නැන්දා ගෙනෙන ලද තේ එක තොලගාමින් ගෙවීගිය උණුසුම් මොහොත පිළිබඳව ඇය මෙනෙහි කළාය. නැන්දා විසින් රාත්‍රී ආහාරය ප්‍රණීතව සකසා තිබුණි. බදින ලද වැව් මාළු, තිබ්බටු බැඳුමක්, මඤ්ඤොක්කා ඇතුළු තවත් බොහෝ දෑ ඊට එක්ව තිබුණි. ගමේ කෑම ඔවුන්ට ගෙනාවේ ප්‍රණීත රසයකි.

පසුදා උදයේ යළි ගමන් ඇරඹිණි. මහන්සිය නිසා වැඩි කතාබහක් නොවුණ අතර ආකර්ෂණා තුළ නේක සිතිවිලි පහළ විය. එකී සිතිවිලි අතර එක්තරා සිතිවිල්ලක් තදබල ලෙස කැකෑරෙමින් වැඩුණි.

අරවින්දගේ මව උදවුවට කැඳවූ යුවතිය කවුද?

ඇය අප දෙස විමසිල්ලෙන් බැලුවේ ඇයි?

උඩමළුවට යන ගමනට එක්වීමට කැමැත්තෙන් සිටි ඇයව අරවින්ද විසින් නැවැත්වූයේ ඇයි?

මට අරවින්දව විශ්වාස කරන්න පුළුවන්ද?

විකාර රූපී සිතිවිලි යටිසිතෙහි හොල්මන් කරන්නට විය. ඒවාට පිළිතුරු සොයන්නට පොරබැදුව මුත් ඇය නිහඬවම සිටියාය.

තවත් කොටසකින් හමුවෙමු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?