කතිකා කර ගත් පරිදි පාන්දර හතරට ගමන යොදා ගැනුණි. ආකර්ෂාණාට ගෙනාවේ සතුටකි. ඊයේ රාත්‍රියේ දුලානි ගෙන ආ පණිවුඩය, ඒ සතුටේ මූලයයි. සිතුවිලි ගොන්නකට මැදිව සිටි ආකර්ෂණාට නින්ද මහත් සහනයක් ගෙන තිබුණි. එකී නින්දට වැඩි වෙලාවක් යන්නට මත්තෙන් දුරකතන නාදය ඇය නින්දෙන් පිබිදුවාය. සිය සහෝදරියක වන් අදරැති සොයුරියගේ අපේක්ෂාවෙන් සිටි ඇමතුමයි.
“ආකාෂි වැඩේ ගොඩ.”
“කොහොමද ගොඩදා ගත්තේ? කියන්නකො ඉතින් අගේ නොකර.”

දුලානිට ආකර්ෂණාගෙන් නෝක්කාඩුවකි. එහි සතුටක්ද ගැබ්ව තිබුණි.
“ලෙඩෙක් බලන්න කියලා තමයි පර්මිෂන් ගත්තෙ. ඒකත් බොහොම අමාරුවෙන්.
දණ්ඩ නීති කීපයකටම යටත් වෙන්න වුණා.”
දුලානිගේ ඒ වචන ටිකට නම් ආකර්ෂණාට සිනා නොවී සිටීමට බැරි විය.
උදේ පාන්දරම ගමන යොදාගෙන තිබුණි. එහෙත් රජරට රැජින දුම්රියෙන් නම් නොවේ. දුලානිගේ පියා රියැදුරු සමඟ සිය මෝටර් රථය ගමනට යෙදවීය.
එය පියාගේ එක් කොන්දේසියකි. දෙවැන්න, ගමන වෙහෙසකර බැවින් එදින නවාතැන්ගත යුතු වූයේ නැන්දනියකගේ නිෙවසෙහිය. තෙවැන්න පසුදිනම ආපසු පැමිණීමය. පියාගේ කන්තෝරු වැඩ කීපයකට වාහනය යෙදවිය යුතු බැවින් ගමන එලෙස නිමා කළ යුතුය. කෙලෙසක හෝ ගමනට ලද අවසරය යෙහෙළියන්ට ගෙනාවේ ඉහ වහා ගිය සතුටකි.
කතා කරගත් පරිදි දුලානි විනාඩි පහළොවක දී බෝඩිමට පැමිණියාය. ගේට්ටුව විවර වන හඬ වැකෙත්ම පහළ මාලයට දිව විත් හැරෙන තැපෑලෙන්ම යළිත් තරප්පු පෙළ නැඟ ගත්තේ තමාටම දොස් පවරමිනි. තමාගේ අසිහිය පමාවට හේතුවකි.
“මටත් පිස්සු තමයි.” තිබ්බ නොඉවසිල්ලට තව පොඩ්ඩෙන් බෑග් එකත් දාලයි යන්නෙ. ආකර්ෂණා තමාටම කීය.
බෑගය රැගෙන යළි පහළට දිවගියාය. යෙහෙළිය රියෙන් බැස මඟ බලා උන්නාය.
“ආයි අම්ම. සීදේවි මූණ පොඩ්ඩ. හිනා කටයි. මල්හතයි.” දුලානි කීවාය.
“අනේ තැන්ක් යූ දුලා.
ඔයාට මම කොහොම ස්තුති කරන්නද මන්දා.”
යෙහෙළිය තරයේ වැලඳ ගත්තාය. මොහොතක් එලෙස සිට දෙදෙනාම මෝටර් රථයේ පසුපස අසුනේ හරි බරි ගැසී හිඳගත්තාය.
“ෆුල් ටෑන්ක් කරගත්තා නේද රවින්ද්‍ර?” දුලානි ඇසීය.
” ඔව් ලොකු බේබි.
ලොකු මහත්තයා ඊයේ රෑම තෙල් ගහගන්න කිව්වා.”රවින්ද්‍ර පිළිතුරු දුන්නේය.
“ඔයාට තේ බොන්න ඕනෙ වෙනකොට කියන්නකෝ.”ඇය කීවේ සිනාසෙමිනි.
දෙමිතුරියන්ගේ කිචිබිචිය පටන්ගෙන ටික දුරක් යද්දී ආකර්ෂණා යෙහෙළියගේ උරහිසට හේතු වීගෙනම නින්දකට පිවිසියාය.”පව් අහිංසකි “ඇය දෙස බලමින් සිතුවාය.
බඩගමුව පසු කරද්දී එක්වරම රිය නතර කෙරුණි. තුරු සෙවණින් සැදි මේ විසල් වන ගහණය සිසිලය. තුරුලතාවන්ගෙන් සැදී වන පෙතට තමා ඉතා ඇලුම් කරන බව දුලානි රවීන්ද්‍රට කීවේ යෙහෙළිය නින්දට වැටුණු මෙහොතේය.
” ආ බහින්න නෝනා සුව නින්දෙන් ඇහැරලා.”දුලානිගේ හඬට ගැස්සී ඇහැරුණය.
“මට ටිකක් නින්ද ගියා. මුළු රෑම නින්දක් නැහැ.”
තම්බන ලද ඉරිඟු කරල් කීපයක් උණු උණුවේම රස බලමින් ඉඟුරු තේ එකකින් සැනහුණු ඔවුහු යළි ගමන් ආරම්භ කළහ.
රථය සුපිරි වෙෙළඳසලක් අසල නැවැත්විය. අරවින්දගේ ගෙදරට අවශ්‍ය කළමනා මෙන්ම පිටපොළ නැන්දාගේ නිෙවසට වෙනමම බෑගයක්ද සැකසුණි. ලෙඩා වෙනුවෙන් සස්ටජන් ටින් එකක් ගැනීමටද අමතක නොකළෝය.
දඹුල්ල නගරය පසුකර තවත් බොහෝ දුරක් ගෙවීය. තලාව නගරයටත් ඒ ඔස්සේ දුම්රියපොළ අසලින් දිවෙන අතුරු පාරකට පිවිසිණි. අරවින්දගේ නිෙවසට ඔවුහු ළඟා වූහ. මඟ තොරතුරු දුලානි විසින් සති කීපයකට පෙර අරවින්දගෙන් දැනගෙන තිබුණි. නිවාඩු දිනක ඥාති නිෙවසකට යන බැවින් ඉඩක් ලදොත් සිය නිෙවසටද ගොඩ වැදී යන බව ඇය ඔහුට කියා තිබුණි.
රථය මිදුලේ නතර විය. අරවින්දගේ අම්මායැයි සිතිය හැකි කාන්තාවක් සහ අරවින්දගේ සොයුරා එළියට ආහ. ඔවුන්ගේ දෑස්හි විස්මයාර්ථයක් රැඳී තිබුණු බව හොඳින්ම පෙනුණි.
“කලබල වෙන්න එපා අපි අරවින්දගේ යාළුවො. අපි පොඩි ගමනක් යන ගමන් කතා කරලා යන්න හිතුණා.
කෝ අරවින්ද නැද්ද ගෙදර? “දුලානි ඉස්සර විය. ඔවුන්ගේ මුහුණුවල වූයේ අහිංසක සිනා රැලිය. යෙහෙළියන් දෙදෙනාම මව දෙපා නැමදීය.
“එන්න නෝනල ගේ ඇතුළට. මේවා මහ ලොකු ගෙවල් නෙමයි.”
බැගෑපත් ලෙස මව කීවාය. අරවින්ද නිෙවසෙහි නොමැති වීම ඔවුන්ට කුතුහලයකි. එය වැටහුණු මඩ කමිසයකින් සැරසුණු තරුණයා උත්තර බඳින්නට විය.
“අයියා, අප්පච්චිව උදේම ඩොක්ට ළඟට ගෙනිහින් ආපහු ආව ගමන් කුඹුරට ගියා.
මම අයියට තේ අරගෙන යන්න තමයි ආපහු ආවෙ. හොඳ වෙලාවට එහෙම වුණේ”මල්ලී කීවේය.
යුවතියන්ට අප්පච්චි ගැන සිහි වූයේ එවිටය. දෙදෙනාම අරවින්දගේ මව සමඟ ඔහු සිටි කුඩා කාමරයට ගියෝය. පියා සුව නින්දකය. එක් ප්‍රශ්නයක් විසඳාගන්නට එය ප්‍රමාණවත් විය.
“ඔහු බොරුකාරයෙක් නොවෙයි” ආකර්ෂණා සිතුවාය. ඔහු කෙරෙහි ඇති කරගත් සිතිවිල්ලට ඇයට දුකක් ඇතිවිණි.
“අපිත් එන්නම් මල්ලිත් එක්ක කුඹුරට යන්න.”
යෝජනාව දුලානිගෙනි.
“ඔක්කොටොම කලින් තේ ටිකක් බීලා ඉමු.
මහන්සිත් ඇතිනේ.” අරවින්දගේ මව කීවාය.
” නෑ අපිටත් එක්කම තේ බෝතලයක් දෙන්නකෝ.
අපි කුඹුරට ගිහින්ම අරවින්දලත් එක්කල තේ බොන්නම්.”
ඒ යෝජනාවටත් දුලානි ඉස්සර වූවාය.
ගුරු පාර දිගේ විනාඩි දහයක් පමණ ගිය ඔවුන් ඇළෙන් එගොඩව අරවින්දලාගේ කුඹුරට ළඟාවිය. ඈතින් පෙනෙන මඩ නාගත් මිනිසා හඳුනාගන්නට ආකර්ෂණාට වැඩි වෙලාවක් ගත නොවීය. මල්ලී සමඟ එන යුවතියන් දෙදෙනා ද හඳුනාගන්නට අරවින්දට ද වැඩි වෙලාවක් ගත නොවීය. කඩිමුඩියේ කළ වැඩය පසෙකලා පෝරු ලෑල්ල පැත්තකින් තැබූ ඔහු විනාඩියට දෙකට ගොඩට ආවේ ඇළෙන් මඩ සෝදා ගනිමිනි. වෙහෙසකර ඔහු තුළ ඇති වූයේ විස්මයකි. නොසිතූ මොහොතකම දෙදෙනාගේ පැමිණීම පිළිබඳව ඔහු වඩාත් විමසිලිමත් විය.
” ආකාෂි ඔයාලා මෙහේ ?
හදිසියේම?”
තවත් කොටසකින් හමුවෙමු
