ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අභිමානය, ගෞරවය සහ තේජස පිළිබඳ කතා කිරීමේදී අනිවාර්යයෙන්ම මතකයට නැඟෙන නාමයක් වන්නේ නැදුන්ගමුවේ රාජා හස්තියාය. දශක ගණනාවක් පුරා ශ්‍රී දළදා
සමිඳුන් වඩම්මවමින් ශ්‍රී ලාංකේය ජනහද තුළ අසමසම ගෞරවයක් දිනාගත් රාජා, සාමාන්‍ය හස්තියකු නොවීය. ඔහු ජාතියේ අභිමානයක්, සංස්කෘතියේ ජීවමාන සංකේතයක් සහ උඩරට උරුමයේ තේජාන්විත රූපකයක් විය. අද එම රාජකීයත්වය නවමු ආකාරයකින් මංගල ස්වර්ණාභරණ කලාව තුළ ජීවමාන කරමින් සිටින්නේ ප්‍රවීණ නිර්මාණ සැලසුම් ශිල්පී සුගීස් නවගමුව මහතායි.
උඩරට මනාලියකගේ හැඩගැන්වීම යනු හුදෙක් රූපලාවණ්‍ය අංගයක් නොවේ. එය පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන සංස්කෘතික උරුමයක ප්‍රකාශනයකි. මාල හත, නළල් පටිය, කර පටිය, පෙති මාලය සහ විවිධ ස්වර්ණාභරණ මගින් මනාලියකගේ පෙනුම ඉහළ රාජකීය මට්ටමකට ඔසවා තැබේ. එවැනි පසුබිමක නැදුන්ගමුවේ රාජාගේ තේජාන්විත රුව ආභරණ නිර්මාණ සඳහා යොදා ගැනීමෙන් මනාලියකගේ පෙනුමට දේශීයත්වය, අභිමානය සහ සුවිශේෂීත්වය එක් කිරීමට හැකි වී තිබේ.
මෙම සුවිශේෂී නිර්මාණ පෙළ “සෞභාග්‍යා” ආභරණ කට්ටලය ලෙස නම් කර ඇති අතර, එය ශ්‍රී ලාංකේය සංස්කෘතිය ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින් නිර්මාණය කර ඇත. “සෞභාග්‍යා” යන නාමයම වාසනාව, ගෞරවය සහ රාජකීයත්වය නිරූපණය කරන අතර මෙම ආභරණ කට්ටලය මංගල දිනයක මනාලියකට අභිමානවත් පෙනුමක් ලබා දීමේ අරමුණින් නිමවා තිබේ.
සංකල්පය උපන් ආකාරය
සුගීස් නවගමුව මහතාට මෙම සංකල්පය පහළ වූයේ එක් විශේෂ අවස්ථාවකදීය. දළදා පෙරහර සමයේ නැදුන්ගමුවේ රාජා දළදා කරඬුව වැඩම කරමින් ගමන් කරන අයුරු නරඹමින් සිටියදී රාජාගේ ගමනෙහි වූ සංයමය, විශ්වාසය සහ ගම්භීරත්වය ඔහුගේ සිත ගැඹුරින් ස්පර්ශ කළේය. රාජාගේ අලංකාර ඇඳුම්, රන් කැටයම් සහ විදුලි ආලෝකයෙන් දිදුලන ඒ රාජකීය රුව ඔහුට සාමාන්‍ය පෙරහර අංගයක් ලෙස නොව ශ්‍රී ලාංකේය අනන්‍යතාවයේ ජීවමාන ප්‍රතිමාවක් ලෙස දැනුණි.
එම අවස්ථාවේදී ඔහුගේ සිතට නැඟුණු අදහසක් වූයේ, “මෙවැනි රාජකීයත්වයක් උඩරට මනාලියකගේ පෙනුමට එක් කළහොත් කොතරම් අලංකාර වේද?” යන්නයි. එතැන් පටන් ඔහු නැදුන්ගමුවේ රාජාගේ රුව, හස්තියාගේ මුහුණේ හැඩය, හිස් ආවරණයේ කැටයම් සහ ගමනේ ගම්භීරත්වය ආභරණ මෝස්තර බවට පත් කිරීමට අත්හදා බැලීම් ආරම්භ කළේය.
මෙම නිර්මාණවල විශේෂත්වය වන්නේ ඒවා හුදෙක් අලියකුගේ රූපයක් ආකාරයෙන් නොව නැදුන්ගමුවේ රාජාගේ සැබෑ ස්වරූපය සහ ඔහුගේ ඇත් දළ ආකෘතිය යොදා ගනිමින් නිර්මාණය කර තිබීමයි. විශේෂයෙන් මෙම නිර්මාණ සකස් කිරීමේදී රාජාගේ ඇත් දළවල පිහිටීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඇත් දළ දෙපසට විහිදී ඇති ආකාරය, ඒවායේ ස්වාභාවික වක්‍රතාව, දිග සහ සමබරතාව නිවැරදිව නිරූපණය කිරීමට නිර්මාණ ශිල්පීන් කටයුතු කර ඇත. එම නිසා මෙම ආභරණ නිර්මාණවල රාජකීයත්වය සහ ජීවමාන ස්වරූපය තවත් ඉහළ මට්ටමකට ගෙන යාමට හැකි වී තිබේ.
ඔහුගේ මුල්ම සැලසුම් කිහිපය සාම්ප්‍රදායික උඩරට ආභරණ රටාවන් සමඟ මිශ්‍ර වූ “සෞභාග්‍යා මෝස්තර” නිර්මාණ විය. විශේෂයෙන් පෙති මාලයේ මධ්‍යයට හෝ නළල් පටියේ ප්‍රධාන කොටසට රාජකීය හස්ති රුව යෙදීම ඔහුගේ සුවිශේෂී නිර්මාණ ලක්ෂණයක් බවට පත්විය. පසුව මෙම නිර්මාණ දැක මනාලියන් සහ රූපලාවණ්‍ය ශිල්පීන් විශාල ප්‍රශංසාවක් ලබා දීමත් සමඟ මෙම සංකල්පය වඩාත් ජනප්‍රිය විය.
24ct රන් ආලේපිත තාක්ෂණයේ විශේෂත්වය
24ct රන් ආලේපිත තාක්ෂණය මෙම ආභරණවල වටිනාකම තවදුරටත් ඉහළ නංවයි. සාමාන්‍ය රන් ආලේපිත ආභරණවලට වඩා 24ct රන් භාවිතයෙන් නිමවන මෙම ආභරණවල දිදුලන ස්වාභාවය සහ නිමාව සැබෑ රන් ආභරණවලටත් සමාන මට්ටමක පවතී.
මෙම නිර්මාණ සකස් කිරීමේදී ඉතා සියුම් කැටයම් ශිල්පීය ක්‍රම භාවිත කරයි. හස්තියාගේ මුහුණේ හැඩය, ඇස්, හිස් ආවරණය සහ ඇත් දළවල පිහිටීම පවා ඉතා සූක්ෂ්ම ලෙස නිර්මාණය කරනු ලබයි. එම නිසා මෙම ආභරණ කට්ටල සාමාන්‍ය මංගල ආභරණවලින් වෙනස් වූ විශේෂ කලා නිර්මාණ ලෙස හැඳින්විය හැකිය.
දේශීයත්වය රැකගන්නා නව ප්‍රවණතාවක්
වර්තමානයේ බොහෝ මංගල ආභරණ විදේශීය මෝස්තරවලට නැඹුරු වී ඇති පසුබිමක නැදුන්ගමුවේ රාජාගේ තේජස ආභරණ කලාවට එක් කිරීම සැබෑ සංස්කෘතික පුනරුදයක් ලෙස හැඳින්විය හැකිය. මෙය හුදෙක් විලාසිතාවක් නොව, ශ්‍රී ලාංකේය අනන්‍යතාව සහ උඩරට උරුමය මතු පරපුරට ගෙන යන නිර්මාණාත්මක උත්සාහයකි.
අද මනාලියන්ට තම මංගල දිනයේදී සැබෑ රාජකීයත්වයක් අත්විඳීමට අවස්ථාව ලැබී තිබේ. “සෞභාග්‍යා” ආභරණ කට්ටලය හරහා නැදුන්ගමුවේ රාජාගේ අභිමානය, ශක්තිය සහ ගෞරවය මංගල පෝරුව මත දිදුලන ස්වර්ණාභරණ තුළින් යළිත් ජීවමාන වෙමින් පවතී.
TEXT – දුමින්ද කාරියවසම්
