රාත්‍රී නින්දට පසු වෙහෙසක් දැනුණොත්

මැයි 29, 2019

විඩාවෙන් පිරුණු දවසක අවසානය තමයි සැපවත් නින්ද. මනසට වගේම ශරීරයටත් එයින් සහනයක් ලැබෙනවා. ඒත් ඇතැම් කෙනකුට නින්දට පසු වෙහෙසක් දැනෙන අවස්ථා තිබෙනවා. එහෙම වෙන්නත් හේතු තිබෙනවා. ඔබටත් එවැනි වෙහෙසක් දැනුණොත් නොසලකා ඉන්න නම් එපා. වෙහෙස දැනෙන්නේ මේ හේතු නිසා වෙන්නට පුළුවන්.

රක්තහීනතාවය

රක්තහීනතාවය ඇතිවන්නේ රුධිරයේ අඩංගු යකඩ ප්‍රමාණය මඳවීම නිසයි. එමඟින් රතු රුධිරාණු සෛල නිපදවීම පාලනය වෙනවා. මෙමඟින් මාංශ පේශීවලට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. එම හේතුව නිසා ඔබ ශක්තිය වැය නොකළත් ඔබට වෙහෙසක් දැනෙන්නට පටන් ගන්නවා.

දියවැඩියාව

දියවැඩියා රෝගයේ මුල සිරුර තුළ ඉන්සියුලින් නිපදවන ප්‍රමාණයේ වෙනස්කම් ඇති වීමයි. එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ සීනි මට්ටම වේගයෙන් ඉහළ නඟිනවා. දියවැඩියා රෝගයේ අතුරු ප්‍රතිඵලයක් ලෙසත් නිතරම වෙහෙස දැනීම සිදුවිය හැකියි.

අක්මාවේ ගැටලු

පිත මඟින් සිදු කෙරෙන්නේ සිරුරේ ඇති විෂ සහිත ද්‍රව්‍ය, කොලෙස්ටරෝල් සහ ගෙවී ගිය රුධිර සෛල ආදිය පිට කර හැරීමයි. නමුත් අක්මාවේ නාල අවහිර වූ විට හෝ බිඳී ගිය විට මේ ක්‍රියාවලියට බාධා ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙසත් සිරුරට නිතර නිතර වෙහෙසක් දැනිය හැකියි.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු

තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටලු ඇතිවීම මඟින් සිදුවන්නේ නිපදවෙන තයිරොයිඩ් හෝමෝනය අඩු වීමයි. තයිරොයිඩ් හෝමෝනයෙන් සිදු කෙරෙන්නේ සිරුරට අවශ්‍ය ශක්තිය ලබාදීමයි. තයිරොයිඩ් හෝමෝනය නිපදවීම අඩාල වූ විට ඔබේ සිරුරට වෙහෙස ස්වභාවයක් දැනෙන්නට පටන් ගන්නවා.

කොතරම් දියුණු වුණත් තාක්ෂණයෙන් මවුකිරි හදන්න බෑ නේද?

අද වනවිට තාක්ෂණය බොහොම දියුණුයි. මිනිසුන් වෙනුවට වැඩකරන රොබෝවරු පවා හදල තියෙන්නේ. එහෙත් තවමත් මවුකිරි කෘත්‍රිමව හදන්න කිසිවකුට බෑ. මවුකිරි විදියට මවක් දරුවකුට දෙන්නේ ඇගේම රුධිරයයි. තමන්ගේම දරුවා වෙනුවෙන් උපන් ආදරයෙන් මවගේ රුධිරය කිරි බවට හැරෙනවා. එය සත්ත්ව සංහතියේ උතුම් කැපකිරීමක්. ගෙවී ගියේ ඒ උතුම් කැපකිරීම කරන උතුම් මවුවරුන්ගේ දිනයයි. ලෝකයක් තනන්නට මවගෙන් ඉටුවන මෙහෙය මෙයින් නිම වන්නේ නෑ. අනන්ත වේදනාවන්, නිදිවැරීම්, නිමක් නැති තරම්. උතුම් අම්මාවරුනේ, අප සැම ඔබට සදා ණය ගැතියි.

ලස්සන මුළුතැන්ගෙයක ආඩම්බර හිමිකාරියක් වෙන්න

මුළුතැන්ගෙය කියන්නේ නිවෙසේ තියෙන වටිනාම ස්ථානයයි. අපට අවශ්‍ය කෑම, බීම හදල අපේ බඩගින්න නිවන තැන තමයි මුළුතැන්ගෙය. මුළුතැන්ගෙය දිහා බැලුවම ගෙදර සිටින කාන්තාවගේ හැටි වගේම ගෙදර ආර්ථිකය ගැනත් කියන්න පුළුවන් කැඩපතක් වගේ. ඒ නිසා ඔබේ ගරුත්වය, නිවෙසේ ලස්සන රැකෙන විදියට නිවෙස ලස්සනට තියාගන්න. විශේෂයෙන් මුළුතැන්ගෙය. බලන්න, මේ විදියට කළොත් ඔබටත් ලස්සන මුළුතැන්ගෙයක ආඩම්බර හිමිකාරියක් වෙන්න පුළුවන් වේවි.

එකම හැඩයේ එකම විදියේ භාජන අසුරන්න

කුස්සියට අවශ්‍ය කරන දේවල් ගොඩක් දෙනා දාන්නේ විවිධ බෝතල්වල. පරණ ජෑම් බෝතල්, පරණ අයිස්ක්‍රීම් පෙට්ටි, පරණ පිටි ටින්වල ඒවා දාලා තිබ්බම අපිළිවෙළ පෙනුමක් ලැබෙනවා. විවිධ වර්ණවල, විවිධ හැඩවල බෝතල් භාවිත කරනවා වෙනුවට එකම ස්වරූපයේ බඳුන් මිලට ගන්න. සති පොළකට වගේ ගියානම් ඉතා අඩු මිලට භාජන මිලට ගන්නට පුළුවන්.

ආලෝකය හොඳින් සපයන්න

ආලෝකය හොඳින් ලැබෙන විට එහි සුඛෝපභෝගී පෙනුම වැඩි වෙනවා. පිරුණ ආලෝකයකට ඔබේ නිවෙසේ අඩුපාඩු මකමින් ගුණාත්මක බව රැගෙන එන්නට පුළුවන්.

බිත්තිවලට ළා පාටක් ආලේප කරන්න

අඳුරු වර්ණයක් ඇති විට ඔබේ මුළුතැන්ගෙයට ඇහිරුණු පෙනුමක් ලැබෙනවා. මේ නිසා මුළුතැන්ගෙයට වඩාත්ම ගැලපෙන්නේ ළා පාටක් හෝ ළා පාට දෙකක එකතුවකින් හැඩ කළ බිත්තියි.

රාක්කවල බඩු පිළිවෙළට අසුරන්න

රාක්කවල බඩු ඇසිරීමේදී එය සිත් ඇදගන්නා සුළු ලෙසින් සිදු කරන්න. එයට කලාත්මක බවක්, පිළිවෙළක් එකතු කරන්න.

හදන්න, රටට බර නැති දරුවෙක්

දරුවන් තමයි රටේ අනාගතය. ඔබත් මවක්, පියෙක් නම් ආදරණීය දරු පැටියකු හදන පැතුම ඔබටත් ඇති. ඒ වගේම වගකීම ගැන බයකුත් ඇති. හෙට දවස වෙනුවෙන් වටිනා දරුවකු හදන්නට නම් මේ විදියට පුංචි කාලේ පටන් හොඳ පුරුදු උගන්වන්න. අනාගතයේ දවසක ඔබටත් ආඩම්බර වෙන්න, සතුටු වෙන්න හේතු තියේවි.

* තමන්ගේ හිතට දැනෙන තරහ පාලනය කරගන්න දරුවන්ව පුහුණු කරන්න.

* ජීවිතයේ සිදුවන අහිමිවීම්වලට මුහුණ දීමේ ශක්තිය දරුවා තුළ ඇති කරන්න.

* සෙසු දරුවන් එක්ක, වැඩිහිටියන් එක්ක එකඟතාවයන් ඇතිකරගන්නා ආකාරය පුරුදු කළ යුතුයි.

* තමන්ගේ වැඩ තනිව කරගැනීමට ඉගැන්විය යුතුයි.

* තම නිවෙසේ ලිපිනය ඔවුන්ට මතකයෙන් පවසන්නට උගන්වා තබන්න.

* අමුත්තන් සමඟ අනවශ්‍ය කතා බහේ නොයෙදීමටත්, අමුත්තන් සමඟ පිටතට නොයා යුතු බවත් දරුවාට උගන්වන්න.

* ගුණවත් ආහාර ලබාගැනීම යහපත් පුරුද්දක් බවත්, එයින් ඔවුන්ට ප්‍රයෝජන බොහොමයක් ලැබෙන බවත් ඔවුන්ගේ සිත්වලට කා වද්දන්න.

* වැඩිහිටියන් ඉදිරියේ ලැජ්ජාශීලී නොවී, ප්‍රසන්නව හැසිරෙන්නට උගන්වන්න.

* නොදන්නා දේවල් පිළිබඳ ප්‍රශ්න ඇසීම වරදක් නොවන බව කියා දෙන්න.

* තමන්ගේ ක්‍රියාවල වගකීම ගන්නට දරුවාට හුරු කරවන්න. තමන්ගේ අතින් බඩුවක් කැඩුනාම එය සහෝදරයෙකුගේ පිට පටවන්න උත්සාහ නොකරන විදිහට ඔබේ දරුවාව හදාගන්න.

අන්තර්ජාලය ඇසුරින්