වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
හෙයා ඩයි පියයුරු පිළිකා අවදානම වැඩි කරනවා
උපන්දා සිට මියෙන තුරුම අපට ආහාර පාන වගේම නැතිවම බැරි දෙයක් තියෙනවා. ඒ රූපලාවණ්‍ය නිෂ්පාදනයි.
අප වැඩි දෙනෙක් සිතා සිටින්නේ රූපලාවණ්‍ය නිෂ්පාදන වැඩිපුර අවශ්‍ය වෙන්නේ නව යොවුන් වියට පිවිසුණු පසු හැඩකාර රුවක් වෙනුවෙන් දවසේ වැඩි කාලයක් වෙහෙසෙන නව යෞවන යෞවනියන්ටත් වියපත් වීම සඟවා ගැනීමට පසුම්බියෙන් වැඩි මුදලක් වැය කරන වියපත් අපේ කාන්තා පක්ෂයටත් කියායි.
එහෙත් මෙලොවට බිහිවූ කිරිකැටියාට පවා රූපලාවණ්‍ය නිෂ්පාදන හෙවත් කොස්මැටික්ස්වලින් ගැලවීමක් නැහැ. ඒවා අපේ සෞඛ්‍යයට සම්බන්ධයැයි සිතුන ද සැබැවින්ම ඒවාත් කොස්මැටික්ස්ම තමයි.
බේබි ෂැම්පු, බේබි වයිප්ස්, ටැල්කම් පුයර, සබන්,නැපි ක්‍රීම් මෙවැනි බොහෝ දේ අයිති රූපලාවණ්‍ය නිෂ්පාදනවලටයි. දරුවන්ට මෙවැනි නිෂ්පාදන මිලදී ගැනීමේදී අම්මලා තාත්තලා සැලකිලිමත් විය යුතු කරුණු ගණනාවක් තියෙනවා. ඒ මේවායේ විස සම හරහා කිරිකැටියාගේ රුධිරයට එක්වන නිසයි. වැඩිහිටියන්ට වඩා අහිතකරව ළදරුවන්ට රසායනවල බලපෑම වැඩියි.
මිනරල් ඔයිල් අඩංගු බේබි ඔයිල් වෙනුවට පොල් තෙල් හෝ ඔලිව් තෙල් අඩංගු නිෂ්පාදන තෝරාගත යුතුයි. සුවඳ නැහැයට මිහිරක් එක් කළ ද සුවඳ විලවුන් එක්කළ නිෂ්පාදන දරුවන් වෙනුවෙන් නම් තෝරා ගැනීම සුදුසු නැහැ. වයස අවුරුදු තුනට අඩු දරුවන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමේදී අම්මලා තාත්තලා හරිම පරෙස්සම් වෙන්න ඕන. ගැහැනු පිරිමි කියා වෙනසක් නැතිව නිරන්තරයෙන්ම භාවිත වන නිසා වැඩිහිටියන්ගේ කොස්මැටික්ස් තත්ත්වය ඊටත් වඩා භයානකයි. ප්‍රමිතියක් නැති නිෂ්පාදන ඕනෑ තරම්. සමහර රූපලාවන්‍ය නිෂ්පාදන රූපලාවන්‍යාගාරවලින් පාරිභෝගිකයට දෙන්නෙ මේවා අපි හදපුවා කියලා. සමහරු අඩංගු දේ දන්නේ නැහැ. ඒ ගැන විමසන්නේත් නැහැ. සුවඳට පෙනුමට තියන නිසා රූපලාවන්‍ය නිෂ්පාදනවල කල් තබා ගන්නා දිනයක් ගැන සොයා බලන්නේත් නැහැ. හරියට භාවිත කරන්නෙත් නැහැ.
පිළිකා සහ කොස්මැටික්ස්
කොස්මැටික්ස් හෙවත් රූපලාවණ්‍ය නිෂ්පාදනවලින් හැඩවී සිටින විට අපට ඉහවහා යන සතුටක් ලැබුණ ද එය කකුළුවා ජලය උණුවන තුරු ලබන සතුටක් වගෙයි. රූපලාවණ්‍ය නිෂ්පාදනවල සැඟවුණු රසායන මාරයන් තිබෙන රුව අවලස්සන කරනවා පමණක් නොව මාරයාට ළං වීම ද ඉක්මන් කරනවා. කොස්මැටික්ස්වල අඩංගු බොහෝ රසායන අපේ සිරුරේ හෝර්මෝනවලට බාධක ලෙසින් ක්‍රියා කරනවා. මේවා මඟින් සිරුරේ හෝර්මෝන ක්‍රියාකරන විදිය වෙනස් කරනවා. මෙයින් ශරීරයේ හෝර්මෝන සමතුලිතතාවට බාධා සිදු වෙනවා.
*ස්ථිරවම කොණ්ඩා වර්ණ ගන්වන වර්ණකවල සහ කොණ්ඩය කෙළින් කරන රසායනවල බලපෑම
කොණ්ඩා කෙළින් කරන රසායන( කොණ්ඩේ ස්ට්‍රේට් කිරීමට ගන්නා රසායන ), ස්ථිරවම වර්ණ ගන්වන රසායන පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම වැඩිකරන බව සොයා ගෙන තිබෙනවා. අවාසනාවකට සුදු සමක් හිමි කාන්තාවන්ට වඩා කළු සමක් හිමි කාන්තාවන්ට මේ අවදානම ඉහළයි. පියයුරු පිළිකාවලට බොහෝ කාරණා හේතු වෙනවා. වෙනස් කළ නොහැකි සාධක වන වයස්ගත වීම, ජානමය උරුමය, ස්ත්‍රී පුරුෂ බව මීට බලපාන බව අපට අමතක කරන්න බැහැ.
උපදෙස් - චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කරවිට
2020/09/09 තරුණි පුවත්පත බලන්න