ඇවිද්ද විට දහස් වටින පා දස දහස් වරක් රැක ගන්න

සැප්තැම්බර් 30, 2020

අද ලෝකයේත් ලංකාවේත් අංක එකේ මාරයා බෝ නොවන රෝගයි. හෘද රෝග, ආඝාතය (ස්ට්‍රෝක්) පිළිකා, දියවැඩියාව, ඇදුම වැනි රෝග ලැයිස්තුවක් නැවතීමේ තිතක් නොතබාම අපේ රෝග ලැයිස්තුවට එක් වෙනවා.

බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතු ගණනාවක් බලපානවා. ඒ අතරින් ප්‍රධානම හේතුවක් වන්නේ ව්‍යායාම නොකිරීමයි.

ව්‍යායාම අතර සුපිරිතම ව්‍යායාමය ඇවිදීමයි. ඇවිද්ද පය දහස් වටී කියන්නේ කට කහනවට නොවෙයි. පැරැන්නන් ඇවිදීමේ වටිනාකම හඳුනාගෙන සිටියත් අද අපේ අය ඇවිදීමේ වටිනාකම හඳුනාගෙන නෑ. සමහරුන්ට ඇවිදීමේ වටිනාකම හඳුනා ගත්ත ද ඇවිදීමට පුළුවන්කමක් නෑ. ඒ දෙපා වේදනාව නිසයි. ස්ථුල පුද්ගලයන් බොහෝ දෙනකු නඟන මැසිවිල්ල වනුයේ “අනේ මගේ කකුල් කැක්කුම නිසා ඇවිදින්න බෑනෙ” යන්නයි

පොළොවේ පයගසා සිටීම අපට සෞඛ්‍යසම්පන්නව ජීවත් වීමේදී ඉතා වැදගත්. එලෙසම ඊට බාධා කරන හේතුවක් ඇත්නම් එය වටහා ගෙන පිළියම් කිරීම ඊටත් වඩා වැදගත්.

දෙපා රිදෙන්නේ ඇයි?

අපේ දෙපා නිර්මාණයවී ඇති අස්ථිවල සන්ධිවල, ඛණ්ඩරාවල, මාංසපේශිවල, ස්නායුවල, රුධිර නාලවල කුමන හෝ ගැටලුවක් ඇති වූ විට අපේ දෙපා වේදනාකාරි වෙන්න පුළුවන්. වැරැදි පාවහන් භාවිතයෙන් ද දෙපා රිදුම් දෙනවා. මීට අමතරව ආතරයිටිස්, පිළිකා, අස්ථි පිපිරිම්, අස්ථි දිරීම්, දෙපා ආසාදනයන් ද දෙපා වේදනාවට බලපානවා.

ප්‍රධානම හේතු ප්ලැන්ටර් ෆැසිට්ස්

මේ රෝග තත්ත්වයේදී පාදයේ යටි පතුලේ වේදනාව ප්‍රධාන ලෙසින්ම ඇති වෙනවා. උදෑසන අවදිවී ඇඳෙන් නැඟිට මුලින්ම පා තබද්දී පාදයේ වේදනාව ඇති වෙනවා. සවස් කාලයේදී ඇවිදින විට වේදනාව අඩු වෙනවා. දිගු වේලාවක් බරක් දරා සිටීමෙන් පසු හෝ ක්‍රියාකාරීත්වයේ හදිසි වෙනසකට පසු වේදනාවක් ඇති වන්න පුළුවන්.

ටික වේලාවක් ඇවිදින්නේ නැතිව සිට ඇවිදින විටද වේදනාවක් ඇති වෙනවා.

 

උපදෙස් - සන්ධි සහ සන්ධි ආශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

හරිඳු විජේසිංහ

 

2020/09/30 තරුණි පුවපත බලන්න