වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබ වාසනාවන්ත ද? ඒ බව දැනගන්නේ කොහොම ද?
සාර්ථකත්වය හඹා යාමට සැරසෙන ඔබ ඒ සඳහා තවත් දේ එකතුකර ගැනීම අවශ්‍ය ය. දක්ෂතා, දැනුම ලබා ගන්නවා මෙන්ම ඒ සඳහා අප තුළ පවතින ඇතැම් විශ්වාසයන් හා ඇවතුම් පැවතුම් ද බලපෑම් කරයි.
එමනිසා සාර්ථකත්වය ලබා ගැනීම සඳහා වුවමනාවක් ඇති ඔබ අප තුළ තිබිය යුතු දේ මෙන්ම නොතිබිය යුතු දේ ගැන ද දැනුවත් විය යුතුයි.
පසුගිය සතියේ දී අප සාර්ථකත්වය ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නකු විසින් අත්හැර ගත යුතු ඇතැම් සිතිවිලි විශ්වාස පිළිබඳ කතා කළා මත ඇති. අද අපි ඒ පිළිබඳ තව දුරටත් කරුණු සාකච්ඡා කරමු.
වාසනාව පිළිබඳ ඇති අධික විශ්වාසය ද දියුණුව අඩාල කිරීමට සමත් වන එක් සාධකයක් වේ. මෙය මිථ්‍යා විශ්වාසයක් ලෙස පවසන්නේ වාසනාව මිථ්‍යාවක් යැයි පැවසීමට නොවේ. සියල්ල තීරණය වන්නේ තමාගේ වාසනාව අවාසනාව අනුව යැයි සිතීම මිථ්‍යාවකි. මෙලොව අපට සිදුවන සෑම දෙයක්ම අපේ වාසනාව, අවාසනාව නිසා සිදු වන බව ඇතැම්හු විශ්වාස කරති. එහෙත් අපට සිදුවන සියලු දේ තීරණය වන්නේ වාසනාව, අවාසනාව මත පදනම්ව නොවේ.
වාසනාව යන්න අපේ රටේ අය පිළිගන්නා ආකාරයට අර්ථකථනය කළහොත් තමාගේ කිසිම මැදිහත් වීමකින් තොරව, තමාගේ ශ්‍රමය වැය කිරීමකින් තොරව යම් කිසි පුද්ගලයෙක් දියුණුවට, සාර්ථකත්වයට පත් වී ඇති නම් හෝ යමක් ජයග්‍රහණය කරන්නේ නම් එය වාසනාව නිසා සිදු වන්නකි. එමෙන්ම තමන් අපේක්ෂා නොකරන පරිදි යම් දෙයක් සිදු වන්නේ නම් එය අවාසනාව ලෙස හඳුන්වයි.
අපේ රට වැනි රටවල්වල වාසනාව යන සංකල්පය හොඳින් අළෙවි වේ. අපේ රටේ පවතින බොහෝ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා මඟින් ඔබේ වාසනාව උරගා බලන්න තරග සඳහා සහභාගී වන ලෙස තම රසිකයන්ට පවසයි. එවිට එම තරගයට සහභාගී වී ප්‍රශ්න දෙක තුනකට උත්තර දුන් පසුව අද තරගයේ වාසනාව දිනූ ජයග්‍රාහකයා ලෙස පවසමින් යම් කිසි දිනුමක් ලබා දේ. ඉන් පසුව තම ගුවන්විදුලි නාලිකාව ශ්‍රවණය කරන, තම රූපවාහිනී නාලිකාව නරඹන නිවෙස්වලට ගොස් 'වාසනාවන්තයන් සොයා' තෑගි දෙන බව පවසමින් ඔවුන් වාසනාව යන සංකල්පයට සමීප කරවයි. මිනිසුන්ද මේ සඳහා උද්යෝගයෙන් සහභාගී වන්නේ කෙටි, පහසු ක්‍රමයක් මඟින් යම් කිසි ධනවත් බවක් ලාභයක් ලබා ගැනීම සඳහා යි.
එමෙන්ම අපේ රටේ පවතින ඇතැම් ලොතරැයි සඳහා නම් යොදා ඇත්තේ ද 'වාසනාව' යන නම මුල්කර ගනිමිනි. එමඟින් ද මිනිසුන්ට වාසනාව පිළිබඳ ප්‍රබල හැඟීමක් ගෙනදෙනු ලබයි. එමෙන්ම අපේ රටේ තවත් ව්‍යාපාර කොටසක් වාසනාව ලබා ගැනීම සඳහා මුල් වී තම ව්‍යාපාර පවත්වාගෙන යනු ලබයි. වාලම්පුරි, වාසනාව ගෙනෙන මැණික් ආදී පාශාණ වර්ග විකිණීමේ ව්‍යාපාර සිදු කරනු ලබන්නේ ඒවා තමා සන්තක කරගැනීමෙන් කිසිදු මහන්සියකින් උත්සාහයකින් තොරව යස ඉසුරු ලබා දෙන වාසනාවක් පාදා දෙන බව කියමිනි.
ෆෙං ෂුයි, යන්ත්‍ර මන්ත්‍ර කරන අය, යම් තෙල් වර්ග ආදී දේ මඟින් ද බොහෝ සේ වාසනාව විකිණීම සිදු කරයි. මේ දේවල් කිරීම මඟින් බොහෝ දෙනා සිතීමට පෙලඹෙන්නේ පුද්ගලයන්ගේ සාර්ථකත්වය උදා වන්නේ එකිනෙකා සතු සාර්ථකත්වය නිසා බවය. අපට සාර්ථක වීමට නොහැකි වී ඇත්තේ තමා සතු අවාසනාවන්ත බව නිසා යැයි මොවුන් සිතීමට පෙලඹේ.
මෙය තාර්කිකව සිතා බැලුවහොත්, මේ ලෝකයේ මිනිසුන්ගේ සාර්ථකත්වය තීරණය වන්නේ ඔවුන් සතු වාසනාවන්ත බව නිසා ම ද? ඉන්දියාවේ විවේක් මින්ද්රා නම් දේශකයා වාසනාව යන වදන අර්ථකථනයකර තිබුණේ 'ඹ්චඡඥපඪදඨ භදඤඥප ජධපපඥජබ ඬදධඹතඥඨඥ' මෙහි සිංහල පරිවර්තනය වන්නේ වාසනාව යනු තමාගේ ශ්‍රමය නිවැරැදිව භාවිත කිරීම තුළින් වාසනාව උදාකර ගත හැකිය යන්නයි. එහි අදහස වන්නේ වාසනාව යනුවෙන් අමුතු දෙයක් නොවන බවත් එය අප විසින් උදාකර ගත යුතු දෙයක් වන බවත් ය.
බුදු දහම වැනි ඉතා ඉහළ ඉගැන්වීම්වල පවතින්නේ උට්ඨාන වීර්යය, මනා සිහි කල්පනාව, නිසි වෙලාවේ අනලස්ව කටයුතු කිරීම යන දේ සාර්ථකත්වය ළඟාකර ගැනීමට හේතුවන බවයි. බුද්ධ දර්ශනයේ කොතැනක හෝ සියල්ල තීරණය වන්නේ ඔබගේ වාසනාව හෝ අවාසනාව මත යැයි සඳහන් කොට නැත.
මී කුණක් විකුණා ධනවත් වන තරුණයකුගේ කතාවක් බෞද්ධ සාහිත්‍යයේ ඇත. එම කතාවේ දී ද එම තරුණයා තම දියුණුව උදාකර ගන්නේ වාසනාව මත පදනම්ව නොවේ. එම මී කුණ අතට අරගෙන ඉන් උපක්රමශීලීව යම් මුදලක් උපයාගෙන එම මුදල නිසි සේ ආයෝජනය කොට ඉන් නැවතත් ලාභයක් උපයා ගනිමින් මේ තරුණයා ක්‍රම ක්‍රමයෙන් ධනවතෙක් බවට පත්වේ. ඒ අනුව බුද්ධිමත්ව සිතා නිසි සේ ක්‍රියා කිරීම මඟින් ඔහු දියුණුව උදාකර ගනී.
එමෙන්ම ගැල් පන්සියයක් කාන්තාරයේ අතරමං වී ජලය නැතිව ජීවිත පවා අහිමි වීමට තිබිය දී බෝසතුන් වහන්සේ තම නුවණ මෙහෙයවා කණ්ඩායමේ සිටි ශක්තිවන්තයන් කිහිපදෙනකුගේ උදවුව මත ඊතණ පඳුරක් ඇති තැනක් හාරා දිය ලබා ගනියි. මෙහිදී නුවණ මෙහෙයවා ක්‍රියා කිරීම මඟින් අවාසනාව දුරලා වාසනාව ලබා ගැනීමට ඔවුනට හැකියාව ලැබේ.
ජීවිත සාර්ථක කරගත් පුද්ගලයන්ගේ ජීවිත කතා දෙස බැලීමේ දී ඒ කිසිම පුද්ගලයෙක් වාසනාව දෙස බලාගෙන සිටි පුද්ගලයන් නොවේ. උද්යෝගයෙන්, උනන්දුවෙන්, මනා සිහි කල්පනාවෙන්, නිසි තැනදී නිසි සේ ක්‍රියා කිරීම මඟින් තමා ලබා උපන් ආකාරය වෙනස්කර තමාගේ ජීවිත ඉහළට ඔසවා ගත් අයයි. නමුත් තමා වෙනුවෙන් හෝ යමක් කළ නොහැකි, කම්මැලි, දුර්වල පුද්ගලයන් සාර්ථක පුද්ගලයන් දෙස බලා 'අපට සාර්ථක වෙන්න එතරම් වාසනාවක් කොහෙන්ද' යැයි කියමින් හූල්ලති.
සරලව ඔබට කිව හැකි දේ වන්නේ මිනිසකු ලෙස උපත ලබා ඇති ඔබ දැනටම වාසනාවන්ත බවයි. අමුතුවෙන් ඔබට වාසනාව සෙවීමට අවශ්‍ය නොවේ. කොවිඩ් 19 රෝගය ලොව පුරා පවතින මේ සමයේ ලෝකයේ බොහෝ රටවල මිනිසුන් බොහෝ ගණනක් මිය යයි. එතරම් මිනිසුන් මිය යන මේ මොහොතේ ඔබ තවමත් එම රෝගය වැළඳී නැති පුද්ගලයකු නම්, එය වැළඳී සුවය ලබා සිටී නම්, ඔබ තවමත් ජීවතුන් අතර නම් ඔබ සැබෑම වාසනාවන්තයෙක්.
ලංකාවේ උදෑසන නිවෙසින් එළියට බහින අයගෙන් දළ වශයෙන් හය දෙනෙක් නැවත පණ පිටින් නිවෙසට නොපැමිණෙන බව පැවසේ. ඒ රිය අනතුරු නිසයි. ඔබ මෙසේ මිය යන මිනිසුන් අතර තවමත් ජීවතුන් අතර සිටින්නෙක් නම් එයම වාසනාවකි.
ලෝකයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි කොටසකට පානීය ජලය නොමැති කමින් පීඩාවට පත්ව සිටී. ලෝක ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට එක් වේලක් ආහාර ගත් පසු අනෙක් වේල ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතී. ඔබට තුන්වේලට ආහාර සඳහා මොනවා හෝ තිබේ නම්, බීමට පිරිසුදු ජලය තිබේ නම්, ඔබට විළි වසා ගැනීම සඳහා ඇඳුම් පැලඳුම් තිබේ නම් ඔබට විසීමට යම් සුරක්ෂිත තැනක් තිබේ නම් එයට වඩා වාසනාවක් ඔබ සෙවිය යුතු නැත. දැනටමත් ඔබ වාසනාවන්තයෙකි. විය යුත්තේ ඔබ ක්‍රියාත්මක වීමයි.
ලෝකයේ සාර්ථකත්වය ලබා ගත් මිනිසුන් වාසනාව මත නොව, තමා මත විශ්වාසය තබා ක්‍රියාත්මක වීමෙන් ජයග්‍රහණ, සාර්ථකත්වය ලබා ගත් පුද්ගලයන් වේ.
මොහාන් පල්ලියගුරු යූ ටියුබ් චැනලය මඟින් ඔබට මෙම සාර්ථකත්වයේ ගුරුහරුකම් තවදුරටත් ලබා ගත හැකියි.
උපදෙස්
ප්‍රවීණ දේශක හා මනෝ විද්‍යා පුහුණු උපදේශක
මොහාන් පල්ලියගුරු
සටහන
අයන්ති උඩුගම්පල