වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
සාප්පු සවාරි ගිහින් ඔමික්‍රෝන් ගෙදරට ගේන්න එපා
අලුත් එන්නතක් අවශ්‍ය වන්නේ නැහැ
නව කොරෝනා වෛරසය ආසාදනය නොවූ කෙනකු සිටින නිවෙසක් සොයා ගැනීමට නො හැකි තරම්ය. ඩෙල්ටා එතරම් වේගයෙන් පැතිරිණි. අලුත් අවුරුදු සාප්පු සවාරියත් සමඟ ඇවිළුණූ ඩෙල්ටා ගින්න තවමත් නිවී නැත.
දැන් පැමිණ තිබෙන්නේ ඩෙල්ටාටත් වඩා වේගයෙන් පැතිරෙන ඔමික්‍රෝන් ය. නත්තල් නිවාඩුව, නව වසර අබිමුවේ පැමිණි ඔමික්‍රෝන් යළිත් රතු එළියක් දල්වා ඇත. 2022 අපට පිළි ගැනීමට සිදු වන්නේ ඔමික්‍රෝන් සමඟද ? ගිනි පෙනෙල්ලෙන් බැටකෑ මිනිසා කලාමැඳිරියාටත් බිය විය යුතු නමුත් දැන් එසේ වන්නේ නැත. ඩෙල්ටා පිට ඔමික්‍රෝන් පැමිණියත් මුව ආවරණ නාසයෙන් පහළට ගිලිහී යන්නන්, දුරස්ථ භාවය පවත්වා නො ගෙන සිටින්නන්, සබන් ගා දෑත් නො සෝදන්නන්, අනවශ්යව සෙනඟ පිරුණු තැන්වලට යන්නන් දිනෙන් දින වැඩි වෙමින් පවතියි. ගෘහණිය වශයෙන් නිවෙසේ සාමාජිකයකු එවැන්නකු නො කිරීම ඔබ සතුය. ඇයි ඔබ එසේ කළ යුත්තේ ? ඩෙල්ටාවලටත් වඩා ඔමික්‍රෝන් පැතිරීමේ වේගය ඉතා ඉහළයි.
* පැතිරීමේ වේගය
විද්‍යාඥයන් පවසන්නේ ඩෙල්ටා මෙන් දෙගුණයක් වේගයෙන් නව ප්‍රභේදය පැතිරෙන බවයි. මෙතෙක් ඇතිවූ සියලුම ප්රභේදයන්ට වඩා වැඩි වේගයකින් ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරෙයි. දිනපතා දකුණූ අප්‍රිකාවේ රෝගීන් ගේ ගණන දෙගුණ වෙමින් පවතියි. ලොව මෙතෙක් සියයට අනූ නවයක්ම පැතිර ගොස් තිබුණේ ඩෙල්ටා වෛරසයයි.
ලෝක සෞඛ්‍ය සංවිධාන නවතම දත්තයන්ට අනුව දැනට රටවල් 40 ක වෛරසය පැතිර ගොස් ඇතත් තවමත් එක් මරණයක් හෝ වාර්තා වී නො මැත. එහෙත් ඉන් කියවෙන්නේ ඔමික්‍රෝන් ගැන සුළුවෙන් සිතිය යුතු බව නො වෙයි. තවමත් අලුත් ප්‍රභේදය ගැන ස්ථිරව කිසිවක් පැවසීමට කල් වැඩිය. ලෝ පුරා වෛරස් ප්‍රභේදය ගැන අධ්‍යයනය කෙරෙමින් පවතියි. වරක් කෝවිඩ් - 19 වැලඳුණා කියා ඔමික්‍රොන් ප්‍රභේදයෙන් සමාවක් නම් ලැබී නැත. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වී ඇති අන්දමට නව කොරෝනා වෛරසයෙන් රෝගී වූවන් යළිත් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආසාදනය වී තිබෙයි. බීටා සහ ඩෙල්ටා ප්රභේදයන් ආසාදනය වූවන්ට වඩා යළි කොරෝනා ආසාදනය වීමේ ඉඩ ඔමික්‍රෝන් ආසාදනය වූවන්ට වැඩිය. ආසාදනය වූවන් කිසිදු රෝග ලකුණක් නො පෙන්වීම මෙහි ඇති භයානක තත්ත්වයයි.
*කෝවිඩ් එන්නත් හා බූස්ටර් එන්නතේ
වැදගත්කම
එන්නත් ආසන පටියක් වැනිය. එය ජීවන ආරක්ෂකයෙකි. එන්නත් මඟින් සිදු කරන්නේ පිටින් එන විසබීජවලට එරෙහිව සටන් කිරීමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරීමය. මේ දිනවල බූස්ටර් යන වචනය වැඩිපුර භාවිත වෙන්නේ කෝවිඩ් - 19 සඳහායි. ඔමික්‍රෝන් නිසා අවශ්‍යතාව අත්‍යාවශ්‍ය වී තිබෙයි. ලොව පුරාම කෝවිඩ් - 19 ට එරෙහිව එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත් අයට තෙවැනි මාත්‍රාවක් හෙවත් බූස්ටර් මාත්‍රාවක් ගන්නා ලෙසට නියමකර තිබෙයි.
නව කොරෝනා වෛරසය සමඟ සාර්ථකව යුද වදින එන්නත් අතර ෆයිසර් එන්නත ප්රමුඛ වෙයි. එහෙත් එන්නත් මාත්‍රා ගෙන මාස හයක් ගත වීමට පෙර සියයට 88 ක සාර්ථකත්වයක් රෝගයට එරෙහිව පෙන්නූම් කළත් මාස හයක් ගත වන විට ඒ සාර්ථකත්වය සියයට 74 දක්වා පහළ බසියි. ඇස්ට්රසෙනිකා එන්නත කෝවිඩ්වලට එරෙහිව සියයට 77 ක රැකවරණයක් ලබා දුන්න ද මාස පහක් ගත වන විට එය සියයට 67 දක්වා අඩු වෙයි. මොඩර්නා වැනි සාර්ථක එන්නත් කෙරෙහි ද මෙය බලපායි. බූස්ටර් එන්නත වැදගත් වන්නේ මෙසේ අඩුවන ප්‍රතිශක්තිය වැඩි කිරීමටය. රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය අඩු වූ විට රෝගය වැලඳීමට, රෝගය දරුණු වීමට, සංකුලතා ඇති වීමට තිබෙන ඉඩකඩ වැඩි වෙයි.
බූස්ටර් එන්නත වැඩි වශයෙන් ම අවශ්‍ය වන්නේ ප්‍රතිශක්තිය දුබල අයට ය. වයස අවුරුදු හැට පහ ඉක්මවන විට ස්වභාවයෙන් ම ප්‍රතිශක්තිය දුබල වෙයි. දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත අක්මා රෝග වැනි රෝග ඇති අය ගේ ප්‍රතිශක්තිය දුබල නිසා බූස්ටර් එන්නතක් ලබා ගැනීම වැදගත් වෙයි. ආත්රයිටිස් වැනි සමහර රෝග සඳහා ගන්නා ඖෂධ නිසා ද ප්‍රතිශක්තිය දුබල වෙයි. එවැනි අය ද අවයව බද්ධ කළ අය ද තෙවැනි කෝවිඩ් එන්නතක් ලබා ගත යුතුය.
ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඔසු දිගින් දිගට ම ලබා ගැනීම ද ප්‍රතිශක්තිය දුබල කරන හේතුවකි.
තෙවැනි එන්නත ලබා ගත යුත්තේ දෙවැනි එන්නත ගෙන මාස දෙකකට පසුවය. පළමු එන්නත, දෙවැනි එන්නත ගෙන අතුරු ආබාධ ඇතිවූ අය තෙවැනි එන්නත ගැනීමට බියක් දක්වති. අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ බූස්ටර් එන්නතින් එතරම් අතුරු ආබාධ ඇති නො වන බවය. බූස්ටර් එන්නත ලබා ගත් අය අතර දක්නට ලැබුණු සුලබ සංකුලතා වූයේ එන්නත් කළ තැන ඇතිවූ වේදනාව - ඉදිමීම - රතුවීම, වෙහෙස, හිසරදය, මාංසපේශි - සන්ධි වේදනාව වැනි ලක්ෂණයි.
පළමු සහ දෙවැනි මාත්‍රා ලෙස ලබාගත් එන්නත් මාත්‍රා ම තෙවැනි කෝවිඩ් මාත්‍රාව ලෙස ලබාගත නො හැකි ද යන්න බොහෝ දෙනකුට ගැටලුවකි. ෆයිසර් එන්නත් ලබා ගත් අයට තෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නතම ද සිනොවැක් එන්නත් මාත්‍රා ලබා ගත් අයට එයම හෝ ෆයිසර් හෝ ඇස්ට්රසෙනිකා මාත්‍රාවක් ද මොඩර්නා ලබාගත් අයට ෆයිසර් හෝ මොඩර්නා බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් රෝගය දරුණු වීම වඩාත් හොඳින් වළක්වා ගැනීමට පුළුවන. එහෙත් ෆයිසර් හෝ මොඩර්නා එන්නත් ගෙන දරුණු ලෙස අසාත්මිකතා ඇතිවුණු අයට හෘද මාංසපේශිවල මයෝකාඩයිටිස්, ප්‍රදාහයන් ඇතිවුණු අයට වෙනත් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමට පුළුවන. එක් වර්ගයක mRNA එන්නත් ලබාගත් අයකුට වෙනත් වර්ගයක mRNA එන්නතක් ලබා ගැනීමෙන් වරදක් නො වෙයි. රෝග ලකුණු නො පෙන්වන අයගෙන් හා මඳ වශයෙන් රෝග ලකුණු පෙන්වන අයගෙන් රෝගය අන් අයට වැලඳීම අවම කිරීමට බූස්ටර් එන්නත උදව් වෙයි. වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනකුට බූස්ටර් එන්නත ලබා ගත හැකිය. එන්නතට කොරෝනා මුලිනුපුටා දැමිය නො හැකිය. එහෙත් ඊට මරණය දුරස් කිරීමට පුළුවන. ඉන්දියාවේ රුධිර මස්තු ( සීරම් ) ආයතනයේ ප්‍රධානී අදර් පූනවාලා පවසන්නේ ඉදිරි වසර දහයේදී මිනිසාට බූස්ටර් එන්නත් එකක් හෝ දෙකක් ලබා ගැනීමට සිදුවන බවය.
ඉදිරියේදී තවත් භයානක නව කොරෝනා ප්‍රභේද මිනිසාව ආක්‍රමණය කරනු ඇත. අමෙරිකාවේ ස්ක්‍රිප් පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිකරණ වේදිනී ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් පවසන්නේ මිනිසාගෙන් කෘදන්තකයන්ට බල්ලන්ට බළලුන්ට විසබීජය ආසාදනය වී තවත් විකෘති ප්‍රභේද ඇති විය හැකි බවය. වාසනාවකට තවමත් උන්ගෙන් මිනිසාට රෝගය වැලඳී නැත.
මූලාශ්‍ර රොයිටර් පුවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ
සෞම්‍යා ස්වාමිනාදන්,
කායික රෝග විශේෂඥ වෛද්‍ය
උපුල් දිසානායක,
වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ
සටහන
චම්පිකා දීපානි රණසිංහ