වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
චූටි බබා මලපහ කිරීමේ දුෂ්කරතාවෙන් පෙළෙනවාද?
බබා ටොයිලට් යන්න කැමති නැත්තම්, ඒ වෙලාව වෙනකොට එයාගේ හැසිරීම අමුතු නම්, බිම කකුල් දිග ඇරගෙන ඉන්නවා නම් මේ මලබද්ධය ඇති දරුවන්ගේ මවුවරුන්ගේ විවිධ මැසිවිලි. ඇත්තටම බබාට මලබද්ධය ද?
කුඩා දරුවෙක් නැත්නම් බබෙක්, මාස අටක් යනවිට potty training ඒ කියන්නේ බේබි කොමෝඩ් එකේ ඉඳගෙන මලපහ කිරීම පුරුදු කළ හැකියි. හැබැයි එයාලට වයසට ගැලපෙන මානසික වර්ධනයක් තිබිය යුතුයි. දෙමව්පියන්ගෙන් මේ පුහුණුවට අවශ්‍ය උනන්දුවත් යන දෙකම තියෙන්න ඕනේ. මාස හතක් යනවිට බබෙක් අපහසුවකින් තොරව ආධාරයක් නැතිව ඉඳ ගන්නවා නම් මාස අටක් යනවිට හෝ එම වර්ධන අවස්ථාව ලබා ගත නොහැකි දරුවකුට potty training නැත්නම් මලපහ කිරීමේ නිවැරැදි ක්‍රමය උගන්වන්න අමාරුයි. මේ හැකියාව සමහර දරුවෝ ලබාගන්නේ මාස 15, 18 වගේ කාලයක් ගියාට පසුව. මෙය පුරුදු කිරීම ඉවසීමෙන් කළ යුතු දෙයක්.සමහර මවුවරු තමන්ගේ කකුල උඩ බබාව තියාගෙන මලපහ කරනවා. සමහරු මිදුලේ ඇණතියාගෙන මලපහ කරවනවා. හරි විදිහට මලපහ කිරීමට උනන්දු කරවනවා නම් බබා එය ඉක්මනින් ඉගෙන ගනීවී.මුලින් නිවැරැදි නොවන ක්‍රම ඉගෙන ගත්තොත් පසුව පුරුදු කරගැනීම සමහර විට අපහසු වේවී.
මලපහ කිරීම කොහොමත් ප්‍රියජනක ක්‍රියාවක් නොවන නිසා ළදරු අවධියේදී වගේම ළමා කාලයේදීත් මලපහ නොකර ඉන්න සමහර බබාලා උත්සහ කරනවා. ඒ වගේම සමහර දරුවන්ව හුරුකරවීම පරිස්සමින් කරන්න ඕනේ.
බබා දිගටම මලපහ නොකර ඉන්න පටන් ගත්තාම මලපහවල ඇති ජලය නැවත ශරීරයට උරා ගන්නා නිසා මලපහ තද වියළි ස්වභාවයක් ගන්නවා. එවිට බබාට මලපහ කිරීම තවත් දුෂ්කර සහ වේදනාකාරි ක්‍රියාවක් වනවා.
මලබද්ධය නිසා ඇතිවන සංකූලතා
මලපහ ගුදයේ එකතුවීම සිදු වූ විට මලපහ අවශ්‍යතාව ඇතිවනවා. ගුදය හිස් කිරීමට අප පෙලඹෙනවා. නමුත් දරුවා මේ සඳහා ඇති බිය සහ අකැමැත්ත නිසා එයා ගුදය හිස් කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. මෙහි අවසන් ප්‍රතිඵලය ගුදයේ ප්‍රමාණයට වඩා මලපහ රැස්වීම.මේ නිසා ගුදය ඇදීමකට ලක් වී විස්තාරණය වෙනවා.
තදින් මලබද්ධය ඇතිවූ දරුවා මානසික වශයෙන් පීඩනයට ලක්වෙනවා.
මේ තත්ත්වය හඳුනාගන්නේ කෙසේද?
ඔබේ දරුවා සාමාන්‍යයෙන් මලපහ කරන වාර ගණන පිළිබඳ ඔබට අවබෝධයක් තිබෙනවා නම් මලබද්ධය තිබේද යන්න පිළිබඳ දළ අවබෝධයක් ලබාගත හැකි වේවි.
මාසයට වඩා අඩු ළදරුවකු දිනකට කිහිපවරක් මලපහ කරනවා. මේ වාර ගණන අවුරුද්දක් පමණ වනවිට දිනකට 1, 2 වරක් දක්වා අඩුවනවා.අවුරුද්දකින් පසුව සාමාන්‍යයෙන් බබා මලපහ කරන්නේ දිනකට එක්වරයි. නමුත් සමහර නීරෝගි බබාලා දිනකට දෙවරක් මලපහ කරනවා. මලපහ තැටමීමකින්, වේදනාවකින් තොරව සිදුවනවා නම් එය සාමාන්‍යයයි. මලපහ කරන වාර ගණන පමණක් නොව මලපහවල ස්වභාවයෙනුත් මලබද්ධය ඇතිවී තිබෙනවාද යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වේවි.
මලපහ ඉතා ඝනව එළුබෙටි ස්වභාවයෙන් ද නැත්නම් දියරමය ස්වභාවයෙන් ද පිට කරන්නේ යන කරුණත් සොයා බැලීම වැදගත්.
මලපහ කිරීමේදී දරුවාගේ හැසිරීම
මලපහ කිරීමේදී දරුවාගේ හැසිරීම අනුවත් එයාට මලබද්ධය ඇත්දැයි යම් අදහසක් ලබාගත හැකි වේවි. මලපහ කිරීමට මැලිකමක් හා බියක් දැක්වීම එම ක්‍රියාව වේදනාකාරී බව ඇඟවෙන කාරණයක් වේවි. සමහර විට මලපහ තදින් වියළි ගතියකින් පිටවීමේදී ගුද මාර්ගයේ පැලීමක් ඇතිවන්න පුළුවන්. මෙවිට මලපහ කිරීම වේදනාකාරිවනවා. එමෙන්ම මලපහ සමඟ රුධිරය පිටවනවා.මේ තත්ත්වය හඳුනා ගැනීම ප්‍රතිකාර කිරීමට පහසුවක්වනවා.
මලබද්ධය ආශ්රිත රෝග තත්ත්ව
ඉපදී පැය 48ක් ඇතුළත බබා මලපහ කළාද නැද්ද යන කාරණය අනුව ගුද මාර්ගයේ ස්නායු පිහිටා තිබීමේ අඩුවක් ඇද්ද යන්න පිළිබඳ අදහසක් ගත හැකි වේවි. එසේ මලපහ පැය 48ක් ඇතුළත පිට නොවීම රෝගයක් විය හැකියි. මේ තත්ත්වය Hirshsprung disease ය.බඩවැලේ ස්නායු නිවැරැදි ලෙස පිහිටා නොතිබුණේ නම් එම ප්‍රදේශයේ ක්‍රමා කුංචනය සිදුවන්නේ නැහැ. එවිට එම ප්‍රදේශය හරහා මලපහ ගමන් කිරීම නිවැරැදි ලෙස සිදුවන්නේ නැහැ.
* අමතර ආහාර පටන් ගත් පසු සමහර බබාලාට මලබද්ධය ඇතිවනවා
* මවුකිරිවලින් එළකිරිවලට මාරුවෙද්දීත් මේ තත්ත්වය දැකගත හැකියි.
* යකඩ ඌනතාව සඳහා කරන ප්‍රතිකාරවලදීත් මලබද්ධය ඇතිවන්න පුළුවන්.
* සෙම් අමාරුවලට ලබාදෙන ඇතැම් ඖෂධ නිසා
* ලෙඩ් විස ශරීරගතවීම
* තයිරොක්සින් හෝර්මෝනයේ හෝ කැල්සියම් ලවණයේ ඌනතා
* ආහාර මාර්ගයේ මෙන්ම උපතින්ම පිහිටා ඇති අසාමාන්‍යතා
* සුෂුම්නාවේ පිහිටා ඇති අසාමාන්‍යතා
* මානසික රෝග මෙන්ම දීර්ඝකාලීන ස්නායු ආබාධ
මලබද්ධය ඇතිවිය හැකි කාරණායි.
නීරෝගි දරුවන් හට වයිරස් රෝග වැලඳුණු විට ඔවුන් ආහාර ගැනීමට හා දියර පානයට මැලිවනවා.කෙටිකාලීනව මලබද්ධය ඇති වීමට මෙය ප්‍රධාන හේතුවක්. රෝග තත්ත්වය සුවවී සාමාන්‍ය පරිදි ආහාර ගන්නා විට ඒ තත්ත්වයත් ඉබේම පහව යාවී.
මලබද්ධයේ බරපතළ රෝග ලක්ෂණ
* වමනය
* තද උදර වේදනාව
* උණ
* වර්ධනය බාල වීම හෝ බර අඩුවීම
* ගුද මාර්ගය අවට තුවාල ඇති වීම
මාපියන්ට කළ හැකි දේ
* මලපහ කිරීම නිසිකලට පුරුදු
කළ යුතුයි. ආහාර වේලකට පසු සුළු වේලාවක් පොටියේ රඳවා මලපහ කිරීමට උනන්දු කළ යුතුයි.මෙය දෛනිකව නිශ්චිත වේලාවක් තුළ සිදුකිරීම මඟින් ක්‍රමානුකූලව මලපහ පිට කිරීමට දරුවා ඉබේම හුරුවනවා.
* දියරමය මලපහ නිතර කලිසමේ තැවරී ඇත්නම් දරුවාට තරවටු කරන්න එපා. එවිට විශේෂඥ වෛද්‍ය උපදෙස් පතන්න.
* ඖෂධ, ප්‍රතිකාරවලට අමතරව ධනාත්මක සිතුවිලි දරුවා තුළ වර්ධනය කරන්න.
* දරුවාගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් කෙඳි තිබීම වැදගත්. පැපොල්, බෙලි සහ අලිපේර වැනි දේශීය පලතුරු දරුවාගේ ආහාරයට එක් කරන්න.
* ආහාර වේලකට පසු අවශ්‍ය ප්‍රමාණයට වතුර බීමට දරුවා උනන්දු කරවන්න.
බොහෝ දරුවන් කෙරෙහි දැකිය හැකි මේ තත්ත්වය විවිධ රෝගී අවස්ථාවලදී දැකිය හැකියි. ඔබේ දරුවා මාසයකට අධික කාලයක් මලපහ කිරීමේ දුෂ්කරතාවෙන් පෙළේ නම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයක් වෙත යොමුවීම වඩාත් ප්‍රායෝගික වේවි.
උපදෙස් :
ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය
අරුණ පීරිස්