යක්කුත් බය යකිනාරං කැඳ ගෙදරදීම හදන ක්‍රමය

සැප්තැම්බර් 30, 2024

 

ඖෂධීය ගුණයෙන් අනූන යකිනාරං කොළ කැඳ සැකසීම අසීරු කටයුත්තක් නොවෙයි. අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන සකසන යකිනාරං කැඳ මේ විදිහට සකසා ගනිමු.

 

මේ සඳහා සුදු කැකුළු හාල් හෝ සුවඳැල් හාල් මිටක්, පොල් පීරිසි කෝප්පයක්, යකිනාරං කොළ මිටක්, ලුණු ඔබේ රස අනුව, වතුර අවශ්‍ය පමණට සහ සුදුලූනූ බික් කිහිපයක් අවශ්‍යයි.

 

මුලින්ම හාල් ටික භාජනයකට දාලා සුදුලූනුත් සමඟ බත් උයනවාට වඩා ටිකක් වතුර වැඩියෙන් තියලා ලුණු එකතු කරලා මඳක් බෙරි වෙන්න උයා ගන්න. දැන් බෙරි බත් පොඩි වෙනකම් මඳක් බ්ලෙන්ඩ් කර පසෙකින් තබන්න (වතුර ටිකක් ඉතිරිව තියෙද්දී තමයි ළිපෙන් ගන්න ඕනේ). යකිනාරං කොළ හා පොල් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරලා මිරිකා යුෂ ගන්න.

ඒකටම බ්ලෙන්ඩ් කර ගත් බත් මිශ්‍රණය දාලා හැඳි ගාමින් ටික වෙලාවක් උතුරුවා පදමට ලුණු එකතු කරලා ළිපෙන් ඉවතට අරන් වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්තම් භාජනයේ රස්නෙට කැඳ එකේ හරිත වර්ණය නැති වෙනවා.

 

කොරෝනා රෝගය පැතිරීමත් එක්ක ගොඩක්ම ප්‍රචලිත වුණ ප්‍රතිශක්තිකරණය වඩවන පානයක් තමයි යකිනාරං කොළ කැඳ. ඒ විතරක් නෙවෙයි, හුස්ම ගැනීමේ අපහසුතා, සෙම් අමාරු, හිසරදය, සෙංගමාලය හා අජීර්ණ තත්ත්වයන් සඳහා වගේම අක්මාවේ රෝග රැසකට ඉතාමත් ගුණදායි ඖෂධයක්. ඒ නිසා සති දෙකකට වරක්වත් යකිනාරං කැඳ පානය කිරීම ශරීරයට වඩා ගුණදායකයි.

 

බහුලව අතු බෙදෙමින් මීටර් 2ක් දක්වා පමණ උසට වැඩෙන පැඟිරි සහිත කුඩා දේශීය ශාකයක් වන මෙය ඇතැම් විට පඳුරු  ආකාරයෙන්ද වර්ධනයවන අවස්ථාවන්ද වෙයි. කඳේ සහ අතුවල කටු පිහිටා ඇත. ළපටි පත්‍ර ළා කොළ හෝ කහ පැහැති වන අතර මේරූ පත්‍ර තද කොළ පැහැයෙන් යුක්තයි. මල් සුදු පැහැයෙන් යුක්තව පුෂ්ප මංජරියක හට ගනි. යකිනාරං ගෙඩි මාංසල බදරියක් වන අතර ඵලය තුළ බීජ ගණනාවක් දක්නට පුළුවනි. ඵලාවරණය පැඟිරි සහිත ග්‍රන්ථීමය වේ. බීජ මඟින් සහ මුල් මඟින් ව්‍යාප්තිය සිදු වේ. යකිනාරං Rutaceae කුලයට අයත් ශාකයකි. යකිනාරං සඳහා උඩුදෙහි යන නාමයද ප්‍රාදේශීය වශයෙන් භාවිත කරනවා.

 

ඖෂධීය ගුණය

 

සෙම්ප්‍රතිශ්‍යාවට, ඇදුමට, අජීර්ණයට, උණට, ආහාර අරුචියට, සන්ධි ඉදිමුම් සඳහා, චර්ම රෝගවලට, සර්ප විසට ආදී රෝග අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට යකිනාරං ශාකයේ කොළ , පොතු , මුල් , ගෙඩි ආදිය භාවිතා කරයි. විශේෂයෙන්ම යකිනාරං ශාකයට ඇත්තේ සෙම්ප්‍රතිශ්‍යා, ඇදුම ආදි ශ්වසන රෝගවලට එරෙහිව ක්‍රියාකිරීමේ විශේෂ ගුණයකි. 

 

යකිනාරං කොළ තැම්බූ වාෂ්ප ආඝ්‍රාණය කිරීම සෙම්ප්‍රතිශ්‍යාවට සහනය ගෙනෙයි.  කොළ කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කර ගත් කැඳ සෙම්ප්‍රතිශ්‍යාවේ සෙම පැසවීම සඳහා මෙන්ම රුධිරයේ මේදය පාලනය කිරීමටද ගුණදායකය. 

මුහුණේ ඇතිවන කුරුලෑ තත්ත්වයට ප්‍රතිකාරයක් ලෙස යකිනාරං කොළ අඹරාගත් ප්‍රලේපය මුහුණේ ආලේප කරයි. 

අජීර්ණ අැති වූ විට ශාකය කොටා යුෂගෙන ගිනියම් කළ යකඩයක් ඔබා මීපැණි මුසුකර ලබාදීමෙන් ගුණ ලැබෙන බවද සඳහන්ය. සන්ධි ඉදිමීම, පක්ෂඝාත, ආදියට ගෙඩිවලින් ලබා ගන්නා තෙල් ආලේප කරයි.

 

යකිනාරං කොළ තැම්බූ කෂායෙන් සේදීම කැසීම් සහිත චර්ම රෝග සඳහා ප්‍රතිකාරයකි. යකිනාරං කොළ කැඳ බහුලව පානය කරන්නේ නම් අක්මාව ආරක්ෂාවන බවත් එහි ඇතිවන සෙංගමාලය, ෆැටි ලිවර් ආදි ලෙඩ රෝගවලින් වැළකී සිටීමට හැකි බවත් සඳහන් වෙනවා. විසවීම් හා අාසාත්මිකතා දුරුවන බවත් සෙංගමාලය සෑදුණුවිට එය පාලනය කිරීමටත් යකිනාරං කොළ කැඳ කිතුල් හකුරු සමඟ පානය කිරීමට ලබා දෙනවා. පනු දද ආදියට ප්‍රතිකාර සඳහා ද කොළ යොදා ගන්නවා.

 

මීමැසි හා බඹර විසට යකිනාරං මුල් දෙහි ඇඹුලෙන් ගලගා මුඛයෙහි ගල්වනවා. යකිනාරං රුධිරගත මේදය පාලනයටත්, කරපිංචා හා හීන් බෝවිටියා සමඟ මාරුවෙන් මාරුවට යකිනාරං කැඳ පානය කිරීමෙන් කොලෙස්ටරෝල් මට්ටම යහපත් කරගත හැකි වෙනවා.

 

සම්බෝල සඳහා ගෙඩි යුෂ යොදා ගන්නා අතර විනාකිරි සමඟ මිශ්‍ර කර රසකාරකයක් ද ඉන් සකසා ගනු ලබනවා. එය උණ නිසා ඇතිවන කෑම අරුචිය ද දුරුකරන්නක් වෙනවා.

එකල ජනයා යකිනාරං බලි තොවිල් ගුරුකම් සඳහා ද යොදාගනු ලැබූ අතර යාග හෝම ආදියේදී අවශ්‍යවන පස්පැඟිරි එකතුවට දෙහි, දොඩම්, නාරං, නස්නාරං, සිදරං සමඟ යොදාගෙන තිබෙනවා.

 

නපුරු සිහින පෙනෙන්නේ නම් ඉන් මිදීමට යකිනාරං අත්තක බාරයක් ගැටගැසිය යුතු බවයි ඔවුන් එකල විශ්වාස කළේ. සරු ඵලදා ඇති ගස් ඇස්වහ කටවහවලින් ආරක්ෂා කිරීමටද යකිනාරං අත්තට හැකි බව කියා සිටිනවා. එමෙන්ම යකිනාරං කොළ දුම් ඇල්ලීමෙන් මදුරුවන් පලවා හැරිය හැකිය. 

 

පැඟිරි සහිත ගෙඩිවල මෙන්ම යකිනාරං ගෙඩියේ ලෙල්ලද පිළිකා නාශක ගුණයෙන් යුතු බව සඳහන් ‍ෙවනවා. විවිධ රෝග සඳහා ප්‍රතිකාරවලට යකිනාරං ඒකීයව යොදා ගන්නා අවස්ථා රැසකි. එමෙන්ම දේශීය දලු අනුපානවල යොදන එක් ඖෂධ වර්ගයක් ලෙස යකිනාරං කොළ සහ පොතු භාවිත කරයි. මෙතරම් ගුණ ගෙන දෙන යකිනාරං කැඳ පානය කිරීම ප්‍රතිශක්තිකරණයට ද දිව ඔසුවකි.

 

උපදෙස් හා ඡායාරූප 
ප්‍රවීණ සූපවේදිනී
 තිලානි විතානගේ