ඇතුවත් බැරි නැතුවත් බැරි දිලීර

ඔක්තෝබර් 14, 2024

දිලීර සහ බැක්ටීරියා ...මේ ඔබ හොඳින්ම අසා පුරුදු වචන. දිලීර රෝග පිළිබඳ ඔබ දැනුම්වත්ද? දිලීර රෝග සඳහා වූ සතිය ඔක්තෝබර් මාසයේ මුල සතියට යෙදී තිබේ.

දිලීර රෝග පිළිබඳ කතා කරද්දී කළු දිලීර රෝගයත්, කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව සෑදෙන කැන්ඩීස් තත්ත්වය පිළිබඳත් සොයා බලමු.

පසුගිය වසරවල කළු දිලීර රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මේ රෝගය සෑදෙන්නට වැඩිපුරම හේතූ වී ඇත්තේ පාලනය නොකළ දියවැඩියාවයි. රෝගියා මින් පීඩාවිඳිනවා පමණක් නොව සෞඛ්‍ය අංශය ප්‍රති දිලීරනාශක ඖෂධ සඳහා විශාල මුදලක් වැය කරයි. එක් වතාවකට වඩා වැඩි වාර ගණනක් ශල්‍යකර්ම ද කරන්නට සිදුවේ. තවත් විටෙක දැඩි සත්කාර ඒකකවලට ඇතුළු කර ප්‍රතිකාර කරන්නටද සිදුවේවි. රෝගීන් ලෙස දියවැඩියාව පාලනය කර ගන්නට හැකි වූයේ නම් මේ සඳහා වන පිරිවැය බොහෝදුරට අවම වේවි.

දිලීර හැඩය සහ ස්වරූපය අනුව ඊස්ට් සහ මෝල්ඩ්ස් වශයෙන් කොටස් 2කට බෙදේ. මෝල්ඩ්ස් වර්ගයේ දිලීරවලින් කළු දිලීර රෝගය සෑදේ. ලොව පුරාම දක්නට ලැබෙන මේ රෝගය පසේ සහ දිරා යන සත්ත්ව හා ශාක කොටස්වල වැඩිපුරම දක්නට ලැබේ. වායුගෝලයේ ඇති උණුසුම් තත්ත්වය හා ආර්ද්‍රතා තත්ත්වය මේ දිලීරය වැඩීමට හොඳම පාරිසරික සාධක⁣යක් වේ. අපේ රටේ පමණක් නොව සමකය ආසන්නයේ පවතින රටවල්වලට මෙය පොදුවේ බලපායි.

මිනිස් සිරුරට ඇතුළු වන්නේ කෙසේද?

මෙම දිලීරය බීජානූ නිෂ්පාදනය කරයි. එම බීජානූ ආශ්වාසයෙන් වැඩිපුරම සිරුරට ඇතුළු වේ. එවිට මුහුණේත්, පෙණහලුවලට ඇතුළු වීමෙන් පෙණහලු තුළත් ආසාදන ඇති කරයි. ඒ අනුව අපේ රටේත් ලෝකයේත් කළු දිලීර රෝගය වැඩිපුරම දක්නට ලැබෙන්නේ මුහුණ සහ පෙණහලු ආශ්‍රිතවයි. මීට අමතරව සමේ තුවාල වුණු ස්ථානවල, බඩවැල්වලත් මේ දිලීර රෝගය දැකිය හැකියි. බඩවැල්වල ඇතිවන්නේ ආහාර මඟින් බීජානූ ඇතුළු වීමෙනි.

අපේ රට පමණක් නොව දකුණු ආසියාතිකයේම දියවැඩියාව ඇති වීමට ජානමය තත්ත්වයන් තිබීම මීට ප්‍රධානම හේතුවයි. දියවැඩියාව යනු සුව කළ හැකි තත්ත්වයක් නොව පාලනය කළ හැකි තත්ත්වයකි.

පිළිකා රෝගීන් සඳහා කීමෝ ප්‍රතිකාරය ලබාදේ. එවිට කෙටි කලකට රුධිරයේ ඇති සුදු රුධිරාණු ප්‍රමාණය අඩු විය හැකියි. මේ කාලයේදී බීජානූ සිරුරට ඇතුළු වුවහොත් සුදු රුධිරාණු අඩුවීම හේතුවෙන් කළු දිලීර ආසාදනය විය හැකියි.

මීට අමතරව අවයව සහ ඇට මිදුලු බද්ධ කළ රෝගීන්ට ප්‍රතිශක්තිකරණය අඩු කිරීමට ඖෂධ ලබාදේ. එම අවස්ථාවේදීත් දිලීර ආසාදනය ඇති විය හැකියි.

ඊට අමතරව ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ ලබා ගන්නා අයටත් කළු දිලීර රෝගය ඇතිවීමට පුළුවනි.

 

රෝග ආකාරයන්

⁣ගෙල ප්‍රදේශයෙන් ඉහළ නාසය, මුහුණේ කෝඨරක, ඇස ආශ්‍රිත පටකවල කළු දිලීර රෝගය හට ගනියි. තවදුරටත් ප්‍රතිකාර නොකර සිටීමෙන් මොළය දක්වාම කළු දිලීර රෝගය පැතිර යා හැකියි.

මුල් අවස්ථාවේදීම රෝගය නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් රෝගය සෑදී දින 10ත් 14ත් අතර කාලයේදී මරණයට පවා පත් විය හැකි තරමටම භයානක රෝගී තත්ත්වයකි.

පෙණහලු කරා යන දිලීර රෝග⁣යත් එලෙසම සති 2 -3 න් වුව මාරාන්තික විය හැකි තත්ත්වයකි.

සම ආශ්‍රිතව ඇතිවන දිලීර තත්ත්වය දක්නට ලැබෙනුයේ සුව කළ නොහැකි තුවාල හෝ කළු ලප ලෙසයි.

ආහාර මාර්ග ආශ්‍රිතවත් පැතිරුණු කළු දිලීර රෝගය දැක ගත හැකියි.

 

රෝග ලක්ෂණ

නාසයෙන් ඇතුළු වන විෂබීජ කෝටරකවල තැන්පත් වී අවහිර වෙයි. ඒ අනුව

* උණ

* මුහුණේ එක පැත්තක් ඉදිමීම

* රිදීම

* නාසය දෙපස කළු ලප ඇති වීම

* ලේ සහිත හොටු දියර ගැලීම

* උඩු තල්ලේ තුවාල හෝ කළු ලප ඇති වීම

* ඇස් වටා ඉදිමීම, රතුවීම

* ඇහි පිහාටුව ඉදිමී ඇති නිසා ඇස

වැහී ඇති ස්වරූපයක් දිස් වීම

* ඇසෙන් කළු පැහැ ස්‍රාවයක් ගැලීම

* මුහුණේ සහ මොළයේ ස්නායු

ආබාධ ඇතිවීම

* ඇස්වලට ව්‍යාප්ත වීමෙන් පෙනීම අඩුවීම

* මොළයට ව්‍යාප්ත වීමෙන් මොළයේ තුවාල ඇති විය හැකි වීම

* අස්ථිවලට ව්‍යාප්තවීමෙන් අස්ථි විනාශ වීම

* වියළි කැස්ස

* හුස්ම ගැනීමේ අපහසුව

 

වැළකීම සඳහා කළ යුතු දේ

 

* දියවැඩියාව පාලනය කිරීම

* ප්‍රතිශක්තිකරණය දුර්වල පුද්ගලයින් දිලීර රෝග වැලඳී ඇති විට ගොවිතැන් කටයුතුවලින් හැකිතාක් වැළකී සිටීම සුදුසුයි. ඔවුන් එවැනි කාලවලට හෝ ,N95 වර්ගයේ මාස්ක් එකක් පැලඳ සිටීමට වග බලාගන්න.

* මල්වල සුවඳ බැලීම වැනි පරාග සිරුර තුළට යෑමෙන් වැළකී සිටිය යුතුයි.

 

කැන්ඩීඩා රෝගය

මෙය වැඩියෙන්ම කාන්තාවන්ගේ යෝනි මාර්ගය ආශ්‍රිතව හට ගන්නකි. මීට අමතරව ආහාර මාර්ගයේත් සමේත් හිතකර දිලීරයක් ලෙස සිටී. මේ ස්ථානවල හිතකර බැක්ටීරියාවන් ද සිටී. මෙය රෝගියකුගෙන් රෝගියකුට බෝ නොවේ. මේ දිලීරය වැඩි වුවහොත් රෝග ලක්ෂණ පහළ වන්නට පටන් ගනියි.

 

කැන්ඩීඩා රෝග ලක්ෂණ

* මුත්‍රා දැවිල්ල

* යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය කැසීම, රිදීම, දැවිල්ල, ඉදිමීම, තුවාල වීම

* මීකිරි වැනි ස්‍රාවයක් ගැලීම කැන්ඩීඩා ඇතිවන රෝගීන්

* පාලනය නොකළ දියවැඩියාව (ඔවුන්ගේ රුධිරයේ සීනි මට්ටම යෝනි මාර්ගය ආශ්‍රිතවත් වැඩිවේ)

* හෝර්මෝන සහිත ඖෂධ භාවිතය, ගර්භිණිතාව යන අවස්ථාවලදීත් හෝර්මෝන වැඩිවේ. එවිටත් කැන්ඩීඩා ගහනය වැඩිවේ.

* දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති විටත්

* ප්‍රතිජීවක ඖෂධ ගෙන අවසන් වූ විට හෝ එම ඖෂධ ගනිමින් සිටියදීත් මේ දිලීර ගහනය වැඩිවේ.

ෆාමසිවලින් වෛද්‍ය උපදෙස්වලින් තොරව මේ සඳහා ප්‍රතිකාර ගැනීම කොහෙත්ම සුදුසු නොවේ.

බැක්ටීරියා නාශක ⁣ඖෂධ සමඟ ගත් කල දිලීර නාශක ඖෂධ ලෝකයේම ඇත්තේ ස්වල්පයකි. ඒ දිලීර නාශක ඖෂධ සඳහාත් ප්‍රතිරෝධිතාවක් දක්වන්නේ නම් රෝගියාට දිය හැකි විසඳුමක් නැති වේවී.

 

උපදෙස් :

ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය

මාලිකා කරුණාරත්න