වර්ෂ 2024 ක්වූ December 23 වැනිදා Monday
මනාලියට මනා හැඩයට සාරි හැට්ට
ඔබේ සාරි හැට්ටය ඔබම මසාගන්න
සාරි හැට්ටයක සැබෑ පතරොම ඉල්ලීම් කළ සුවහසක් ආදරණීය පාඨක ඔබ වෙනුවෙන් මේ තිළිණය. ආයෙ සාරි ජැකට් මහන්න ඒ මේ අත දුවන්න ඕනෙ නැහැ.
පපුව අඟල් 36 පළල මංගල සාරි හැට්ටයකි මේ. ජීවිතයේ අමරණීයම දිනයේ ඔබේ අතින්ම මසාගත් හැට්ටයකින් සැරසෙන්නට ඇත්නම් එය අනගි අවස්ථාවකි.
මුලින්ම ඉදිරි පළුව පිටපත් කර ගන්න. මෙය කපා ගැනීමේදී ඉදිරි මැද විවරයට අඟල් 1 උරහිසට අඟල් 4, ඉණට අඟල් 1ක් . අත්කට, කර, අඟල් 1/2 බැගින් තබා කපා ගන්න. තමන්ට බ්‍රාකට් එකක් අවශ්‍ය නම් උරහිස සිට පපුව යට මිම්ම ලකුණු කර තමන්ට අවශ්‍ය පරිදි හැඩ ගෙන ඇඳගන්න. එවිට කොටස් 2 ලෙස ඉදිරි පළුව බෙදාගත හැකියි. බ්‍රාකට් කොටසේ පමණක් ඉණ හැඩ මැස්ම අලවා ගන්න. ඉන්පසුව තමන්ට අවශ්‍ය පරිදි රෙද්ද මත තබා කපාගන්න.
ඉදිරි පළුව ආකාරයටම මැහුම් වාසි තබා කපාගන්න. පිට මැද නැම්මට තබා කපාගන්න. සැම විටම පැත්තේ මැස්ම උරහිස සමාන දැයි බලා රෙද්දේ කැපීම කරන්න.
කරපටි පේසින් ඇල්ලීමේදී කර තබා පේසිම කපාගන්න.
නැම්මට තබා කපාගන්න. අවශ්‍ය උස ගන්න. බෝරිච්චි අතක් බැවින් කැමැති නම් රෙද්දේ හැඩ අතට ද කපාගත හැකියි. අඟල් 3ක් පමණ රැලි තබා අත සාදා ඇත. අඩු වැඩි කිරීම් තමන්ට කැමති අයුරින් තබාගන්න.
අත අග ඉලාස්ටික් ඇල්ලීමේදී අග සිට අඟල් 1ක් හෝ 1 1/4ක් උඩින් ඉලාස්ටික් පටිය අල්ලා ගන්න.
සෑම විටම පොප්ලින් හෝ ඉවතලන රෙද්දකින් මෙය පළමුව මසා හොඳ රෙද්ද මත තබා මසාගන්න.
පපුව - අඟල් 36
ඉණ - අඟල් 27
උරහිස සිට ඉණ අඟල් 15
පළමු හරස් මිම්ම
අඟල් 13 ඉදිරිය
අඟල් 15 පිට පළුව
දෙවැනි හරස් මිම්ම
අඟල් 12 1/2 ඉදිරිපස
අඟල් 13 1/2
උපදෙස් -
ප්‍රවීණ මැහුම් උපදේශිකා ෂර්මිලා රණවීර