පැහැයයි පෙනුමයි ගු ණයයි රසයයි සීතල නත්තලට රස මුසුවයි

දෙසැම්බර් 9, 2024

මේ උත්සව සමයේ නෑ හිතවතුන් නි‍ෙවසට පැමිණීමේ අඩුවක් නැහැනේ. ඉතින් එවන් දින වකවානුවකදී ඔබගේ කෑම මේසයෙහි සුපුරුදු ආහාර වර්ගවලට අමතරව විශේෂ ආහාරයන් තිබීම වැදගත්. බලන්න අපි අද ගෙන එන්නේ විවිධ රසට මස්, මාළු වගේම එයට ගැළපෙන අපූරු රස බතක්. සැලඩ් වර්ග කීපයකුත් එකතු වුණාම මේ නත්තල් කෑම මේසයේ පැහැය, පෙනුමද කදිමයි. ගුණයයි, රසයයි මුසු වූ මෙවැනි නත්තල් කෑම මේසයක් සැබෑම රස මොහොතක් වේවි.

එහෙනම් අපි බලමුද මේ විශේෂ කෑම මොනවද කියල. ප්‍රවීණ සූපවේදී අසංක කුමාර ගෙනෙන මේ කෑම වට්ටෝරු වලින් නත්තල් මේසය සරසා ගන්න.

උපදෙස්

ප්‍රවීණ සූපවේදී අසංක කුමාර

----------------------

සැරට මිරිසට බීෆ් ඩෙවල්

පොඩි කෑලි කපාගත් බීෆ් ග්‍රෑම් 500ක්

තෙල් මේස හැඳි 5ක්

චොප් කරගත් සුදුලූනු තේ හැඳි 2ක්

චොප් කරගත් ලූනු ගෙඩියක්

කුරුඳු පොතු කෑල්ලක්

කහ කුඩු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු මේස හැඳි 1ක්

විනාකිරි මේස හැඳි 2ක්

ලුණු කුඩු ස්වල්පයක්

තුනපහ කුඩු මේස හැඳි 1ක්

තක්කාලි සෝස් මේස හැඳි 4ක්

ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්

වතුර කෝප්ප 2ක්

කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 2ක්

කොටුවට කපාගත් ලූනු ගෙඩි 2ක්

සැල්දිරි ඉත්තක්

කපාගත් බෙල්පෙපර් පාට තුනෙන් ගෙඩි 1/2 බැගින්

සීනි තේ හැඳි 1ක්

 

01. පෑන් එකට තෙල් ටික දාලා සුදුලූනු දාලා තෙම්පරාදු කරගන්න. ටිකකින් චොප් කරගත් ලූනු, කුරුඳු පොතු, කහ කුඩු හා මිරිස් කුඩු එකතු කරලා කලවම් කරන්න.

02. එයට කපාගත් බීෆ් ටික දාලා හොඳට කලවම් කරගන්න. ඒ එක්කම විනාකිරි ටික දාගන්න. රස අනුව ලුණු එකතු කරන්න. මඳ ගින්දරේ පිසගන්න.

03. ටිකකින් තුනපහ කුඩු, තක්කාලි සෝස්, ගම්මිරිස් කුඩු, සීනි එකතු කර වතුර කෝප්ප 2ත් දාලා බීෆ් ටික තැම්බෙන්න වහලා තියන්න. විනාඩි 10ක් වගේ යනකොට තැම්බිලා ඉවරයි.

04. දැන් ලොකුවට කපාගත් තක්කාලි, ලූනු, බෙල් පෙපර්, සැල්දිරි ටික එකතු කර කලවම් කරන්න. විනාඩියක් විතර පිසගෙන ළිපෙන් ඉවත් කරගන්න.

-----------------------

චිකන් ප්‍රොන්ස් රස බත

නත්තල වැනි විශේෂ උත්සව අවස්ථාවකදී රසවත් බතක් සාදන ආකාරයයි මේ.

බාස්මතී සහල් ග්‍රෑම් 500ක්

කුකුළු මස් ග්‍රෑම් 250ක්

ඉස්සන් ග්‍රෑම් 150ක්

ලොකු ලූනු ගෙඩි 2ක්

තක්කාලි ගෙඩි 2ක්

බේ ලීව්ස් 1ක්

මාගරින් ග්‍රෑම් 30ක්

චිකන් කියුබ් 1ක්

මිරිස් කුඩු සහ ලුණු (රස අනුව)

පාස්ලි ස්වල්පයක්

එළවළු තෙල් අවශ්‍ය පමණ

ග්‍රීීන් පෙපර් හා රෙඩ් පෙපර්

ස්ටොක් (කුකුළු මස් තැම්බූ වතුර)

කහ, ගම්මිරිස් ස්වල්පයක්

මාදුරු ස්වල්පයක්

තයිම් හා සැල්දරි ටිකක්

මාළු මිරිස් කරල් 2ක්

කරපිංචා, රම්පෙ, සේර

පොල්තෙල්

 

මෙහිදී මුලින්ම බාස්මතී සහලින් බත උයන්නට දැනුවත් විය යුතුයි. ඒ සඳහා සහල් සෝදා විනාඩි 10ක් පෙඟෙන්න තබන්න. ඉන්පසු තෙල් මේස හැඳි එකක් හා මාගරින් මේස හැඳි එකක් බඳුනකට දමා රත් වූ පසු කරපිංචා, රම්පේ, සේර දමා තෙම්පරාදු වෙන්නට හැර එයට පෙරාගත් සහල් ටික එකතු කරන්න. සහල් ප්‍රමාණය මෙන් දෙගුණයක් ස්ටොක් (කුකුළු මස් තැම්බූ වතුර) එකතු කර බත පිසගන්න.

දැන් කුකුළු මස් කුඩා කැබලිවලට කපා එයට ලුණු, ගම්මිරිස්, කහකුඩු මිශ්‍ර කර ටික වේලාවක් සීසන් වෙන්නට තබන්න. ඉන්පසු ළිප දල්වා පෑන් එකක් තබා එයට සීසන් කර ගත් කුකුළු මස් සහ වතුර ටිකක් දමා තැම්බෙන්නට හරින්න. එය තැම්බී වතුර හිඳීගෙන එන විට එළවළු තෙල් ටිකක් එකතු කරන්න. දැන් එයට පිරිසුදු කරගත් ඉස්සන් කැබලි, කපාගත් ලොකු ලූනු හා සිහින්ව කපා ගත් සුදු ලූනු එකතු කරන්න. ඉන්පසු කැබලි කපාගත් රෙඩ් පෙපර්, ග්‍රීන් පෙපර්, බේ ලීව්ස්, මාළු මිරිස් එකතු කරගන්න. අනතුරුව තක්කාලි, කරපිංචා, රම්පේ, සේර, තයිම්, ගම්මිරිස් කුඩු හා ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරන්න. දැන් ටික වේලාවක් තැම්බෙන්නට හැර මාගරින් ටිකක් එකතු කරන්න. මෙය හොඳින් මිශ්‍ර කර මුලින් පිස ගත් බත් ටික මෙයට දමාගන්න. ස්ටොක් ටිකක් සැල්දරි හා චිකන් කියුබ් එකක් දමන්න. දැන් හොඳින් කලවම් කරන්න.

ඔන්න රසවත් බතක් දැන් සූදානම්. බත මේසයට යැවීමට පෙර සරසා ගනිමු.

ඒ සඳහා සිහින්ව කපාගත් පාස්ලි ටිකක් මතුපිට ඉසින්න. ඉන්පසු මේසයට යවා අමුත්තන්ට පිළිගන්වන්න.

 

-------------------------

පාටට පෙනුමට ඇපල් චීස් සැලඩ්

ග්‍රීන් ඇපල් ගෙඩි 1ක්

විනාකිරිවල පෙඟ වූ රතු ලූනු ග්‍රෑම් 50ක්

අමු මිරිස් හා ඉදුණු මිරිස් කරල් 2ක්

චෙඩා චීස් ග්‍රෑම් 125ක්

පීනට් ටිකක්

මාළු මිරිස් කරල් 1ක්

චිකන් සොසේජස් කරල් 10ක්

සැල්දිරි ග්‍රෑම් 50ක්

රෙඩ් බෙල් පෙපර් කරල් 1ක්

යෙලෝ බෙල් පෙපර් කරල් 1ක්

ලූනු කොළ ග්‍රෑම් 25ක්

දෙහි ගෙඩි 1/2ක යුෂ

මාළු සෝස් මිලි ලීටර් 30ක්

සීනි තේ හැඳි 1ක්

ලුණු ස්වල්පයක්

 

1. මාළුමිරිස්, යෙලෝ හා රෙඩ් බෙල් පෙපර් ඇට ඉවත් කර කොටු හැඩයට කපාගන්න.

2. ඇපල් හා චීස් ද කොටු හැඩයට කපන්න.

3. සොසේජස් කරල් තෙල් නොදැමූ තැටියක තබා ග්‍රිල් කරගන්න.

4. බඳුනකට සිහින්ව කපාගත් අමුමිරිස්, රතු මිරිස්, රතුලූනු, පීනට්, මාළු මිරිස්, චීස්, ඇපල්, රෙඩ් පෙපර් සහ යෙලෝ බෙල් පෙපර් දමාගන්න. එයටම චිකන් සොසේජස් කරල් ටිකත් කපා දමාගන්න.

රස අනුව මාළු සෝස්, සීනි, ලුණු, සැල්දිරි ටිකක් එකතු කරන්න.

5. මාළු සෝස්වලට දෙහි යුෂ මිශ්‍ර කර ලුණු හා අමුමිරිස් දමා හොඳින් කලවම් කරන්න.

6. රස අනුව ලුණු ස්වල්පයක් ඉසින්න. සෙමින් සියල්ල මිශ්‍ර කරන්න. දැන් කෑමට ගන්න.

-------------------------

රෝස්ට් චිකන් මෙහෙම හදමු

කිලෝ ග්‍රෑම් 1ක පමණ කුකුළෙක්

රෝස්මරි ග්‍රෑම් 5ක් හෝ කරපිංචා ග්‍රෑම් 5ක්

සුදුලූනු ග්‍රෑම් 25ක්

ගම්මිරිස් අැට ග්‍රෑම් 10ක්

ලුණු කැට

තායි මාළු සෝස් මිලි ලීටර් 30ක් හෝ සුප් කැටයක්

තෙල් ස්වල්පයක්

බටර් ස්වල්පයක්

 

කුකුළා සම සමඟම හොඳින් සෝදා රෙදි කැබැල්ලකින් තෙත මාත්තු කර පසෙකින් තබන්න. රොස්මරී සිහින්ව කපා ගන්න. මෙයට සුදුලූනු, ගම්මිරිස් සහ ලුණු කැට දමා වංගෙඩියේ හොඳින් කොටා ගන්න. මෙය කෙටුණාට පසුව තායි මාළු සෝස් එකතු කරන්න. මාළු සෝස් නැතිනම් සුප් කැටයක් එකතු කරන්න. දැන් කොටා ගත් මිශ්‍රණයට තෙල් මේස හැඳි දෙකක් එකතු කර කලවම් කරන්න.

කුකුළා ගෙන මතුපිට පිහියකින් කැපුම් පහරවල් කිහිපයක් යොදන්න. ඉන්පසු සාදාගත් මිශ්‍රණය කුකුළා මතුපිට සහ ඇතුළත හොඳින් තවරන්න. ටූවයින් නූලක් ගෙන කුකුළාගේ අත්තටු සහ කකුල් එක්වන ලෙස නූලෙන් බැඳ ගන්න. දැන් බේකින් තැටියක් ගෙන එහි ඇතුළත මුළුතැන්ගෙයින් ඉවත් කරන ලූනු පොතු, සැල්දිරි කොළ, කරපිංචා, ගෝවා කොළ ආදිය හොඳින් පිරිසුදු කරගෙන ඒවා බේකින් තැටියේ අතුරන්න. ඒ මත කුකුළා තබා ශීතකරණයේ යට තට්ටුවේ පැයක් පමණ තිබෙන්නට හරින්න.

 

අවන් එකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 250ට රත් වෙන්නට හරින්න. ඉන්පසු ශීතකරණයෙන් පිටතට ගත් කුකුළා අවන් එකෙහි තබා එහි උෂ්ණත්වය 125 ට තිබෙන්නට හැර පැය 1/4ක් රෝස්ට් වෙන්නට හරින්න. පසුව එය පිටතට ගෙන තැටියේ ඇති සාරය කුකුළා මතට දමා නැවත සෙල්සියස් අංශක 200 උෂ්ණත්වයේ විනාඩි 15ක් තබන්න.

 

නැවත පිටතට ගෙන සාරය දමා සෙල්සියස් අංශක 250 උෂ්ණත්වයේ විනාඩි පහළොවක් තබන්න. ඉන්පසු අවන් එකෙන් පිටතට ගෙන දීසියක තබා සරසා කෑම මේසයට යවන්න.

-----------------------

හනි ගාලික් පෝක් චොප්ස්

පැණි රහට තෙලට

ඌරු මස් පෙති 4 ක්

ලුණු

ගම්මිරිස්

සුදුලූනු පවුඩර්

තේ හැඳි 1/2ක්

ඔලිව් තෙල්

බටර් මේස හැඳි 1ක්

චොප් කරගත් සුදුලූනු

මේස හැඳි 3ක්

චොප් කරගත් ඉඟුරු

මේස හැඳි 2ක්

මී පැණි කෝප්ප 1/4ක්

චිකන් ස්ටොක් හෝ පෝක් ස්ටොක් කෝප්ප 1/4ක්

විනාකිරි මේස හැඳි 2ක්

කුඩාවට කපාගත් පාස්ලි

මේස හැඳි 1ක්

 

බෝල් එකකට මස් පෙති 4ක් දමා ගම්මිරිස් කුඩු, සුදු ලූනු කුඩු, ලුණු එකතු කර මැරිනේට් කර ගන්න.

පෑන් එකකට ඔලිව් ඔයිල් දමා මැරිනේට් කරපු පෝක් බැඳ ගන්න.

එය ඉවත් කර ඒ පෑන් එකට බටර් දමා ඒකට සුදුලූනු, ඉඟුරු, ලුණු, මී පැණි, පෝක් (චිකන්) ස්ටොක්, විනාකිරි එකතු කර ඝන වෙනකම් සෝස් එක හැඳි ගාන්න.

ඒකට බැදගත් පෝක් දමා සෝස් එක හොඳින් තවරමින් විනාඩි 10ක් පමණ පිසගන්න.

අවසානයේ පාස්ලි එකතු කරන්න.

 

 

[email protected]