පටස් ගාලා හදමුද මෙහෙම සලාද

දෙසැම්බර් 30, 2024

දින දසුනේ පිටු ගැළවී ගොස් මේ ගෙවී යන්නේ අවසන් සතියයි. අවිවේකී ජීවන රටාවත් සමඟින් අලුත් අවුරුද්ද පිළිගන්නත් සූදානම් විය යුතුයි. එබැවින් මොනතරම් කාර්ය බහුල වුවත් පවුලේ සෞඛ්‍යය ගැන ගෘහිණියට වගකීමක් තිබෙනවා.

පහසුවෙන් සකසා ගත හැකි සලාදයක් ආහාර වේලට එකතුකර ගැනීමෙන් වාසි කිහිපයක්ම ලබාගත හැකියි. එළවළු පමණක් ආහාරයට ගන්නා අයකුට පවා ආහාරවේල රසවත් කිරීමට සලාදයක් පිළිගැන්විය හැකියි. එළවළු අමුවෙන් ආහාරයට එක් කරගන්නා නිසා වැඩි පෝෂණයක් ලබා ගැනීමට හැකිවේවි. එමෙන්ම එළවළු වර්ග කිහිපයක්, මස්, මාළු ආදිය එකම ආහාරයකින් ලබාගත හැකි වීම නිසා සලාදයක් පමණක් ආහාරයට ගත්තද එය පෝෂණය අතින් පූර්ණ වේ.

තවද නි‍ෙවසට අමුත්තෙකු පැමිණි අවස්ථාවකදී ආහාර වේලක් ලබාදෙන විට ඉක්මනින් හා පහසුවෙන් සකසා ගත හැකි සලාදයකින් ආහාරවේල පරිපූර්ණ ‍ෙවනවා පමණක් නොව කෑම මේසයට අලංකාරයක් ද එක්වේ. මේ සියලු කාරණා නිසා සලාද වට්ටෝරු කිහිපයක් අපි අද ඔබට ඉදිරිපත් කරන්නෙමු.

ස්වීට්කෝන් සැලඩ්

අපගේ ආහාරයට අඩුවෙන් එකතුවන ගුණදායක බඩ ඉරිඟු මඟින් මෙය සාදා ගනිමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

ස්වීට්කෝන් පැකට් හෝ ටින් 1ක්

ලොකු තක්කාලි ගෙඩියක්

අලිගැටපේර ගෙඩියක්

මාළුමිරිස් කරලක්

මිශ්‍ර සලාද කොළ ග්‍රෑම් 100ක්

පාස්ලි මේස හැන්දක්

යෝගට් ඩ්‍රෙසින් හෝ ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින්

 

සාදන ක්‍රමය:-

1. තක්කාලි ගෙඩිය සිහින් කැබලිවලට කපා ගන්න. අලිගැටපේර ගෙඩිය පොත්ත ඉවත්කර කැබැලිවලට කපා ගන්න.

2. මාළුමිරිස් ඇට ඉවත් කර කපාගන්න.

3. මේ සියලුම දේ සලාද කොළ හා ස්වීට් කෝන් ඇතුළුව එකට මිශ්‍ර කරන්න.

4. යෝගට් ඩ්‍රෙසින් හෝ ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් සමඟ මිශ්‍ර කර පිළිගන්වන්න.

*************************

පැළ බෝංචි සලාදය

ඇට වර්ග පැළවෙන්නට තබා ඒවා ආහාරයට ඉතා ගුණදායකයි. මේ පැළ වූ බෝංචි ඇට සැලඩ් එකකි.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-

 

පැළ වූ බෝංචි ග්‍රෑම් 100ක්

පිපිඤ්ඤා ග්‍රෑම් 50ක්

පැසුණු අඹ ගෙඩියක්

මාළුමිරිස් කරල් 02ක්

සැල්දිරි මේස හැඳි 01ක්

කොත්තමල්ලි කොළ මේස හැඳි 01ක්

දෙහි මේස හැඳි 01ක්

රස අනුව ලුණු

ගම්මිරිස් ස්වල්පයක්

සීනි තේ හැන්දක්

සාදන ක්‍රමය :-

 

1. පැළ වූ බෝංචි (බීන් ස්ප්‍රෞට්) ටික උණු වතුරට දමා පෙඟෙන්නට හැර පෙරාගන්න.

 

2. පිපිඤ්ඤා සහ අඹ ගෙඩිය පොතු ඉවත්කර කුඩා කොටුවලට කපාගන්න.

 

3. මාළු මිරිස් කරල්වල ඇට ඉවත් කර කොටු කපා ගන්න.

4. කපා ගත් ද්‍රව්‍ය එකට මිශ්‍ර කරන්න. පසුව සැල්දිරි, කොත්තමල්ලි කොළ, දෙහි යුෂ, සහ පැළ වූ බෝංචි, ලුණු, ගම්මිරිස්, සීනි යනාදිය දමා හොඳින් මිශ්‍ර කරන්න.

************************

කෝබ් සැලඩ්

මස් හා බිත්තර යොදා සකසන මෙම සලාදය කුඩා දරුවන්ට පෝෂණ ගු ණයෙන් ඉහළයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

අයිස් බර්ග් සලාද කොළ ස්වල්පයක්

(කොළ මැලවීම අඩුවෙනි)

කුකුළු මස් ග්‍රෑම් 100ක්

බේකන් ග්‍රෑම් 100ක්

චෙරි ටොමැටෝ ග්‍රෑම් 100ක්

ලූනු කොළ ස්වල්පයක්

තම්බපු බිත්තර 2ක්

මෙයොනේස් සෝස්

තක්කාලි

 

සාදන ක්‍රමය :-

01. කුකුළු මස් තම්බා කැබැලිවලට කපාගන්න. බේකන් බැදගන්න.

බිත්තර තම්බා හතරට කපාගන්න. තක්කාලි ගෙඩිවල මදය ඉවත්කර කැබලිවලට කපා ගන්න.

02. මේ සියල්ල මිශ්‍රකර මෙයොනේස් සෝස් එකතු කරන්න. සලාද කොළ තබන්න.

එයට උඩින් ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක දමන්න.

 

ෆ්‍රෙන්ච් ඩ්‍රෙසින් එක සාදන ආකාරය

1. මෙයොනේස් සෝස් මේස හැඳි 2ක්, අබ ක්‍රීම් තේ හැන්දකට රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න.

 

2. ඔලිව් තෙල් තේ හැඳි 2 - 3 ක් ගෙන ඉසින්න. විනාකිරි තේ හැඳි දෙකක් දමන්න.

 

3. කුඩා බ්ලෙන්ඩර් කප් එකකට මේ සියල්ල දමා ගසා ගන්න.

**********************

චිකන් ඇන්ඩ් පයිනැපල් සැලඩ්

මස්මාංස ආහාරයට ගැනීමට කැමති අයට සුදුසු සලාදයකි. අන්නාසි නිසා ආහාරය ඉක්මනින් දිරවීමට පහසු කරයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය :-

කුකුළු මස් ග්‍රෑම් 200ක් (කුඩා කැබලිවලට කපාගත්)

සැල්දිරි

මාළු මිරිස් කරල් 02ක්

අන්නාසි ගෙඩියක්

මිශ්‍ර සලාද කොළ ග්‍රෑම් 100ක්

මෙයොනේස් සෝස් අඬු කෝප්පයක් හෝ ලෙමන් ඩ්‍රෙසිං

 

සාදන ක්‍රමය :-

1. කුඩා කැබලිවලට කැපූ කුකුළු මස්, ලුණු, ගම්මිරිස් දමා තම්බාගන්න.

2. සැල්දිරි දණ්ඩ කොටස සිහින්ව ලියා අඬුකෝප්ප 1/2ක් පමණ ගන්න. මාළු මිරිස්වල ඇට ඉවත් කර කුඩා කොටු හැඩයට කපාගන්න. අන්නාසි ගෙඩියද ශුද්ධ කර කොටු ලෙස කපාගන්න.

 

3. මේ සියල්ල එකට මිශ්‍ර කර මෙයොනේස් සෝස් හෝ ලෙමන් ක්‍රීම් දමා හොඳින් කලවම් කර මේසයට යවන්න.

ලෙමන් ක්‍රීම් ඩ්‍රෙසිං එක සඳහා

මෙයොනේස් සෝස් කෝප්ප 1/2ක්

චිප් ක්‍රීම් කෝප්ප 1/2ක්

දෙහි ගෙඩියක කුරුට්ට සහ දෙහි යුෂ ස්වල්පයක්

ලුණු හා ගම්මිරිස්

 

සාදන ක්‍රමය :-

1. චිප් ක්‍රීම් යන්තම් බීට් කර ගන්න.

2. මෙයොනේස් සෝස්, චිප් ක්‍රීම්, දෙහිකුරුට්ට, දෙහි යුෂ, රස අනුව ලුණු, ගම්මිරිස් යනාදී සියල්ලම මිශ්‍ර කර ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ සූපවේදීනී

සර්වදර්ශනී අප්සරා

 

[email protected]