වර්ෂ 2025 ක්වූ January 06 වැනිදා Monday
පාට නැති පැස්ටල්
එවකට මම මතක විදිහට තුනේ හතරේ පන්තිවල ඉගෙනුම ලැබුවෙමි. මටත් තිබුණා පාට පෙට්ටියක්. ඒක පුංචියි. ගිනි පෙට්ටියකට වඩා පොඩ්ඩයි ලොකු. ඒ පාට කූරු හීනියි. හරියට පැන්සල් කූරු වගේ. චූටි ඇඟිලිවලින් පොඩ්ඩක් තද වුණත් කැඩිලා යනවා. ඒ පාට හරියට ගෑවෙන්නෙවත් නෑ. තෙල් වගේ. චිත්රය පුරාවටම පාට කරපු ඉරි මතුවෙනවා. කොයිතරම් ලස්සනට චිත්රය ඇන්දත් අවලස්සනම චිත්රයක් වෙනවා පාට ගෑවට පස්සෙ.
පන්තියේ සමහර යාළුවන්ට තිබුණා එක එක ජාතියේ පැස්ටල් පාට පෙට්ටි. ඇත්තටම මටත් හරි ආසයි එහෙම පාට පෙට්ටියක් ගන්න. යාළුවකුගෙන් ඉල්ලලා පාට කරපු අවස්ථා ගොඩායි. සොච්චම් වැටුපක් අරන් පවුලක් ජීවත් කරවන අම්මාට පාට පෙට්ටියේ සිහිනය කියන්න මගේ හිත ඉඩ දුන්නෙම නෑ. ඒත්.. මටත් පාට පෙට්ටියක් ඕනිම වුණා. ඇඳුමක් පැලඳුමක්වත් ඉල්ලලා කරදර නොකරන මම පාට පෙට්ටියක් ඕනි කියලා අම්මට අමාරුවෙන් කිව්වා. අම්මා පොරොන්දු වුණා මට ඒක ගෙනත් දෙන බවට...
අනිත් දවසෙ වැඩ ඇරිලා හවස අම්මා ගෙදර ආවෙ කඩෙන් ණයට පාට පෙට්ටියක්ද රැගෙනයි. මට දැණුන සතුට කෙතරම්ද කියලා කියන්න වුවමනා නැතිය. පහුවෙනිදා පහන්වන තුරු මට ඉවසිල්ලක් නොවේ. පාට පෙට්ටිය අරන් පාසල් යන්න, චිත්ර අඳින්න ,පාට කරන්න පුංචි බලාපොරොත්තු ගොඩයි.
ගොඩාක් පරිස්සමට පාට පෙට්ටිය බෑග් එකේ රුවා ගන්නට මට ඕනෑ විය. හමුවුණේ සීනි ගෙනා පරණ කිරිපිටි පැකට් එකක් ය. සීනිවල පැණි ගතිය රෙදි කැබැල්ලකින් පිසදා එහි පාට පෙට්ටිය රුවා ගත්තෙ ඊට වඩා එහි ආරක්ෂාවට වෙනත් දෙයක් නිෙවසේ නැති නිසාය. කවරයක නොදා පාට පෙට්ටිය බෑගයට දැමීමට හිත ඉඩ නොදුණි. එය ඒ තරමටම මට වටින්නේය.
පහුවෙනිදා පාට පෙට්ටියත් අරන් මා පාසලට ගියා නොව ඉගිල්ලුණි. විටින් විට පාට පෙට්ටිය බෑගයෙන් එළියට අරන් හැඩ වැඩ බැලීම දවසේම සිදු වුණි. කාලය ගෙවුණි. ඒත් එදින කිසිම ගුරුතුමියක් චිත්රයක් නම් ඇඳීමට කිව්වේ නැත. කමක් නෑ හෙට අඳින්න පුළුවනිනේ.. මම මගේ සිත සනසා ගතිමි. පුංචි අපේ එදින පාසල් කාලය නිමාවුණි. පන්තියෙන් එළියට බට මට අක්කාව සිහි විය . ඇයට පාසල නිමාවන්නේ එකයි තිහටයි. මට අක්කා ගැන දුක සිතුණි. ඇයට පාට පෙට්ටියක් නැතිය. අක්කාගේ පන්ති කාමරයේ කොට බිත්තිය උඩින් එබී බලා ඇයට පාට පෙට්ටිය ලබා දී මම ගෙදර ආවෙමි. නිෙවසට ආ වෙලේ ඉඳන් මම පාර බැලුවේ මගේ අක්කා පාසල ඇරී එනතෙක් ය. චිත්රයක් ඇඳ අතේ තියාගෙන පාට ගෑමේ සිහිනයෙන් මඟ බැලීමි. ඈත එන සොහොයුරිය වෙතට දිව ගොස් ඇගේ බෑගය ගෙන පාට පෙට්ටිය හොයන්නට වීමි. ඒත්...බෑගයේ කොහේවත් එය නොතිබිණි. අක්කා ඒ ගැන කියන්නට මොකුත්ම දැන නොසිටියාය. මගේ ඇස් දෙකෙන් සට සට ගාලා කඳුළු බිම වැටුණි. ඒ කඳුළු මත නේක පාට දියවී තිබුණි. නැවත කිසි දිෙනක මම අම්මාගෙන් පාට නොඉල්ලුවෙමි.