මේ රෝග බෝ වුණොත් වගාවම විනාශයි

ජනවාරි 20, 2025

හැඩකාර, දඟකාර සුන්දර උඩවැඩියාකුමාරියන් හිටිහැටියේ මිලාන වෙලා. උදෑසන මඳ සුළඟට පිපී නැටුව මේ මල් කොමලියන්ගේ අපූරු දසුන නොසිතූ මොහොතක අහිමි වුවහොත් කොයිතරම් නම් දුකක් වේවිද? ඇත්තටම එහෙම වෙන්න හේතු කිහිපයක්ම බලපාන්න පුළුවනි.

 

එහෙමනම් මේ අලංකාර උඩවැඩියා කුමාරියන් අවලස්සන වෙන හේතු වාගේම ඊට යෙදිය යුතු පිළියම් මොනවාදැයි අද අපි හඳුනා ගනිමු.

 

බැක්ටීරියානු කුණුවීම

 

බැක්ටීරියානු කුණුවීම උඩවැඩියා ශාකයේ විවිධ කොටස්වල දැකිය හැකියි. මෙහිදී පත්‍රවල තෙත් බවින් යුක්ත පැල්ලම් හටගන්නා අතර පසුව ඒවා විශාල වී දුඹුරු පැහැයට හැරේ. මෘදු ස්වභාවයක් ද ගන්නා මේ පත්‍රවලින් සැර දුගඳක් ද හමයි. මෙම රෝගය මර්දනය සඳහා කළ යුතු වන්නේ රෝගී කොටස් කපා පුලුස්සා දැමීමයි.

 

ඊට අමතරව ඕකිඩ් වගාවට විවිධ පළිබෝධකයන්ගෙන් ද හානි සිදුවිය හැකියි.

 

01. කහ කුරුමිණියාගේ හානිය

 

Lema Pectoralis නමැති මිලිමීටර් 08ක් පමණ දිග ඇති මෙම කෘමියා සහ කීටයා ළපටි පත්‍ර, පොහොට්ටු වාගේම සුන්දර ඕකිඩ් මල ද කා දමා මල්වල සිදුරු සාදයි. මොවුන්ගේ බිත්තර ශාක මත ද පිලා අවධිය ශාක අතර ද දක්නට ලැබේ. කහ කුරුමිණි උවදුරෙන් ඔබේ වගාව බේරා ගැනීම සඳහා පිලා සහ කීට අවධියේදී අතින් ඉවත් කළ හැකි අතර සංස්ථානික කෘමිනාශකයක් යෙදීමෙන් මර්දනය කළ හැකියි.

 

 

02. කඳ පණුවාගේ හානිය

 

ඩෙන්ඩ්‍රෝබියම්, වැන්ඩා වැනි ශාකවලට බොහෝවිට මේ කඳ පණුවා හානි කරනු දැකිය හැකිය. මේ සලබයා පත්‍ර මත බිත්තර දමන අතර කීටයා ද කඳ තුළ අභ්‍යන්තර පටක කා දමමින් ජීවත් වේ. කෝෂ ගතවීම මාධ්‍යයේ හෝ කඳ තුළ සිදු කරයි. කීටයා ජීවත් වන ශාකයේ අග්‍රස්ථ පත්‍ර කහ පැහැයට හැරෙන අතර ශාක අග්‍රස්ථයේ කඳේ තැනින් තැන සිදුරු දැකිය හැකියි. මේ සිදුරුවලින් අපද්‍රව්‍ය පිටතට පැමිණෙන අතර පසුව ශාකයම විනාශ වී යයි. සංස්ථානික කෘමි නාශකයක් භාවිතයෙන් ඔබට මෙය මර්දනය කළ හැකිය.

 

3. මයිටා හානිය

 

ඉතා කුඩා ජීවි වි‍ෙශ්ෂයක් වන මේ මයිටාවන් පත්‍රවල යටි පැත්තේ සිට යුෂ උරා බොයි. මල්වලට ද හානි කරයි. වියළි හා උණුසුම් කාලගුණික තත්ත්වවලදී ගහනය වැඩි වෙයි. මොවුන්ගේ හානිය නිසා පත්‍රවල රිදීවන් දිලිසුමක් ඇති වී එය ක්‍රමයෙන් දුඹුරු හෝ කහ පැහැයට හැරේ. මේ මයිටා හානිය මල්වලට බලපෑමෙන් මල් ඇඹරී ඇද වී එහි ගුණාත්මක බව අඩු වී යයි.

 

ඕකිඩ් තවාන අවට ආර්ද්‍රතාව හොඳින් පවත්වාගෙන යාම, හානි වූ පත්‍ර ඉවත් කිරීම සහ සල්පර් අඩංගු මයිටා නාශකයක් යෙදීම ආදියෙන් ඔබට මේ හානිය වළකාගත හැකියි.

 

4. දළඹු හානිය

පත්‍ර සූරා කෑම හෝ සම්පූර්ණ පත්‍රයම ආහාරයට ගැනීම දළඹුවන්ගෙන් මෙම වගාවට සිදුවන ලොකුම හානියයි. මේ දළඹුවන් ඕකිඩ් පත්‍ර රෝල්කර පිලා අවස්ථා ගතකරන අතර පුෂ්ප අංකුරවලට ද හානි කරයි. සුදුසු කෘමිනාශකයක් භාවිතයෙන් මෙය මර්දනය කළ හැකි වේ.

5. කොරපොතු කෘමින් සහ පිටි මකුණු හානිය

 

මොවුන් යුෂ උරාබොන කෘමින් වන අතර සාමාන්‍යයෙන් පත්‍රවලට හානි කරයි. උග්‍ර අවස්ථාවලදී කඳමත දක්නට ලැබේ. මොවුන්ගේ ශරීරයෙන් ශ්‍රාවය වන සීනි අඩංගු ශ්‍රාවයන් නිසා කුහුඹුවන් ඇදී එනු දැකිය හැකියි. එය විශාල වශයෙන් වැඩි වූ විට කළු පුස් ඇතිවිය හැකිය.

 

ඔබේ වගාවේ මේ කෘමින් සුළු වශයෙන් සිටී නම් තද ජල පහරක් ගැසීමෙන් හෝ අතින් ඉවත් කිරීමෙන් මර්දනය කළ හැකිය.

 

නමුත් වගාව තුළ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නම් සංස්ථානික කෘමි නාශකයක් යොදන්න.

 

6. ගොළුබෙල්ලා සහ හම්බෙල්ලාගෙන් වන හානිය

 

ගොළුබෙල්ලන් සහ හම්බෙල්ලන් දිවා කාලයේ බඳුන් තුළ සැඟ වී සිට රාත්‍රී කාලයේ වගාවට හානි කරයි. මල් අග්‍රස්ථය, ළපටි පත්‍ර, පුෂ්ප අංකුර, පිපුණු මල් සහ බීජ ආහාරයට ගනී.

 

අතින් ඉවත් කිරීම හෝ ඇමක් ලෙස Metadehyde වැනි ගොළුබෙලි නාශකයක් භාවිත කරන්න.

 

උපදෙස් -

කෘෂි විද්‍යාඥ, කථිකාචාර්ය

ඩබ්.යූ.එල්. අඹගස්පිටිය

 

 

[email protected]