හදවතින් හදවත බලමු

ජනවාරි 27, 2025

ආදරේට, සෙනෙහසට, ළෙන්ගතු බවට අපි මොන තරම් ඇලුම් කරනවාද? මේ සියලු ගති බොහෝවිට අප ක්‍රියාවට නංවන්නේ බුද්ධිය පසෙකලා හදවතට එකඟවයි. මෙය හරි හෝ වැරදි හෝ වේවා හදවතින් තීරණය කිරීම තමයි අපට වැඩිපුරම දක්නට ලැබෙන්නේ. ඒත් ඇයි අපි මේ හදවතට මෙතරම්ම සමීප? අපි ඒ ගැන හෘද රේඛාව ඔස්සේ අද විමසා බලමු.

හෘද රේඛාව කියන්නේ මොකක්ද? ඔබේ අල්ල මත මෙම රේඛාව පිහිටා ඇත්තේ සුලැඟිල්ලට පහළින් දබර ඇඟිල්ල දෙසට ගමන් කරන ආකාරයටයි.

ඇතැම් අය මෙම රේඛාව ගුරු මණ්ඩලයෙන් ආරම්භව අල්ල හරහා විහිද යන බවත්, නැතිනම් බුධ මණ්ඩලයෙන් ආරම්භ වී ගුරු මණ්ඩලය දෙසට විහිද යයිද පවසයි. කෙසේ වුවද හෘදයේ තතු පිළිබඳ තොරතුරු ප්‍රකට කෙරෙන සුවිශේෂිතම රේඛාව වූ බැවින් මෙම රේඛාව හෘද රේඛාව ලෙස නම් කරයි. මෙම රේඛාව මඟින් ආදරය, ප්‍රේමය, විවාහය, ලිංගික ජීවිතය ළබැඳියාව රුධිර ද්‍රාවනය සහජ බුද්ධිය, චිත්ත වේග ගතිගුණ යනාදිය පිළිබඳ කියවෙයි. බුධ මණ්ඩලයේ සිට ඇදී එන හෘද රේඛාව ගුරු මණ්ඩලය මැදින් ඇදී ගියහොත් ප්‍රේමය පිළිබඳ හැඟීම අන් සියලු හැඟීම් අභිභවා පෙරමුණ ගන්නා බව පැහැදිලි වේ. එසේම මණ්ඩලය හරහා ගිය බැවින් එම ප්‍රේමය පිරිසුදු දිව්‍යමය ප්‍රේමයක් වෙයි. බුද්ධ මණ්ඩලයෙන් එන හෘද රේඛාව ශනි මණ්ඩලයට විහිද ගියේ නම් ආලය ප්‍රේමය යටපත් කොට ගනිමින් මුල් තැන ගනී. මෙබඳු අත්ල පිහිටි ස්ත්‍රීන් පුරුෂයන් රවටා සිය අභිලාෂය ඉටු කර ගනී. ජීවිතය දුක් සහිත වේ. ඇතැමුන්ගේ අත්ල මත හෘද රේඛාව නොපිහිටන අතර ඔවුන් අනුකම්පා විරහිත ආත්මාර්ථකාමී ගති ලක්ෂණ ප්‍රකට කරයි. ඔබේ හෘද රේඛාව බාධා විරහිත ලෙස ප්‍රබලව සෘජුව පිහිටියේ නම් එවන් හස්තයෙහි රවි, ශනි ආදී වූ මණ්ඩල මනාව පිහිටියේ නම් ද එවැනි අත්ල හිමි ඔබ අන්‍යයන්ගේ යහපත වෙනුවෙන්ම කැප වෙන බව කියැවෙයි. සාමාන්‍යයෙන් හෘද රේඛාව ඇඟිලිවලට සමීපව විහිදුණාට වඩා පහළින් පිහිටියේ නම් ආත්මාර්ථකාමි‍ෙයකි. පුද්ගලයෙකුගේ හෘද රේඛාව දම්වැල ලක්ෂණයකින් යුතු වූයේදැයි වෙනත් රේඛාවලින් ඡේදනය වීමෙන් බාධා සහිත දුර්වල රේඛාවක් වූයේ නම් ද с පහතට අතු විහිද යන රේඛාවක් ඇත්නම් ද එම අත් හිමි පුද්ගලයා ස්ථිරත්වයක් නොමැති කාමුක සිතුවලින් යුතු බොරුකාරයෙකු වන්නේය.

 

හෘද රේඛාව කඩින් කඩවී පැවතී නම් විකෘති කාමාශාවන් පවතින පුද්ගලයෙකි. ලිංගික ආස්වාදයට පෙලඹෙන්නෙකි. යමෙකුගේ හෘද රේඛාව ශනි මණ්ඩලය අසලදී ශීර්ෂ රේඛාව ඡේදනය කරන්නේ නම් නොගැළපෙන අයකු සමඟ විවාහ වීමට සිදුවේ. බොහෝ විට විවාහය කඩාකප්පල් වෙයි. සිකුරු මණ්ඩලයේ සිට ජීවන හා ශීර්ෂ රේඛාව ඡේදනය කරමින් බුධ මණ්ඩලය කරා පිහිටියේ නම් දික්කසාදයකින් විවාහය කෙළවර වෙයි. හෘද රේඛාව ශීර්ෂ රේඛාව ඡේදනය වී නම් දරු සම්පත් පිළිබඳ මහත් දුකකට පත්වීමට සිදු වෙයි. පුද්ගලයෙකුගේ හස්ත රේඛාව ශනි මණ්ඩලය අසළ දී දම්වැල් ලක්ෂණයෙන් යුතුව නම් හෙතෙම විරුද්ධ පාර්ශ්වය පිළිකුල් කරන බැවින් විවාහ ප්‍රශ්න මතුවේ. හෘද රේඛාව මනා ලෙස නොපිහිටියේ නම් හෘදයේ ක්‍රියාකාරීත්වයද දුර්වල වේ.

 

දම්වැලකින් පුරුක් පරිදි බිඳී යාම්ද සහිතව පිහිටා තිබේනම් එවැනි අය ස්ථිරතාවයෙන් තොරවේ. විවිධ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට පෙලඹෙන්නට පුළුවන්. ලිංගික සබඳතා වුවද මතුවිය හැකි එවැනි දේ සුළු කොට තකන බැවින් අශෝභන හැසිරීම්වල යෙදීමට පෙලඹේ. මේ ලෙසින් දැන් ඔබට ඔබේ හෘද රේඛාව බලා ගත හැකියි. එයින් ජීවිතයේ අඩුපාඩු පෙන්වන්නේ නම් ඒවා මඟ හරහා ගැනීමට කටයුතු කළ හැකියි.

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනී ගුප්ත විද්‍යා ආචාරිණී

නිරංගා බාලසූරිය

රූ රටා:- නිලක්ෂි ආරියරත්න

 

[email protected]

 

ඔබත් හෙට දවස දැන ගන්න කැමතිනම්  කූපනය සමඟින් ඔබේ අල්ලේ පැහැදිලි ඡායාරූපයක් එවන්න