වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
සෝමේ දුටුව මව
අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා- පුතුන් රජුන් කරන්ටා
මේ ගීපද ටික ලිව්වේ සෝමපාල ලීලානන්ද නම් ගී පද රචකයා කියලා දන්න අයට වඩා ඉන්නෙ නොදන්නා අය. මම දන්නවා පුතාලා බොහොමයක් දෙනෙක් ඔහුව දන්නේ නෑ. හැබැයි සෝමෙ මේ ලිව්වේ සාධාරණ ඇත්ත කතාව කියලා පුතාලට දැනෙන්න ඕනේ. මොකද හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ පුතා රජෙක් කරන්න. ඒකට රජ පරපුරකින්ම එන්න ඕනේ නෑ. මොකද රජ කෙනෙක් කරනවා කියන්නේ රාජ්‍ය පාලනය කරන කෙනාම වෙන්න ඕනෙ නෑ. ඒක අම්මලා දන්නවා.
අම්මා හිතන්නේ මොනවා හෝ ක්ෂේත්රයක ඉහළටම තම පුතා යන හැටියි. ඒකටයි පෙරපාසලේ ඉදන් උසස් අධ්‍යාපනය ලබන තෙක්ම “ පුතේ පාඩම් කළාද; පුතේ විභාගෙ ලේසි ද; පුතේ තේ ටිකක් දෙන්න ද? පුතේ කෑව ද; පුතේ නිදා ගත්ත ද; පුතේ ඇඳුම් ටික හරි ද ’කිය කියා අහන්නේ.
මං දන්නවා සමහර වෙලාවට අම්මගෙ මේ ආදරය, කරුණාව සමහර පුතාලට වධයක් වෙනවාත් ඇති. මම එහෙම ඒවත් දැකලා තියෙනවා. හැබැයි මතක තියාගන්න අම්මා මේ කැපවෙලා වැඩ කරන්නේ පුතුන් රජුන් කරන්න තමා. ඒක තමා එකම ප්‍රාර්ථනාව. එහෙම කරන්නේ ආයෙත් පුතාගෙන් මොනවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි, පුතාලා සතුටෙන් ජීවත් වෙනව දකින්න වගේම රටේ ලෝකේ ඉහළ තැනක ගරුගාම්භීර විදිහට ඉන්නවා දකින්න.
අම්මාගේ මේ පැතුම ඉටු කරන්න නම් ඒකට තාත්තාගේ සහයෝගයත් ඕනෙ කියන එකත් තරයේ මතක තියා ගන්න කියලා මම පුතාගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් පුතේ, පුතාලා දන්නවා අම්මා ගැන තරම් පියා ගැන ගීත ලියවිලා නෑ. ඒක ඇත්ත තමා. නමුත් ඇයි ඒ කියලා අපි කල්පනා කළොත් ඒකට හේතුව තමා දසමසක් කුසේ තියාගෙන බිහි කරලා, ලේ කිරිකරලා පොවලා දරුවෙක් ලොකුමහත් කරන්නේ අම්මා නිසා. ගෙදර බුදුන් අම්මා කියලා ජනකතාකරුවා අම්මාව මුල් තැනට දෙන්නේ තථාගත සම්බුදුපියාණන්ට කිට්ටුවෙන් තියන්න පුළුවන් අම්මා විතරක් නිසා. බුදුවෙන්න නියත විවරණ දුන්නේ අම්මා. පුතේ උඹ බුදුවෙයන් කියලා ගෞතම බුදුරජාණන් වහන්සේට සංසාර ගමනේ ආරම්භය දුන්නේ අම්මා.
මම මේ පුතාලාට, අම්මා ගැන අද මතක් කරලා දුන්නේ පුතෙක් කොටින්ම කියනවා නම් පිරිමියෙක් කාන්තාවන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න ඕනේ කියලා මතක් කරලා දෙන්න. පුතේ අපි කාන්තාවන්ට සලකන්න ඕනේ, ගෞරව කරන්න ඕනේ කියන්නේ ඔවුන් තමා මේ යහපත් සමාජය හදන්න ආරම්භය දෙන්නේ.
හැම පිරිමියෙක්ම හැම ගැහැනියකටම ගෞරව කළ යුතුයි කියලා කියන්න පුළුවන් පුතෙක් වෙන්න.
අප්පච්චි ....
උපාලි බණ්ඩාර වීරසේකර