රපුන්සල් මග් එකෙන් උණුසුම්ව තේ බොන්න

ජුනි 4, 2024

හැමෝම හොයන රපුන්සල් මග් එකක් හදාගන්නේ මෙහෙමයි

හවසට ලොකු පොඩි ඕනෙම කෙනෙක් තේ කෝප්පයක රස බලනවනේ. වෙළෙඳපොළේ නිතර දකින්න තිබෙන මිලෙන් අධික ඒකාකාරී කෝප්පවලට වඩා ඔයාටම ඔයාගෙ තේ කෝප්පය සරසගන්න පුළුවන් නම් කොච්චර හොඳද? 

 

ඔයාගෙ පොඩිත්තට, ළඟම හිත මිතුරන්ට, ආදරණීයන්ට තෑගි කරන්න වගේම ස්වයං රැකියාවක් විදිහට ව්‍යාපරයක් ආරම්භ කරන්න කදිම පොලිමර් ක්ලේයි මග් එකක් තමයි මම අද ඔයාලට කියා දෙන්න අරගෙන ආවේ. 

 

මේ තියෙන්නෙ රපුන්සල් කුමරියගෙ තේමාවට සැකසූ පොලිමර් ක්ලේයි මග් එකක්. එය හදන්න අවශ්‍ය කරන දේවල් ටික බලමු.

 

සෙරමික් කෝප්පයක්

බෝල් ටූල් හෝ ටූත්පික් එකක්

ක්‍රේවින් ටූල්

අවන් කළ හැකි පොලිමර් ක්ලේයි (කහ, දම්, සුදු, කොළ, ක්‍රීම් පාට)

රෝලින් පින්

කටර් බ්ලේඩ් පෙන්

ඉපොක්සි ග්ලූ  සහ සුපර් ග්ලූ ස්වල්පයක්

බේකිං පේපර්

ඇසිටෝන් හෝ ඇල්කොහොල් ස්වල්පයක් තැවරූ කපු පුළුන් අංකුර (කොට්න් බඩ්)

 

සාදන අයුරු

 

මුලින්ම දෑත් හොඳින් සෝදා තෙත ඉවත්කර ගන්න. අප නිර්මාණය සාදාගන්නා සෙරමික් කෝප්පය ද හොඳින් පිසදා පිරිසුදුකර ගන්න.

 

මුලින්ම ක්ලේයි සියල්ල හොඳින් එකින් එක ගෙන අත්ගසා මෙලෙක්කර ගන්න.

 

හොඳින් මතක තබා ගත යුතුයි

 

නිර්මාණය  සියල්ල සකසා අවසන්කර පිළිස්සීමෙන් පසුවයි කෝප්පයට ගම් තවරා අලවනු ලබන්නේ. එතෙක් අප හදන නිර්මාණය එහි රඳවාගන්නවා පමණි.

 

දැන් සුදු පැහැති ක්ලේයි ගුලිය ගෙන අඩ සඳක් සේ සකසා කෝප්පයෙහි රඳවාගන්න.  ක්‍රීම් පැහැති ක්ලේයිද ගෙන රපුන්සල්ගේ මුහුණ සහ පාද දෙකෙහි හැඩය සේ සකසා රූපයේ පරිදි නියමිත ස්ථානවල රඳවාගන්න.

 

දම් පාටින් ඇඟේ බඳ කොටස රෝලින් පින් එක ආධාරයෙන් රෝල් කරගන්න. සුදු පැහැයෙන් ගවුමේ යට කොටස ද දම් පාටින් ගවුමේ උඩ කොටසද රැලිකර රඳවාගන්න.

 

මුහුණේ ඇස් දෙක පිහිටන තැන් බෝල්ටූල් ආධාරයෙන් කුඩාවට සිදුරුකර අදාළ වර්ණයන්ගෙන් ඇස්, ඇහිබැම සහ කට නිර්මාණයකර ගන්න.

 

ක්‍රීම් පාටින් දෑත් දෙක උඩු අතට එක මත එක සිටින සේ සකසා රඳවාගන්න. දම් පාට ක්ලේයිවලින් ගවුමේ අත බෝරිච්චිය ලෙස ක්‍රේවින් ටූල් ආධාරයෙන් හැඩ ගන්වා නියමිත ස්ථානයේ හොඳින් රඳවාගන්න.

 

කහ පාට ක්ලේයි ගෙන සර්පයකුගේ හැඩයට රෝල්කර අවශ්‍ය ප්‍රමාණයට කටර් බ්ලේඩ් පෙන් එක භාවිතයෙන් කපා හැඩකර දිගැති කෙස් කළඹක් සේ රපුන්සල් කුමරියගේ කොණ්ඩය සකස්කර හිසෙහි සිට පාදවලට තරමක් පහළට වන සේ රූපයේ පරිදි සකසන්න.

 

රෝස පාට ක්ලේයි ස්වල්පයක් ගෙන සර්පයෙකුගේ හැඩය ලෙස රෝල්කර කුඩා දඟර සාදා රෝස මල් නිර්මාණය කර රපුන්සල්ගේ කොණ්ඩය හැඩකර ගන්න.

 

හඳෙහි ආවාට සේ සුදු හා කහ කුඩා බෝල සකසා අලවා ගන්න. රපුන්සල්ගේ කුඩා සත්ත්ව යාළුවාවන කටුස්සාව රූපයේ පරිදි ඔබට කැමති ලෙස අලංකාරව සකසා හඳ මත ඉහළින් රඳවාගන්න.

 

දැන් මේ නිර්මාණය කෝප්පය සමඟම සෙල්සියස් අංශක 110ට විනාඩි 10ක් කළින් රත්කර ගත් අවන් එකක් තුළට බේකිං ෂීට් එකක් මත තබා පැයක කාලයක් පුලුස්සා ගන්න.

 

පුලුස්සා ගත් පසු සම්පූර්ණයෙන් නිවුණු පසු කෝප්පයෙන් නිර්මාණය සෙමෙන් මෘදුව ඇඟිලි නිය භාවිතයෙන් තල්ලු කර ගලවා ඉවත්කර ගන්න.  සමහර විට එය එක් කෑල්ලකින් ද තවත් විටෙක වෙනම කෑලි වශයෙන් ද ගැළවී යයි.  එය වෙනම කැබලිවලට වැටෙන්නේ නම්, එක් එක් කැබැල්ල වෙන වෙනම කෝප්පය මතට ඇලවීමට සිදු වේවී.

 

(මෙසේ ඉවත්කර ගත් පසු ඔබට අවශ්‍ය නම් ඉපොක්සි රේසින් තට්ටුවක් වුවද නිර්මාණයට ආලේපකර ගත හැකියි. එය අවශ්‍යම නැත.)

 

දැන් කටර් බ්ලේඩ් එක ආධාරයෙන් නිර්මාණයේ පිටුපස රළු මතුපිටක්වන සේ කුඩාවට හරස් අතට සහ සිරස් අතට කැපුම් කිහිපයක් යොදන්න.

 

ඉන්පසු ඉපොක්සි රේසින් ස්වල්පයක් මිශ්‍රකර තුනී ස්ථරයක් නිර්මාණයේ පිටුපස විහිදුවන්න. අතරින් පතර සුපර් ග්ලූ ද  තරමක් තවරාගන්න. නමුත් දාර මත  ස්පර්ශ නොකර තැවරීමට වග බලාගන්න. නැතහොත් නිර්මාණයට කෝප්පයේ අලවන විට ගම් පිටතට පැතිරෙනු ඇත.

 

මෙසේ ගම් තවරා කෝප්පයේ නියමිත තැනට අලවාගන්න. ඇලවූ පසු වියළෙන තෙක් අල්වාගෙන ගෙන සිටින්න. නැතහොත් එය තබාගැනීමට ආවරණ පටියක් භාවිත කරන්න. සම්පූර්ණයෙන් ඉපොක්සි මැලියම් වේළීමට පැය 2ක් පමණ ගත වේවි.

 

අතිරික්ත මැලියම් ඉවත් කිරීම සඳහා ඇසිටෝන් හෝ ඇල්කොහොල් තෙතමනය සහිත කපු අංකුර භාවිත කරන්න.

 

සැලකිය යුතුයි

ඔබ භාවිත කරන පොලිමර් ක්ලේයි අවන් එක මත රත්වීමට ගතවන කාලය ද උෂ්ණත්වය ද වෙනස් විය හැකියි. එසේම සේදීමේදී පිඟන් සෝදන මැෂින් හෝ මයික්‍රෝවේව් සඳහා මේ මග් භාවිත නොකරන්න.

 

මේ ආකාරයට ඔයාලට කැමති නිර්මාණයක් සෙරමික් කෝප්ප අලංකරණය සඳහා භාවිත කරන්න පුළුවන්. රූප සටහන් බලා ඔයාලත් අදහසක් ගන්න.

 

 

 අත්කම් නිර්මාණ ශිල්පිනී සුලෝචනා සෙව්වන්දි