සල්ලි මවන Stencil Paint

සැප්තැම්බර් 30, 2024

පින්තාරු කලාවේ නවමු ඉසව් සොයා යන ඔබට ස්්ටෙන්සිල් පේන්ට් කලාව අද අපි මෙලෙස තිළිණ කරන්නෙමු.

මෙම පාඩමේදී ඔබට කියාදෙනු ලබන්නේ ස්ටෙන්සිල් පේන්ට් ක්‍රමයයි. එනම් අච්චුවක් භාවිත කරමින් ඒ මත වර්ණ ගල්වා ඒ මඟින් රෙද්ද මත වර්ණ තැවරීමක් මෙහිදී සිදු වේ. ස්ටෙන්සිල් විවිධ ඩිසයින්වලින් ඇත. ඒවා ප්ලාස්ටික්වල සහ ලීවල ඝනකම් කාඩ්බෝඩ්වල සැකසිය හැකියි. විවිධ මෝස්තරයේ ස්ටෙන්සිල් අපට කඩෙන් මිලදී ගැනීමේ හැකියාව පවතී. මෙම ස්ටෙන්සිල් නැවත නැවත භාවිත කිරීමේ හැකියාවද පවතී. ස්ටෙන්සිල් පේන්ට් එකේදීද පේන්ට් කරනු ලබනුයේ fabric paint මඟින්මය.

එසේම අපට ස්ටෙන්සිල් සකසා ගත හැකියි. ඒ සඳහා ඝනකම් කාඩ්බෝඩ් එකක් ගෙන අපට අවශ්‍ය ඩිසයින් එක ඇඳ එහි අනවශ්‍ය කොටස් කපා ඉවත් කරගත යුතු වේ. එසේ කපා ඉවත්කර ගැනීමට ක්‍රාෆ්ට් නයිෆ් එකක් භාවිත කළ යුතුය. පළමුව රිජිෆෝම් එක ගෙන ඒ මත ඉටි කොළය තබා සෝදා වේළා මැද ගත් රෙදි කොටස ගෙන ඒ මත තබා පින් කරගත යුතුය. පින් (Pin)කර ගැනීමේදී රෙදි කොටස හොඳින් අදිමින් බුරුල් නොවන සේ පින් කර ගත යුතුය. පසුව ස්ටෙන්සිල් එක ගෙන එය රෙද්ද මත තබා පරෙස්සමට අලවා අවශ්‍ය වර්ණ ගෙන පේන්ට් කළ යුතුය. පේන්ට් කරනුයේ ස්ටෙන්සිල් එකේ ඇති හිඩැස් කොටස්ය. එම හිඩැස් කොටස් පේන්ට් කිරීමේදී එය රෙද්ද මත අලංකාරව පේන්ට් වේ. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණ වන්නේ ස්ටෙන්සිල් එක හොඳින් අතින් අල්ලා පේන්ට් කළ යුතුය. කෙසේ හෝ ස්ටෙන්සිල් එක පේන්ට් කරන අතරතුර වෙනස් වුවහොත් රෙද්ද මත පේන්ට් එක ද වෙනස් වේ.

ස්ටෙන්සිල් පේන්ට් එක කර අවසානයේදී පරෙස්සමින් ස්ටෙන්සිල් එක රෙදි කොටස මතින් ඉවත් කරගත යුතුය. පසුව පැය 24ක් තබා වේළා ගත යුතු වේ. ස්ටෙන්සිල් එක මත තැවරී ඇති පේන්ට් ඉවත් කර ගැනීමට ස්ටෙන්සිල් එක හොඳින් සෝදා ගත යුතුයි.

 

උපදෙස් -

ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී

ඊ.ඒ. සඳමාලි නවෝදිකා