වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
සඳ ඉලක්ක කළොත් තරුවක් අතරට හෝ ගිහින් නතරවේවි
තරු පිරි අහසට, සඳේ නොයෙකුත් හැඩතලවලට අපි කොතෙක් නම් ඇලුම් කරමු ද? ඒ දෙස බලාන ඉද්දි නොයෙකුත් සිතිවිලිවල නිමග්න වෙයි. සඳට යන්න ඇත්නම්, තරු අල්ලන්න ඇත්නම්.... යැයි සිතේ.
ආකාශ වස්තූන් පිළිබඳ, අභ්‍යවකාශය පිළිබඳ හදාරන්නට පුංචි කාලයේ පටන් ම නොනිමි ආශාවකින් සිටි ඇය අද වන විට එම සිහින සැබෑ කරගැනීමේ මාවතේ ගමන් කරමින් සිටින්නීය.
අද අපේ කතා නායිකාව වන ඇය තවමත් විසිවැනි වියේ පසුවන සඳලි කුමාරසිංහයි.
මේ දිනවල සඳලි පිළිබඳ කොයිකවුරුත් කතා කරති. ඒ Dear moon ව්‍යාපෘතිය යටතේ 2023 වසරේ සඳට යෑමේ අපේක්ෂාවෙන් සිටින මිලියනයක් පමණ වූ අයැදුම්පත් අතුරින් ඇගේ අයැදුම්පත ඉදිරියට ම පැමිණ ඇති නිසයි. සඳට යෑමේ ආශ්චර්යමත් ගමන සඳහා ලොව පුරා සිටින අයගෙන් තෝරා ගන්නා අටදෙනා අතරට එක්වීම ඇගේ ඒකායන පරමාර්ථය යි.
සඳලි අපි යමු ඔයාගේ පුංචි කාලයට
මම පුංචි කාලයේ ඉඳන් ම විද්‍යාව විෂයට තමයි කැමැති. හතර, පහ වසරවලදී සතුන්ගේ ජීවන චක්‍ර උගන්වද්දී ඉස්ගෙඩියන් බෝතල්වලට දාලා ගෙම්බෙක් වෙන අන්දම ගැන නිරීක්ෂණය කළා. දුරේක්ෂ ගැන කියලා දුන්නාම ගෙදර ඇවිත් උත්සහ කරනවා ඒවා හදන්න.
තාරකා විද්‍යාව කියලා පොඩි කාලේදි නමක් වශයෙන් නොදැන හිටියට තරුවලට, රොකට් ගැන, අභ්‍යවකාශ තරණය ගැන ලොකු ආසාවක්, ඒ පිළිබඳ කරුණු හොයන්න උනන්දුවක් තිබුණා.
මම ඉගෙන ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයේ. පාසලේ හය වසරෙදි තමයි තාරකාවිද්‍යා සංගමයට ඇතුළු වුණේ. ඒත් සමඟින් Night Camp වලට ගිහින් එළිවෙනකම් තරු බලනවා. මම තාත්තට කියලා පොත් එහෙම ගෙන්නගෙන ඒ ගැන තව තව කරුණු හෙව්වා. අන්තර්ජාලයෙන්, යූ ටියුබ් එකෙන් විස්තර බැලුවා.
තාරකා විද්‍යාව භාරව සිටි සුනේත්‍රා සහ ශිරෝමා ඇතුළු ගුරුතුමියන් මගේ උනන්දුව, ආසාව තව තවත් දිරිගැන්වූවා. ඒ සම්බන්ධ තරගවලට මාව යොමු කෙරෙව්වා. මෙවැනි තරගවලදි වෙනත් පාසල්වල අයියලා, අක්කලත් මට උදව් කරලා තියෙනවා.
2017 වසරෙදි පාසලේ තාරකා විද්‍යා සංගමයේ සභාපති වුණා. පාසලේ පළමු තාරකා විද්‍යා දිනය මට සංවිධානය කරන්න පුළුවන් වුණා. ජල රොකට් හදන වැඩමුළු, සූර්ය නිරීක්ෂණ කඳවුරු, රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු සංවිධානය කරන්න කටයුතු කළා.
ඒ හැරුණු කොට පාසලේ බටහිර සංගීත කණ්ඩායමේ සාමාජිකාවක් ලෙසත් කටයුතු කළා. මීට අමතරව ගුවන් පියාසර සංගමයේ (Aeronautical engineering) විද්‍යාව, තොරතුරු තාක්ෂණ, සාමාන්‍ය දැනුම, භූගෝල විද්‍යා... මේවගේ සංගම් කිහිපයකම ක්‍රියාකාරීව සිටියා.
2015, 2016, 2017 යන වසරවල ජාතික තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා ඔලිම්පියාඩ් තරගවලදි එක පෙළට ලෝකඩ පදක්කම් ගන්නටත් හැකි වුණා.
තාරකා විද්‍යාව හදාරන්න යොමු වුණේ කොහොමද?
Institute of Astronomy Sri Lanka කියලා ආයතනයක් තියෙනවා. තාරකා විද්‍යාව හදාරන්න පුළුවන්. අපේ නංගිලා, මල්ලිලාටත් පුළුවන් තාරකා විද්‍යාව පිළිබඳ ඇල්මක් තියෙනවා නම් මේ ආයතනය සමඟ එකතුවෙන්න. මමත් කෙටිකාලීන පාඨමාලාවක් හැදෑරුවා. වෝටර් රොකට්, ඔලිම්පියාඩ් වගේ තරගවලට යොමුවෙන්න මට එම ආයතනයේ ගුරුවරු උදව් කළා.
Aerospace engineering විෂය හදාරන්න මට ලොකු ආසාවක් තිබුණා. පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙලා මේ දිනවල මම කරන්නේ එම උපාධියේ අධ්‍යයන කටයුතු.
ඔබ නාසා ආයතනයට සම්බන්ධ Space Rocket Center සමඟ සම්බන්ධ වෙනවා.
2018 වසරේ අවසන් කාලේ දී මම පාසලේ උසස් පෙළ පන්තියේ ඉද්දි අමෙරිකාවේ US space and rocket center හි vistor center for NASA Marshall Flight Center හි ශිෂ්‍යත්වයවක් සඳහා අයැදුම් කළා. ලෝකෙන් ම තුන්දෙනෙක් වගේ මේ සඳහා ගන්නේ. 2019 දී මට ඒ ශිෂ්‍යත්වය ලැබුණා. ඒ නායකත්ව කාණ්ඩයෙන් (Leadership Catagory). ඒ ශිෂ්‍යත්වය මාර්ගයෙන් Advanced Space Academy වෙත යෑමට හැකි වුණා. අමෙරිකාවේ Huntsville Alabama හි දින 6ක කාලයක් මේ ගගනගාමි පුහුණු කඳවුර පැවතියා. නාසා ආයතනය ගගනගාමින් පුහුණු කරන ලෙසට ඒ අත්දැකීම ළමයින්ට ලබාදෙන අන්දමිනුයි මෙය සැකසී තිබෙන්නේ.
මව්පියන්ගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?
මුලදි ගෙදරින් මම තාරකා විද්‍යාව හදාරනවට ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. මේ ශිෂ්‍යත්වයට අයැදුම් කරද්දි මම ගෙදරට කීවේ නැහැ. ශිෂ්‍යත්වය ලැබුණාට පස්සේ කිව්වේ. මේ ක්ෂේත්‍රයට යොමුවුණු පවුලේ කවුරුත් නැහැ. අපේ රටේ වුවත් ගගනගාමි ක්ෂේත්‍රය සඳහා ඒ තරම් දොරටු විවර වී නැහැ. පස්සේ මව්පියෝ හිතුවා මට මේ සඳහා උදව් කරන්න ඕන කියලා.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔබට උදව් කළා.
ඔව්. එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මම ලිපියක් ලිව්වා. ඒ කළ ඉල්ලීමට එතුමන් මට අමෙරිකාවට යෑමට සහ නැවත ඒමට ගුවන් ගාස්තු ලබා දෙමින් මට උදව් කළා. ඒ අවස්ථාවේ එතුමන් කළේ වටිනා උදව්වක්. මම එතුමන්ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. එවැනි සහයක් නොතිබුණා නම් ඇතැම් විට ඒ අවස්ථාව මඟ හැරෙන්න තිබුණා.
ඔබ එහිදී ලැබූ පුහුණුව මොන වගේද?
මේ දින හයක කාලයේ දී අභ්‍යවකාශයට ගොස් ගගනගාමියකු කටයුතු කරන අන්දම, පෘතුවියේ සිට Mission Control හි සිටින අයට උපදෙස් දෙන්නේ කොහොමද? ඒ ඇඳුම් ඇඳගෙන, එවැනි පරිසරයක ඉන්න විදිහටම අපට සිටීමට හැකි වුණා. අපි හිටපු තැන වුණත් හදලා තිබුණේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ලෙසට. අපි කන බොන දේවල් වුණත් අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද වැනි පුංචි පුංචි සංකල්ප වුණත් කියා දුන්නා. මෙය නාසා ආයතනයට සම්බන්ධ එකක් නිසා නාසා ආයතනයේ ඉතිහාසය පිළිබඳ ඇපලෝ, මර්කියුරි, ජෙමිනි වැනි මෙහෙයුම් පිළිබඳ, ඒවා හි ඉතිහාසය, ඉදිරියේදී ඒ සම්බන්ධ ව්‍යාපෘති ගැන අත්දැකීමක් කෞතුක වස්තූන් නැරැඹීමෙන් ලබාගන්න පුළුවන් වුණා.
Dear moon ව්‍යාපෘතිය ගැනත් කියන්න.
පුංචි කාලේ ඉඳන් ම මට පුරුද්දක් තිබුණා තරගවලට අයදුම් කරන. අදාළ සුදුසුකම් සපුරලා ඇත්නම් අනිවාර්යයෙන්ම මම අයැදුම් කරනවා. 100ක් අයැදුම් කළොත් 10ක්වත් දිනා ගන්න පුළුවන් වෙයි කියලා හිතලා මම ඒ දේ කරන්නේ. 2019 දී අමෙරිකාවට ලැබුණු ශිෂ්‍යත්වය පවා එවැන්නක්. 2021 දි එනම් මේ වසර මුලදි මට Dear moon ව්‍යාපෘතියට අයැදුම් කළේ.
මේ ලිපිය කියවන මගේ ආදර නංගිලා මල්ලිලාට මම කියන්නේ ඔයාලත්, ඔයාලට ලැබෙන කිසිම අවස්ථාවක් මඟහරින්න එපා. අනික ඒ අවස්ථාවන් අපිව හොයාගෙන එන්නේ නැහැ. අපි සොයාගෙන යා යුතුයි.
Dear moon කියන්නේ යුසාකෝ මෙසාවා (Yusaka Maezawa) නමැති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සංවිධානය කරන ව්‍යාපෘතියක්. 2023 දී හඳට යෑමට ලෝකේ වටෙන්ම සාමාන්‍ය වැසියන් අට දෙනකු තෝරා ගන්නවා. සාමාන්‍ය වැසියන් කියන්නේ දැනට ඉන්න අජටාකාශගාමින් නොවෙයි. පසුගිය වසර කිහිපයේ තාරකා විද්‍යාව සහ ගගනගාමි යන ක්ෂේත්‍ර ඔස්සේ මම ලබපු අත්දැකීම්, ජයග්‍රහණ සමඟින් පවුලේ අය මේ සඳහා මට පුදුම තරම් සහයෝගයක් ලබා දෙනවා. මගේ අම්මත් 'මේ බලන්න ආයෙත් හඳට යනවා, ඔයත් දාලා බලන්න' කියලා පත්තරය දැකලා මට කිව්වා. ඒ වෙද්දි මම අයැදුම් කරලත් ඉවරයි. අන්තර්ජාලයේ ඒ අයගේ වෙබ් අඩවිවලින් දැකලයි මම අයදුම් කළේ.
මෙපමණ කල් විද්‍යාඥයෝ, ඉංජිනේරුවෝ වගේ අයයි මෙවැනි මෙහෙයුම් සඳහා සම්බන්ධ වුණේ. එක් එක් ක්ෂේත්‍රවල අය යවා ඒ අය ලබාගන්නා විවිධ අත්දැකීම් කොයි වගේද? කියලා බලන්නයි සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධ කරගන්නේ.
මෙම ව්‍යාපෘතියේ සම්බන්ධ සම්පූර්ණ විස්තර ලබාදීමට හැකියාවක් නැහැ. ඒ අයැදුම්කරුවන් තෝරා ගැනීමේ වැඩපිළිවෙළ තවමත් අවසන් වී නැති නිසා. යම්තාක් දුරට මේ තරගාවලියේ ඉදිරියට ඒමට මට හැකියාව ලැබිලා තියෙනවා.
යුසාකෝ මෙසාවගේ යූ ටියුබ් චැනලයේ නිල වීඩියෝවක් එක්කර තිබෙනවා. මිලියනයක පමණ අයැදුම්කරුවන් මෙම තරගයට අයැදුම් කර තිබෙන බවට. ඒ අතරින් මම එම තරගාවලියට ඉදිරිපත් කළ වීඩියෝවත් ඇතුළත් කර තිබෙනවා. ඒ නිසාම තමයි මං ගැන සමාජජාල වෙබ් අඩවිවල විවිධ තොරතුරු පළ වුණේ.
ඔබේ පවුලේ තොරතුරු දැනගන්න කැමැතියි.
මගේ තාත්තා ක්‍රිශාන්ත කුමාරසිංහ වසර ගණනාවක සිටන් විදේශ රටක සේවය කරන්නේ. කොරෝනා වසංගතයත් සමඟ අපට තාත්තාව වසර දෙකකින් පමණ දැකගන්න ලැබුණේ නැහැ. මගේ අධ්‍යාපන කටයුතුවලට යන වියහියදම් අනුව තාත්තට ඒ සඳහා උදව් කරන්න වෙලා තියෙනවා.
අම්මා රමණී කුමාරසිංහ නිවෙසේ ම පොඩි ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. මට නංගි කෙනෙක් ඉන්නේ. (විදුනි මෙත්සහනි) පාසලට ආසන්න නිසා මම පොඩි කාලේ ඉඳන් හැදුණේ ආච්චියි, සීයායි, නැන්දලා දෙන්නයි එක්ක. පාසලට දමන තැනේ ඉඳන් මගේ පිටුපසින් හැම විටම ඉන්නේ ආච්චි.
ආදර්ශමත් ගමනක් පැමිණ සිටින ඔබට ඔබේ නංගිලා මල්ලිලාට කිවහැකි දේ කුමක්ද?
මම බොහොම සාමාන්‍ය පවුලක, සාමාන්‍ය ළමයෙක්. පුංචි කාලේ ඉඳන් අපට විවිධ අභියෝග පැමිණෙනවා. මට ලැබිලා තියෙන අවස්ථා සීමිත වුණත් ඒ හැම අවස්ථාවකින් ම ප්‍රයෝජනයක් ගෙන තිබෙනවා. ලැබී ඇති අවස්ථා සීමිත වුණත් තමන්ට හීනයක් තිබේ නම් ඒ සිහිනය වෙනුවෙන් කටයුතු කරන්න. මම හඳට යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. ඉදිරියේ දී බොහෝ දුරට මම මගේ සිහින සැබෑ කරගනීවී. සිහින සැබෑ කරගන්න උත්සාහ ගන්න. තමන්ට තරග සඳහා යම් අවස්ථාවක් ලැබුණොත් පසෙකට දාන්න එපා. කොහොම හරි උත්සහ කරන්න. 'හඳ ඉලක්ක කළොත් තරුවක් අතරට හෝ ගිහින් නතරවේවි' කියලා අපි සාමාන්‍ය ව්‍යවහාරයට කියන්නේ. අභියෝග හමුවේ කොහෙත් ම සැලෙන්න එපා. එවිට උපරිමය කරාම යා හැකි වේවි.
ඔබේ ඉදිරි බලාපොරොත්තු.
පෙර දී කීවාක් මෙන් මම හඳට යන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. මගේ ප්‍රධානම ඉලක්කය අභ්‍යවකාශය සම්බන්ධ ආයතනයක සේවය කිරීම. දෙවැන්න ගගනගාමියකු වීම. මම අද මට ලැබුණු මේ දේවල් ගැන මේ ලෙස කීවට මම අයැදුම්පත් සියයකට, දෙසීයකට වඩා අයැදුම් කරලා ඇති. තමන් ඉගෙන ගන්න විෂය පථය පිළිබඳ තොරතුරු, දැනුම යාවත්කාලීන කරගැනීම වැදගත්.
අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති දොරගුළු විටෙක දී අවමයි. ඉගෙන ගන්න ළමයින්ට ගොඩක් දුෂ්කරතා තියෙනවා. මම ඉගෙනගත් දෙයින් දවසක ඒ අයට උදව් කරන්න කැමැතියි.
අවස්ථාවක් ලැබුණොත් ගගනගාමියෙක් වෙලා අභ්‍යවකාශයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හැරුණුකොට සතුටින්, නිදහසේ ජීවිතේ ගත කරන්න අවශ්‍යදේ කරගන්න උදව්වන මගේ පවුලේ අය විශේෂයෙන්ම මගේ ආච්චි, නැන්දලා, සමීපතම යහළුවන්, වැඩිහිටියන් ඇතුළු හද පත්ලෙන් මට ආශිර්වාද කරන සැමට මම ස්තූතිවන්ත වෙනවා.
ඡායා - ශාන් රූපස්සර