හසරක් නොදුටු ජීවිතවලට පාර කියූ ආදරණීය ගුරුතුමා

අසිත් මුතුකුමාර
නොවැම්බර් 7, 2022

 

සම්මාන ගණනාවකින් පුද ලැබූ ආසියාවේ හොඳම ගුරුවරයා

ඔහු අපේ කාලයේ දුයිෂෙන් හෝ දිසාපාමොක් විය හැකියි. වෘත්තියට එහා ගිය වගකීම වගවීමෙන් කළ අයෙකි. එතෙරින් සම්මාන ලැබීමට තරම් දක්ෂයෙකි. මේ අපුරුව ගුරුවරයා සමඟින් තරුණි කතාබහට එක් වුයේ ඔහුගේ කැපවීමට උපහාර පිණිසයි.

 

සර් ගැන විස්තර ටිකක් කියන්නකෝ.....

මම අසිත් මුතුකුමාර ජයරත්න. මගේ පදිංචිය කුරුණෑගල කනෝටුව ගමේ. නාට්‍යය හා රංග කලාව ගුරුවරයෙක් විදියට දැනට කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ සේවය කරනවා. මගේ පවුලෙ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි.

 

ඔබ ගුරු වෘත්තියට පිවිසෙන්නේ කොහොමද ?

ඉස්සෙල්ලාම අධ්‍යාපනය ලබන්නෙ කුරුණෑගල කනෝටුව කනිෂ්ඨ විද්‍යාලයෙන්. පස්සෙ A/Lවලට යනවා මලියදේව පිරිමි විද්‍යාලයට. මලියදේව විද්‍යාලයේ ඒ අවුරුද්දේ උසස් පෙළ හොඳම ප්‍රතිඵලවලින් දෙවැනි තැන මම. උසස් අධ්‍යාපනයට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයට යනවා. එහිදී ප්‍රසංග කලා විශේෂවේදී උපාධියේ දෙවැනි පෙළ සාමාර්ථයක් ගන්නවා. මගේ ආශාව තිබුණෙ නාට්‍ය පැත්තෙන්. අධක්ෂණය කරන්න. රඟපාන්න. ඒකත් එක්ක මට පෞද්ගලික ආයතනයක පිටපත් රචකයෙක් විදියට වැඩ කරන්න ලැබෙනවා අවුරුද්දක් විතර. නමුත් සමහර වෙලාවට අපි ආස කරන දෙයක් වුණත් නතර කරන්න වෙන අවස්ථා එනවා. එන අභියෝග, ප්‍රශ්නත් එක්ක. මම ජීවිතේට ගුරුවරයෙක් වෙන්න ඕනෙ කියලා හිතුවෙ නෑ. නමුත් එක අවස්ථාවක මට තීරණය කරන්න වෙනවා ගුරු විභාගය ලියලා ගුරුවරයෙක් විදියට ඒ වැඩ ටික කරන්න. ඒ අනුව පළමු පත්වීම ලැබෙන්නේ පුත්තලමේ දලුව ශාන්ත අන්තෝනි විද්‍යාලයට. නාට්‍යය හා රංග කලා ගුරුවරයෙක් විදියට.

 

ඔබ, සාම්ප්‍රදායික ගුරුවරයා කියන රාමුවෙන් එළියට ඇවිත් කටයුතු කරන්නෙක්.

මම ඉපදුණු ගම කුරුණෑගලනෙ. මට වැඩ කරන්න ලැබෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් ප්‍රදේශවල. කල්පිටිය වගේ පැතිවල බහු සංස්කෘතියක් තියෙන්නෙ. හැම ජාතියක්ම මිශ්‍රයි. පරිසරය ගත්තමත් ගොඩක් රස්නෙයි, වැලි කඳු තියෙන එතකොට කලපු, ලුණු කොටු, ඉස්සො කොටු, එළවළු කොටු තියෙන පාරිසරික ස්වභාවයක් තිබුණෙ. මේකත් එක්ක මට ඒකට අනුගත වෙන්න සිද්ධ වෙනවා. මොකද එහේ හිටියෙ ඒ පරිසරයට අනුගත වුණ ළමයි ටිකක්. වැඩිහිටියන්ගේ පවා ජීවනෝපාය වුණේ එළවළු කොටුවල වැඩ කරන එක. එහෙම නැත්තම් ධීවර රස්සාව. ඉස්සො කොටු වගේ බිම්වල වැඩ කරන එක. දරුවන්ට අධ්‍යාපනයට වඩා වැදගත් වෙලා තිබුණෙ එදා වේල සරිකර ගන්න එක. මවුපියන් වගේ ආදායම් මාර්ගයක් හොයා ගන්න එක. මවුපියන්ටත් ලොකු අවබෝධයක් තිබුණෙ නෑ දරුවන් ඉස්කෝලෙ යවන්න. අධ්‍යාපනයට නැඹුරු කරන්න. සමහර වෙලාවට එයාලට වැඩට යන්න ඕනෙ නිසා දරුවන් ඉස්කෝලෙ එවන මවුපියනුත් හිටියා. හැමෝම නෙමෙයි. සමහර මවුපියන් හරි අවබෝධයෙන් ආසාවෙන් දරුවන් ඉස්කෝලෙට එවනවා. මේ ප්‍රදේශයවල මවුපියන්, දරුවන් රටේ අනිත් සමාජ ප්‍රදේශ එක්ක මුහු වෙන්නෙ නෑ. කලාතුරකින් තමයි පුත්තලම පාලමෙන් මෙහාට හරි ආවෙ. අනිත් එක මේ දරුවන්ගේ සාක්ෂරතා මට්ටම ඉතා අඩුයි. මම ඉස්කෝලෙට යන මුල්ම දවස්වල දරුවන්ගෙ පාසල් පැමිණීමේ ප්‍රවණතාව අඩුයි. අඩු වයසින් කසාද බැඳලා යනවා. නැත්නම් වෙන කුලී රස්සාවක් කරනවා. ඔය වගේ තත්ත්වයක් තමයි තිබුණේ.

 

ඔබේ මේ ප්‍රායෝගික ඉගැන්වීම් කලාවට විරෝධතා එහෙමත් එන්න ඇති නේද?

අපි ගොඩක් වෙලාවට නීතී චක්‍ර ලේඛනවලට හිර වෙලා ඉන්නෙ. මටත් ඔය අත්දැකීම එහෙමම හම්බවුණා. 2014දී ඉස්කෝලෙට යද්දි ඒ ඉස්කෝලෙ නාට්‍යය හා රංග කලාව කියලා විෂයක් තිබුණෙ නෑ. මම තමයි ඒ විෂය පටන් ගත්තෙ. ඒ අවුරුද්දෙ වැඩ කරලා මම ළමයින්ව සමස්ත ලංකා අරන් යනවා. ඒ අවුරුද්දෙ ඉඳලා හැම අවුරුද්දකම ළමයි සමස්ත ලංකා මට්ටමේ ඉඳලා ජාතික මට්ටමේ විවිධ ජයග්‍රහණ හිමිකර ගත්තා. නාට්‍යය, ගායන, පිටපත් රචනා, කෙටි චිත්‍රපට එක එක ක්ෂේත්‍රවලින් මේ ජයග්‍රහණ හිමි වුණේ. ප්‍රශ්නෙ තියෙන්නෙ නාට්‍යය තරගයකටවත් ළමයින්ට සහභාගි වෙන්න ලැබෙන්නේ නැති එකයි. ළමයි කොළඹ පවා පළමුවැනි පාරට දැක්කෙ ඒ තරගයකට යනකොට. ටීවී ප්‍රෝග්‍රෑම් එකක සාකච්ඡාවකට පවා ළමයි ගිහිල්ලා තිබුණෙ නෑ. මේ අවස්ථා ළමයිට ලැබෙන්නෙ නෑ. බැරි වෙලාවත් මම ළමයිව හිර කරලා පන්ති කාමරයෙම තියලා තිබුණා නම් ඒ ළමයිට ඒ අවස්ථා ටික ලැබෙන්නෙ නෑ. සමහර වෙලාවට ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙ අතින් ඇල්ලුවත් ඒක හරි ලොකු ප්‍රශ්නයක්. නමුත් අපි කතා කරනවා සහෝදරත්වය සමානාත්මතාවය වගේ දේවල්. හැබැයි අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්න ගියාම ඒ දේවල් දිහා බලන්නෙ වපර ඇෙහන්. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ ඉන්න පිරිස් බලන්නෙත් වපර ඇහෙන්. නාට්‍යයක් ඇතුළෙ දරුවන්ට අතක් අල්ලන්න බැරි නම් එතැනම තියෙනවා ආකල්පවල අවුලක්. මාත් ඒ විදිහටම බැලුවා නම් අර වගේ දරුවන්ව මට ගොඩ ගන්න වෙන්නෙත් නෑ.

 

ඒ දරුවන් එක්ක ප්‍රායෝගිකව ගනුදෙනු කළේ කොහොමද?

හොඳම උදාහරණය මට 9 වසරේ පන්තියක් භාර වෙනවා. ඒ පන්තියේ වැඩි ළමයින් පිරිසකට ලියන කියන හැකියාව හරිම අඩුයි. සමහර ළමයින්ට අකුරක් දෙකක් කියවන්නවත් හැකියාව තිබුණෙ නෑ. අපි අර ඉස්කෝලෙ තියෙන චක්‍ර ලේඛන හරි විෂය නිර්දේශයට හරි හිරවෙලා හිටියා නම් ඒ දරුවන්ට කිසිම දෙයක් ආපහු ඉගෙන ගන්න වෙන්නෙ නෑ. මට සිද්ධ වුණා පන්ති කාමරයෙන් එළියට යන්න. අර වගේ දරුවන් වෙනුවෙන් වෙන, වෙන ක්‍රමවේද හොයා ගන්න. ඒකෙදි අපි මුහුදු වෙරළට යනවා. වැල්ලෙ අකුරු ලියනවා.

එළවළු කොටුවලට යනවා. මේ පිටිපස්සෙ ගොඩක් මවුපියනුත් හිටියා. ගොඩක් උදව් කළා. මමත් එයාලා එක්ක ඒ තැන්වලට යනවා පුට් බයිසිකලයෙන්.

ගිහිල්ලා අපි නිදහසේ ඉගෙන ගන්නවා. පන්ති කාමරයට එන්න අකැමැති දරුවො පවා එතැනට එනවා. මොකද එතැන විනෝදය, සතුට, නිදහස, අධ්‍යාපනය හැමදේම තියෙනවා. ප්‍රායෝගිකව ඉගෙන ගනිද්දි ලේසියෙන් එයාලට ඒවා මතක හිටිනවා. මම හොයා ගත්ත එක් ක්‍රමයක් තමයි මේ නිදහස් පාරිසරික ජංගම අධ්‍යාපනය කියන එක. තව අපි කළා touching system කියලා එකක්. එතැනදී තව දරුවෙක්ගේ අතේ, මූහුණෙ කකුලෙ තවත් දරුවෙක් අකුරු ලියනවා.

ඔබ නිර්මාණය කළ කෙටි චිත්‍රපටයට හා ගුරු වෘත්තියට ලැබුණ සම්මාන සිහිපත් කරමු.

මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා දරුවන් එක්ක ඉඳලා එයාලට තියෙන ප්‍රශ්න සමාජගත කරන්න. දරුවන්ට එයාලගේ ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. 'The Dry - වියළි' කියන චිත්‍රපටය නිර්මාණය වෙන්නෙත් සත්‍ය සිදුවීමක් ඇසුරෙන්. ඒකට ඉන්දියාවේ කෙටි චිත්‍රපට උලෙළක දී හොඳම චිත්‍රපටය සඳහා වන සම්මානය ලැබෙනවා. අන්තර්ජාතික උ‍ෙලළ කිහිපයකදීම ඇගැයීමට ලක් වෙනවා. ශ්‍රී ලංකාවේ ජාතික සාහිත්‍ය කලා මහෝත්සවයේ දී හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන ලැබෙනවා. මට 2018 දී හොඳම ගුරු තරුව සම්මානය ලැබෙනවා. 2019 දී ලංකාවේ හොඳම රාජ්‍ය සේවකයන් දහදෙනා අතරට තේරෙනවා. 2021 දී ආසියාවේ හොඳම ගුරුවරයා සම්මානයයි රටවල් 35කින් Global Excellent කියන සම්මානයයි ලැබෙනවා. මේ අවුරුද්දෙ මට ලැබෙනවා Icon Education සම්මානය.

ඉස්සරහට විශේෂ බලාපොරොත්තුවක් තියෙනවා ද?

කිහිපයක්ම තියෙනවා. මේ වාතාවරණය එක්ක ඒවා කොහොම වෙයි ද දන්නෑ. එකක් තමයි වෙනත් රටකට ගිහිල්ලා, ඒ කියන්නෙ ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමවේදය තියෙන්නෙ පින්ලන්තයේ කියනවා. නැත්නම් ජපානෙ කියනවා. ඒ වගේ රටකට ශිෂ්‍යත්වයක් හරි අරගෙන ගිහින් මේ අධ්‍යාපනය ක්ෂේත්‍රය ගැන වැඩිදුර හදාරලා ඒ යාවත්කාලීන කිරීම ලංකාව තුළ සිදු කරන්න තියෙනවා නම් ඒක මගේ ලොකු ආශාවක්. නාට්‍ය ක්ෂේත්‍රයෙන් කථිකාචාර්යවරයෙක් වෙන්න ආසයි. තව සෞන්දර්ය පාසලක් නිර්මාණය කරන්න ආසයි. සමකාලීන සෞන්දර්ය එක්ක ගොඩනැඟෙන පාසලක්. මේ තත්ත්වෙ එක්ක ඒවා කොහොම වෙයි ද දන්නෙ නැහැ. නමුත් ඒවා මගේ හීන.