මම ශිෂ්‍යත්ව විභාගය සමත් වුණු දවසේ තාත්තා දුන්න තෑග්ග ජීවිතයම වෙනස් කළා

පුන්සිරි සොයිසාගේ දෙටු දියණිය සත්මිණි තාත්තා ගැන කියන කතාව
ජුනි 17, 2024

 

ගැඹුරු දිය නිසලය. ඒ නිසල වූ දියෙහි පතුලේ බොහෝ වටිනා මිණිමුතු, සැඟවී ඇත්තේ නොසිතනා ලෙසිනි. පිය සෙනෙහසක අරමැසිය සොයා යන අපගේ සෞන්දර්ය චාරිකාවේදී හමුවන චරිත ද එවැනි මිල කළ නොහැකි තරම් වූ වටිනා මිනිසුන්ය. ඒ අමිල මිනිසුන්ගේ වටිනාකම ගැන ගැඹුරින් පවසන්නට හැකියාව ඇත්තේ ඔවුන්ගේම ලෙයින් උපන් දරුවෙකුටය. මෙලෙසින් තම ලෙයින් උපන් දියණියකට තම ආදරණීය තාත්තා ගැන වඩාත් සමීප ලෙසින් පවසන්නට බොහෝ දේ වෙයි. එලෙසින් තම ආදරණීය තාත්තා ගැන පවසන වදන් තුළ තැවරී අැත්තේ සැබෑම පිය සෙනෙහසක වූ ළෙන්ගතුකමයි.

පුන්සිරි සොයිසා... ඔහු ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සටහන් තැබූ ගායකයෙකි. එපමණක් ද නොවෙයි ඔහු වසර 50ක් පුරා තම ජනප්‍රියත්වය හා අභිමානය එක ලෙස රඳවා ගත් කලාකරුවන් අතලොස්සක් අතුරින් තවත් එක් සුවිශේෂී ප්‍රතිභා පූර්ණ නිහතමානී කලාකරුවෙකි. ගායන ලෝකයට වැඩිම කැසට්පට ප්‍රමාණයක් තිළිණ කළ එච්.ආර්. ජෝතිපාල නම් අතිදක්ෂ වූ ගායකයාට පසුව වැඩිම ගීත කැසට් ඇල්බම් ප්‍රමාණයක් ගීත ලෝකයට තිළිණ කළ පුන්සිරි සොයිසා නම් අසහාය ගායකයා ගායනාකර ඇති ගීත ප්‍රමාණය අතිවිශාලය. එතරම් ගීත ප්‍රමාණයක් ගායනා කරමින් ගී අඹරේ එදත් අදත් රසික රසිකාවියන්ගේ ආදරේ දිනා සිටීම මහත් වාසනා මහිමයකි. පුන්සිරියෙන් හා සෙනෙහසින් පිරි හෘදයාංගම කලාකරුවකු ලෙසින් කා අතරත් ආදර ගෞරවය දිනා සිටින ඔහු අඩසිය වසක කාලය පුරාම එලෙසින් රැඳී සිටින්නේ සෙනෙහසින් පිරි ආදර කැදැල්ලක් ඔහුට හිමි නිසාමය. ආදරණීය දියණියන් තිදෙනකුගේ පියෙකු වීමේ භාග්‍ය ලද ඔහු තම ආදරණීය දියණියන් තිදෙනාටම පිය සෙනෙහස නොඅඩුව බෙදා දුන් නිසාම ඒ දියණියන් ද ඔහු මෙන්ම නිහතමානී ගති පැවැතුම් ඇති, මුළු රටට දැයට වටිනා මෙහෙවරක් ඉටු කරන දියණියන් වී සිටී.

මේ දියණියන් තිදෙනා අතුරින් ඔහුගේ දෙටු දියණිය සත්මිණි සොයිසා පියාගේ අඩි පාරේම යමින් ගායන ක්ෂේත්‍රයේ දස්කම් දක්වන කලාකාරිනියකි. ගායන ක්ෂේත්‍රයේ විශාරද උපාධිය දක්වා ඉගෙනුම ලැබූ ඇය වෘත්තීමය වශයෙන් ගණකාධිකාරිවරියක් ලෙසින් පෞද්ගලික ආයතනයක සේවය කරමින් ඉතා කාර්යබහුල චරිතයක් ලෙස කටයුතු කළත් ඇය තම ආදරණීය තාත්තා ගැන අපට පවසන්නට හෘදයාංගම ලෙසින් එක් වූයේ මහත් සතුටිනි. ඉතාම ළෙන්ගතු වූ ඒ හෘදයාංගම සටහන් තුළ තම ආදරණීය පියතුමා ගැන පැවසූ අපගේ පුංචි පිළිසඳරට ඉතාමත් වටිනා අදහස් ගොන්නක් එකතු කළේ මෙලෙසිනි.

"ඇත්තටම පුන්සිරි සොයිසා කියන ගායකයාගේ දියණිය වීම වාසනාවක් කියල තමයි මම හිතන්නේ. එහෙම කියන්න හේතු රාශියක් තියෙනවා. අපේ තාත්තා ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1974 වසරේදී. ‘නොහඬන් ළඳුනේ . . . . ගීතය ගායනා කරමින් ගීත ලෝකයට ප්‍රවිෂ්ට වුණු දවසේ සිට අද දක්වාම තාත්තා ගීත සිය ගණනක් ගායනා කරලා තියෙනවා. ඒ සෑම ගීතයක්ම ජනප්‍රියයි. ඒ ජනප්‍රියත්වය නිසාම අපටත් තාත්තාට හිමිවුණු ගෞරවයෙන් කොටසක් ලැබුණා. කඩේකට ගියත්, ආයතනයකට ගියත්, පාසලේදීත් අපිට හොඳ පිළිගැනීමක් හිමිවුණා. එලෙසින් ඒ ගෞරවය ලැබුණේ තාත්තා කලා ක්ෂේත්‍රයට කරපු කැප කිරීම හා සේවයට.

තාත්තා ගායකයෙක් ලෙස අපේ ගෙදර තිබුණු පරිසරය නිසා පුංචි කාලේ පටන්ම මටත් ආසාවක් තිබුණා ගායිකාවක් වෙන්න. මම 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණාට පස්සේ තාත්තා මගෙන් ඇවිත් ඇහුවා ඔයාට මොනවද ශිෂ්‍යත්වය පාස් වුණාට අරන් දෙන්න ඕනේ කියලා. මම දෙපාරක් හිතන්නේ නැතුව කිව්වේ වයලින් එකක් අරන් දෙන්න කියලා. තාත්තා එදා හරිම සතුටු වෙලා ඒ වෙලාවෙම මට වයලින් එකක් ගෙනත් දුන්නා. එදා මට තාත්තා අරන් දුන්න ඒ තෑග්ග නිසා මම ගායනය හා වාදනය ඉගෙන ගන්න යොමු වුණා. නමුත් මම උසස් පෙළ සඳහා තෝරා ගත්තේ වාණිජ විෂයය. මම උසස් පෙළ A සාමාර්ථ 3ක් ගත්ත දවසේ තාත්තාට ඇවිත් කිව්වා. හැබැයි තාත්තා කිසිම දෙයක් කිව්වෙ නැතුව මට කිස් එකක් දීලා යන්න ගියා. නමුත් මම දැක්ක තාත්තගේ හිතේ තිබුණු සතුට එයාගේ මුහුණ පුරා මේ සතුට පිරිලා තිබුණා.

අපේ පවුලේ ගැහැනු දරුවෝ තුන්දෙනෙක් හිටියට තාත්තාගේ ක්ෂේත්‍රයට යොමු වුණේ මම විතරයි. මගේ ලොකු අක්කා අක්නා පවනි සොයිසා. එයත් ගණකාධිකාරිවරියක්. නංගී විශෝධා උවිනි. එයා සේවය කරන්නේ විදුලි බල මණ්ඩලයේ ගිණුම් අංශයේ. ඒ දෙන්නම තාත්තාගේ ක්ෂේත්‍රයට යොමු වුණේ නැහැ. නමුත් මම උසස් පෙළට සංගීතය කළේ නැති වුණාට ගායනය සහ වාදනය දෙකම ඉගෙන ගත්තා. විශාරද අමරසිරි මුණසිංහ සර්ගෙන් තමයි මම සංගීතය ඉගෙන ගත්තේ. අපේ අම්මා කුමුදිකා පෙරේරා. ඇය තමයි අපේ ඉගෙන ගන්න වැඩ හැම දෙයක්ම හොයලා බැලුවේ. ඇත්තටම තාත්තාට අපේ වැඩ ගැන හොයන්න වෙලාවක් තිබුණේ නැහැ. සමහර වෙලාවට මාස ගණනක් ලංකාවේ ඉන්න ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා අපි තුන්දෙනා ගැනම හොයල බැලුවේ අම්මා.

අපේ තාත්තාට කොයිතරම් සංගීත ප්‍රසංග තිබුණත් එයා ඒ හැම ප්‍රසංගයක්ම භාර ගත්තේ හරිම වගකීමෙන්. මම තාත්තාගේ දැක්ක හොඳම ගුණය තමයි එයා ඕනෑම කෙනෙකුට කතා කරන්නේ හරිම ගෞරවනීය ආකාරයට. එයා කිසිම දවසක කාටවත් සැරෙන් කතා කරන්නේ නැහැ. හරිම ගෞරවයෙන්, ඉතාම නිහතමානී ලෙස තමයි එයා කතා කරන්නේ. ඒ වගේම තමයි තාත්තා වේදිකාවේ සිංදු කියලා බහින්නේ හැම කෙනෙකුටම ගෞරව කරලා.

තාත්තාගේ සමකාලීන යාළුවෝ හුඟ දෙනෙක් දැන් නැති වුණාට ඉන්න හැම කෙනෙක් එක්කම කටයුතු කරන්නේ හරිම සහෝදරත්වයෙන්. කිසිම දවසක තාත්තා ක්ෂේත්‍රයේ ගැටුම් ඇති කරගෙන නැහැ. එයාගේ හොඳම යාළුවෙක් තමයි ප්‍රියා සූරියසේන අංකල්. සූරියසේන අංකල් තාත්තාගේ ගීත දොළහක් එකතු කරලා කැසට් එකක් කරලා තියෙනවා. ‘කෝමල හසරැලි’ තමයි ඒකේ නම. ඒ කැසට් එක තමයි ගායකයෙක් තවත් ගායකයෙක්ගෙ ගීත කැසට් එකක් කරපු පළමු අවස්ථාව. ඒ වගේ යාළුවෝ රාශියක් තාත්තාට ඉන්නවා. හැබැයි ඒ හැම යාළුවෙක්ම එදා වගේම තාත්තා එක්ක සම්බන්ධයි. එහෙම සම්බන්ධ නිසා මටත් හොඳ ප්‍රවීණ කලාකරුවෝ, ගීත රචකයෝ, වාදකයෝ හුඟ දෙනෙක් හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා.

දැන් රේඩියෝ චැනල් විශාල සංඛ්‍යාවක් තියෙනවානේ. ඒ හැම චැනල් එකකම තාත්තාගේ ගීත දෙක තුනක් දවසකට වාදනය කරනවා. “බිඳුණු කලට, නොහඬන් ළඳුුනේ, අඳුර නසන්නට, අදින් පසුව නැහැ, සුභා කියා මා, සෙව්වන්දියකට, සුභාෂිණී ඔබ, දෙගුරුන් වෙනුවෙන්, රන් කෙණ්ඩියකින්” වගේ ගීත හුඟාක් ඒ චැනල්වල ඇහෙනවා. නමුත් තාත්තගේ හොඳ ගීත රාශියක් තියෙනවා. ඒ ගීත නිතරම ඇහෙන්නේ නැති වුණාට ඒ ගීතවල තියෙන හරය හා පදවැල්වල අර්ථය හරිම ගැඹුරුයි. වර්තමාන පරපුර ඒ ගීත තවමත් හඳුනාගෙන නැහැ. මම හිතන්නේ වැඩිය ඇහෙන්නේ නැති ඒ ගීතත් ඇහෙන්න පටන් ගත්තු දවසට තාත්තාගේ වටිනාකම තවත් වැඩි වෙයි.

පුන්සිරි සොයිසා නම් ඒ දක්ෂ ගායකයා දශක පහක් පුරා ගැයූ ගීත තවමත් බොහෝ දෙනකුගේ මුවඟ රැව් පිළිරැව් දෙන්නේ නිරායාසයෙනි. ඇතැම් ගීත වර්තමාන පරපුරේ කුඩා දරුවන් පවා ගායනා කරන්නේ ඒ ගීත තනු හා රිද්මය නිසාමය. පුන්සිරි සොයිසා වැනි ගායකයෙක් ගීත ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙන් නිසි ඇගැයීමට ලක්වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයකි. කිසිම ඇගයීමක් නොලැබුණත් ඔහුට ආදරය කරන ඔහුගේ ගීත ප්‍රිය කරන දහස් සංඛ්‍යාත රසික පිරිසක් අපේ රටේ සිටීම ඔහුගේ දක්ෂතාවයට කදිම සාක්ෂියකි.