ලලයි ලිලයි ලයි සතුට මැද ගලයි

මිෂෙල් දිල්හාරා දමිළ සිනමාවට
ලලයි ලිලයි ලයි ටෙලියේ මිලාට මමත් ආදරෙයි
ජූලි 8, 2024

 

“මිලා” ඈ මේ දවස්වල ලබන්නේ අතිශය ඉහළ ආදරයක්. ''ලලයි ලිලයි ලයි'' එක්ක ආලින්දයට ගොඩවෙන, ජනප්‍රිය නිළි මිෂෙල් දිල්හාරා දැන් කවුරු අතරත් ජනප්‍රිය ''මිලා'' නමිනි.

ඒ තරමට ඇගේ චරිතයට ආදරේ කරන පිරිස වැඩියි.

මිෂෙල් කියන්නෙ හරිම ආකර්ෂණීය තාරකාවක්.

ඇය නව පරපුරේ දක්ෂතම සහ ජනප්‍රියම රංගන ශිල්පිනියන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම වැජඹෙන තාරකාවක්.

අනවශ්‍ය කලබලයකින් තොරව හිමින් ගමනක් යන ඈ මෙතෙක් රඟපෑ සියලු නිර්මාණ ඔස්සේ කතාබහට ලක්වන රංගන ශිල්පිනියක් වීමට තරම් වාසනාවන්ත වූ බව නොරහසක්.

මිෂෙල්ව මේ කතාබහට එකතුකර ගන්න හේතු වුණේ නුදුරේදීම අපිට ඇයව “දමිළ සිනමාව ඔස්සේ දැකගන්න ලැබීමට නියමිතය” යන සුබ ආරංචියත් සමඟයි.

මිෂෙල් කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. මේ දවස්වල නාට්‍ය කිහිපයක සහ චිත්‍රපටයක රූගත කිරීම් කරගෙන යනවා. ඒ ඇරුණහම ව්‍යාපෘති කිහිපයක් කරන්න සූදානම් වෙමින් ඉන්නවා.

 

දමිළ සිනමාවටත් පිවිසෙන්න මිෂෙල්ට වරම් ලැබුණා. මොකක්ද මේ අලුත්ම ආරංචිය?

 

චිත්‍රපටයේ නම ''අධිරන්'' (Adhiran). මේ සිනමාපටය තිනේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයක්. මෙය මගේ පළමු දමිළ සිනමා අත්දැකීමයි. ඉතින් එහි ප්‍රධාන චරිතයක් හිමිවීම මට ලොකු භාග්‍යයක්.

කවී කියන චරිතයයි මට ලැබුණේ. මා සමඟ සුදර්ශන් රවීන්ද්‍රත් එකට රංගන දායකත්වය ලබා දෙනවා. සුදර්ශන් කියන්නේ දෙමළ සිනමාවේත් ශ්‍රී ලාංකේය සිනමාවෙත් නිතර දකින චරිතයක්. ඉතින් ඔහු නිසයි මේ අවස්ථාව මට ලැබුණේ.

 

දමිළ චිත්‍රපටයකට සම්බන්ධ වීම අභියෝගයක් නෙවෙයි ද?

භාෂාව නිසා ඇත්තටම ලොකු අභියෝගයක්. හැමෝම දමිළ භාෂාව කතා කරන අය. මම විතරයි එතැන සිංහල කතා කරන කෙනෙක්ට ඉන්නේ. එතෙන ඉන්නවා භාෂාව ට්‍රාන්ස්ලේට් කරන අය නිසා රූගත කිරීම්වලදී ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. දැනටම රූගත කිරීම් භාගයක් පමණ අවසන් වෙලයි තියෙන්නේ. හැමෝගෙම සහයෝගයෙන් මේ වැඩේ ලස්සනට කරගෙන යනවා. ඉතින් ඉස්සරහට වෙනස්ම විදිහේ නිර්මාණයක් අපේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න ලැබේවි.

 

ලලයි ලිලයි ලයි ටෙලි අත්දැකීම කොහොම ද?

ලලයි ලිලයි ලයි" season 01 පසුගියදා අවසන් වුණා. කොටස් 98ක් පුරාවටම නාට්‍යයත් එක්ක ආදරයෙන් එකතු වෙලා හිටපු සියලුම දෙනාට ගොඩක් ස්තුතියි. විශේෂයෙන්ම සුපුන් රත්නායක මහත්මයාට ගොඩක් ස්තුතියි මිලාගෙ චරිතය ගොඩනගලා එයාට පණ දෙන්න මට අවස්ථාවක් ලබා දුන්නාට. රසික සුරවීරආරච්චි මහත්මයාටත් ගොඩාක් ස්තුතියි ලලයි ලිලයි ලයි නාට්‍යය ලස්සනට තිර රචනය කරාට. ඒ වගේම ආදරයෙන් මතක් කරනවා ෆර්නි අක්කා, රන්දික අයියා, උමා අක්කා, දීපානි ආන්ටි, ලාල් අංකල්, නිරෝෂන් අයියා, සේමිනි අක්කා, ඩයස් අයියා, අාශා අක්කා, දුලාන්, සංජය, වොල්ගා අක්කා, තීක්ෂණ අයියා සහ මන්රුචි අයියා. ගොඩක් ආසාවෙන් ඒ හැමෝම එක්ක එක පවුලක් වගේ වැඩ කරා. ඒ වගේම මේ නාට්‍යය ලස්සන කරන්න තිරය පිටුපස ගොඩක් වෙහෙස මහන්සි වෙච්ච කැමරා අධ්‍යක්ෂ සිට සියලුම කාර්මික ශිල්පීන්ව විශේෂයෙන්ම මතක් කරනවා.

 

මිලාට ලැබුණ ප්‍රේක්ෂක ප්‍රතිචාර?

මම හිතන්නේ මම රංගන දායකත්වය ලබා දුන් ටෙලි නාට්‍යවලින් මිලාටත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ලොකු පොඩි වයස් භේදයක්

නැතුව මිලාට කවුරුත් ආදරෙයි. මම ඒ ටෙලියට සම්බන්ධ වුණේ ටිකක් පහුවෙලයි.

එතකොට කොටස් ගණනාවක්ම විකාශය වෙලයි

තිබුණේ. ඉතින් සුළු කොටස් ප්‍රමාණයකට සම්බන්ධ වෙලයි මේ ප්‍රේක්ෂක ආදරය ලබා ගත්තේ. ප්‍රේක්ෂකයන් වගේම මාත් මිලා කියන චරිතයට හරි ආදරෙයි

ලලයි ලිලයි ලයි season 02 පටන් අරගෙන තියෙන්නේ. ඒකත් හැමෝම ආදරයෙන් වැලඳගනිවී කියලා මම හිතනවා. එතකොට ITN නාළිකාවේ විකාශයවන ආයාචනා

ටෙලියේ එලීනාගේ චරිතයටත් රංගන දායකත්වය ලබා දෙනවා. ඒක නීතිඥවරියකගේ චරිතයක්.

 

මිෂෙල්ගේ දෙවැනි කෘතියත් දොරට වඩින්න ළඟයි කියලා ආරංචියි...

ඔව්. බොහෝ දුරට මගේ දෙවැනි කෘතිය අගෝස්තු මාසයේදී එළිදක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. එය මගේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක් වන ඇන්ටනෙට් පෙරේරා මහත්මිය, විශේෂඥ වෛද්‍ය පරාක්‍රම වර්ණසූරිය මහතා, තිළිණ ධනුෂ්ක අබේවික්‍රම සමඟ කරපු ගවේෂණයක් සහ මගේ පෞද්ගලික අත්දැකීම් එකතුවක්. 'සමාජ අදෘශ්‍යමානතාව මිථ්‍යාවක් නොව එය පවතින්නක්' යනුවෙන් නම් කළ මගේ පළමු පොත මම එළිදැක්වූයේ 2019 වසරේ. මේ පොත ජාත්‍යන්තර වශයෙන් තමයි එළිදැක්වූයේ. ඒකට 2019 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණ ලෝක තරුණ සමුළුවේ නැෂනල් යූත් අයිකොන් අවෝර්ඩ් 2019 (ජාතික තරුණ සම්මානය) හිමිවුණා.

රංගනය, ලේඛනය පැත්තෙන් විතරක් නෙවෙයි මි‍ෙෂල් කියන්නේ සමාජීය සේවාවෙනුත් දෙයක් කරපු කෙනෙක්. ඉතින් මිෂෙල් ඒ වැඩකටයුතු දැන් කොහොම ද?

ඒ කටයුතු ඒ විදිහටම කරගෙන යනවා. මම දිවුලපිටිය ප්‍රදේශයේ හදපු වැඩිහිටි ප්‍රජා මධ්‍යස්ථානයක කටයුතු ඒ විදිහටම කරගෙන යනවා. එතකොට නොමිලේ දරුවන්ට උගන්වන එක.. එයාලට පොත්පත් ලබා දෙන එක ඒ දේවල් තාමත් කරගෙන යනවා. මේකට දැනට මම රංගනයෙන් උපයාගත් මුදලින් සියයට හැටක් සහ මගේ පොතෙන් ලැබෙන සියලුම ආදායම වැය කරනවා.

ඊට අමතරව පරිසරය ආශ්‍රිතව ව්‍යාපෘති කිහිපයක් භාරගත්තා. මම සොබාදහමට ආදරය කරන කෙනෙක්. ඉතින් පරිසරය රැකගන්න මම ඕනෙම දෙයක් කරන්න සූදානම්.