වර්ෂ 2025 ක්වූ January 20 වැනිදා Monday
සමනළ අඩවියේ අසිරිමත් කතන්දර" දරුවන්ටත් වැදගත් වේවි
සමනල අඩවියේ අසිරිමත් කතන්දර උපාලි සමරසිංහයන්ගේ නවතම කෘතියයි. සිළුමිණ විශේෂාංග කතුවරයකු වශයෙන් හා නියෝජ්‍ය කතුවරයකු වශයෙන් සේවය කළ එතුමන්ගේ කෘතිවල ළගන්නා සුළු ලක්ෂණයන් ඇත. ලංකාවේ ප්‍රසිද්ධ ඓතිහාසික ප්‍රදේශයක් වන සමනල අඩවිය ගැන ලියා ඇති මේ කෘතිය ලංකාවේ ජනශ්රැති සාහිත්‍යයට එක් වූ නවතම කෘතිය ලෙස සැලකිය හැකියි.
තම නවතම කෘතිය ගැන උපාලි සමරසිංහයන් තරුණී හා කළ කතා බහය මේ.
සමනල අඩවියේ අසිරිමත් කතන්දර කෘතිය ඔබේ අතින් රචනා වන්නට විශේෂ හේතුවක් තිබුණාද?
ඔව්. අසිරිමත් ශ්‍රී පාදය පිළිබඳ නොයෙකුත් පොත්පත් ලියැවී ඇත. එහෙත් ශ්‍රී පාද ඉතිහාසය ගැන තොරතුරු සොයන්නකුට සොයාගත නොහැකි ජනකතා හා ජනශ්රැති ඉතිහාසයක් තිබේ. සිරිපා වනයේ වෙසෙන යෝගාවචරයන් වහන්සේලා මිනිස් ඇසට හසු නොවී එහි ගත කරන අල්පේච්ඡ ජීවිතය මම සියැසින් දුටුවා. එසේම අනාදිමත් කලක සිට පැවත එන මේ ජනශ්රැති ඉතිහාසය විද්‍යාත්මක නැතැයි කියා බැහැර කළ නොහැක්කකි.
කුතුහලය දනවන අපේ සිත භීතියෙන් හා ත්‍රාසයෙන් සසල කරවන අපූරු කතන්දර මේ මහා වනයේ ගිලී සැඟවී තියෙනවා. ඒවා සාමාන්‍ය ජනයා අතරට පත් කිරීමේ වෑයමකුයි මා දැරුවේ.
ඔබ මේ සඳහා යම්කිසි පර්යේෂණයක් සිදු කළාද?
පර්යේෂණ එකක් නෙමෙයි. පර්යේෂණ ගණනාවක්ම මා විසින් සිදු කළා. සමාජ මානව විද්‍යාවේ සමාජ කරුණ පිළිබඳ හැදෑරීම (Social Action) වෙනම සුවිශේෂී අගයක් ගන්නවා. යම් සමාජ සංසිද්ධියක් කෙරෙහි මානව හැසිරීම, සමාජ හැසිරීම නිරීක්ෂණය මෙහිදී අවධානයට පත්වෙනවා. එබැවින් සමනල අඩවියේ ඇවිද යාම (සහභාගිත්ව නිරීක්ෂණය) මා විසින් සිදු කිරීමෙන් අනතුරුවයි මෙම කෘතිය රචනා කළේ.
කෘතියෙහි අන්තර්ගතය ගැන කෙටි සඳහන් කිරීමක් කරන්න.
බ්‍රිතාන්‍ය පාලකයන් අප රට ජනශ්රැතිය විද්‍යාත්මකව හදාරන්නට අප පෙළඹවීය. යටත් වූ විදේශ රටක් සාර්ථකව පාලනය කිරීමේදී එකී රටේ සංස්කෘතිය දැන සිටීමේ පාලනය පහසු කටයුත්තක් බවට පත්කරන්නේ යැයි බ්‍රිතාන්‍ය පාලකයෝ විශ්වාස කළා. මෙරට පාලනයට පැමිණි ඇතැම් බ්‍රිතාන්‍ය ජාතිකයෝ විද්වත්හු. ඔවුහු ජනශ්රැතිය එකතු කළෙත් අන් කිසිවකට නොව අපේ රට, මිනිස්සු හා සංස්කෘතිය දැන හඳුනා ගැනීමට ඔවුන් තුළ තිබූ කුතුහලය නිසාමය. එවන් අවබෝධයක් මත සිට පාලනය මෙහෙයවීම වඩා සුඛනම්‍ය කාර්යයක් යැයි ඔවුන් සිතන්නට ඇත. ජනශ්රැතිය ගැන පැහැදිලි කිරීමට මානව විද්‍යාඥයන් ඉදිරිපත් කළ නිර්වචන අපමණය.
එකී නිර්වචන සියල්ල සම්පිඩනය කරගත් විට ජනශ්රැතිය යනු මුඛ පරම්පරා ගතව කලක් තිස්සේ පැවත එන සාමූහික නැණ නුවණ යැයි පැවසීම වඩාත් නිවැරදි බව මහාචාර්ය නන්දසේන රත්නපාලයෝ පවසා තිබේ.
ශ්‍රී ලාංකේය බෞද්ධ ජන කොටස තුළ ඇත්තේ බෞද්ධාගමික පූජනීය හා වන්දනීය පුදබිම් ගැන සාමූහික විඤ්ඤාණයකි. බෞද්ධ ජන සමාජය තුළ පවතින පිළිගැනීම් එකඟතා හැඟීම් ආදිය පිළිබිඹු කරන්නේ මෙරට ජන සමාජයේ සාමූහික විඤ්ඤාණයකි. ජනශ්රැතියේ ප්‍රධාන අංශ අතර ජන කවි, ජන කතා වින්‍යාසයට ලැබෙනුයේ ප්රමුඛස්ථානයකි.
සමනල අඩවියේ හැසිරීමත් කතන්දර තුළ ඇතුළත්ව ඇත්තේ මුඛ පරම්පරා ගතව පැවත එන කතාය. ඒවා විමසා බලන විට සාමූහික ජන විඤ්ඤාණය වත්මන් පාඨකයාටද හඳුනාගත හැකියි.
ඔබ මීට පෙර වෙනත් කෘති ගණනාවක් රචනා කළ අයෙක්. එම කෘති කිහිපයක් සඳහන් කරන්න.
මම 1999 වසරේදී සමාජ හා මානව විද්‍යා කෘතියක් වන "නිවන් දොර පහන් සිළු" එළිදැක්වූවා.
ළමා සාහිත්‍ය කෘති අතර "නම කියන්න", "සිරි රහල් හිමි", " සිල්ගත් නයා" කෘති තුනත්," අලි ඇත්තු ද මනුසත්තු ද, මගේ අම්මා, ජීවිතය මෙහෙමයි, මහරජ ගැමුණු ජය මඟ ඔස්සේ, රටක් කැළඹූ පුවතක අලුත් කතාව, මහා සිංහලයේ මහා විජයබා, විශේෂාංගාලංකාරය, කොටුගොඩ ධම්මාවාස මහා නායක හාමුදුරුවෝ, අපේ තාත්තා" කෘති ඒ අතර වෙනවා.
සමනල අඩවියේ අසිරිමත් කතන්දර කෘතිය ඇගයීමට ලක්වූ අවස්ථා තිබේද?
ඔව්. මෙම කෘතිය ජාතික පුස්තකාල සේවා මණ්ඩලය මඟින් පාසල් පුස්තකාල සඳහා නිර්දේශිත කෘතියක් ලෙස පත්කළා. එය මට නිහතමානී සතුටක් ගෙන එන කරුණක්.
ඔබේ අම්මා කෘතියත් ඇගයීමට ලක්වූවා නේද?
2012 වසරේ අම්මා කෘතිය සඳහා ආසියානු මාධ්‍ය සම්මානයෙන් මා පිදුම් ලැබුවා.
ඉදිරියේදී රචනා කරන්නට බලාපොරොත්තු වෙන කෘති මොනවාද?
සමනල අඩවියේ අසිරිමත් කතන්දර කෘතිය වගේම පර්යේෂණාත්මක කෘතියක් මා අතින් රචනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රුවන්වැලි සෑයේ ආශ්චර්ය ගැන ලියවෙන පුරාවෘත්ත කෘතියකි.