සිනමා නුබ ගැබ හැඩ කළ ආකාස කුසුම නිම්මි හරස්ගම

ජූලි 21, 2025

ලාංකේය සිනමාව තුළ 90 දශකයෙන් පසු බිහි වූ තරුණ නිළියන් අතර සීමිත චිත්‍රපට කිහිපයක උපරිම ලෙස රංගනයෙන් දායක වූ නිළියක ලෙස නිම්මි හරස්ගම කැපී පෙනෙයි. ඇය පළමුවරට අපට මුණ ගැසෙන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඉර මැදියම‘ චිත්‍රපටයේ චමරි ලෙසිනි.


උතුරු නැඟෙනහිර යුධ සමයේ, අතුරුදන් වූ සිය පෙම්වතා සොයා ජනමාධ්‍යවේදියකු සමඟ නැඟෙනහිරට ගොස් අපේක්ෂාභංගත්වයෙන් හිස් අතින් ආපසු පැමිණ නැවතත් සිය අපේක්ෂා ජයගනු වස් නොපසුබට උත්සාහයක යෙදෙන තරුණියක ලෙස අපූරු රංගනයකට එක් වූ නිම්මි වඩාත් පුළුල් ලෙස ස්වකීය භාව ප්‍රකාශනයන් කුළු ගැන්වූ රංගනයක යෙදෙන්නේ ප්‍රසන්න විතානගේ විසින්ම අධ්‍යක්ෂණය කරනු ලැබූ ‘අාකාස කුසුම්‘ චිත්‍රපටයෙනි. එහි සන්ධ්‍යා රාණි නමැති වියපත් ප්‍රකට නිළියකගේ දියණිය, ප්‍රියා ලෙස නිම්මිට නිරූපණය කරන්නට සිදුවූයේ සියුම් මෙන්ම අභියෝගාත්මක චරිතයකි.

‘ආකාස කුසුම්‘ චිත්‍රපටයට අනුව සන්ධ්‍යා රාණිට ස්වකීය කීර්තිමත් නිළි ජීවිතය ජය ගන්නට පෞද්ගලික ජීවිතය පවා සිනමාව වෙනුවෙන් කැපවන්නට සිදුවූයෙන්, ඇය තම කුස හොත් සිය දියණිය මඟ හැරිණි. කාලයාගේ ඇවෑමෙන් ඒ දියණිය සුරූපී තරුණියක ලෙස හැදී වැඩි සන්ධ්‍යා රාණි සොයා යන්නේ තමා අමතක කළ මවට වෛර කරන, ද්වේශ කරන කිසියම් ප්‍රචණ්ඩකාරී තරුණියක ලෙසය. එහිදී කුඩා කල මව තමා නොතකා හැරීමෙන් ලත් චිත්ත පීඩාව විසින් මෙහෙය වනු ලැබූ මානසික තත්ත්වය මත ක්‍රියා කරන ප්‍රියාගේ ඒ සංකීර්ණ මානසිකත්වය එළියට දැමීම නිම්මි හරස්ගමට පැවැරුණු වගකීම විය. ඒ වගකීම් මනාව තේරුම් ගනිමින් ඇගේ චිත්ත පීඩාවන් එළියට දැමීම සඳහා ඒ චරිතයේ අභ්‍යන්තරයේ පතුලටම කිදා ගිය අයුරු ‘ආකාස කුසුම්‘ චිත්‍රපටයේ නිම්මි හරස්ගමගෙ සමස්ත රංගනය තුළින් පැහැදිලි වෙයි.

එකී රංගනයෙහිලා නිම්මි හරස්ගම සතු තියුණු දෑස ප්‍රියාගේ චරිතයේ අභ්‍යන්තර සන්නිවේදනයන් මුදා හැරීමේ උල්පත් සේ ක්‍රියාකරනු ආකාරය ඇගේ සමස්ත රංගනය තුළින්ම දිස් වෙයි. ඒ දෑසේ තියුණු බැල්ම කෙනෙකු දවා අළු කළ හැකි තරම් තියුණුය. ප්‍රබලය.

දිනක් උදෑසන අවදිවන සන්ධ්‍යා රාණිගේ ඇස ගැසෙන්නේ තම නි‍ෙවස පිටුපස තබා ඇති පාර්සලයකි. එය අතට ගන්නට සැරසෙද්දී ඇයගේ ඇස ගැසෙන්නේ වේගයෙන් අත් පසුපසට දම දමා ඉදිරියට ඇදෙන සිහින් තරුණියකි. සන්ධ්‍යා රාණි ‘කවුද?‘ යනුවෙන් අසද්දී ඇය මඳක් නැවතී හැරී බලා කිසිවක් කියා ආපසු ත්‍රීවිලයක නැඟී කඩිනමින්ම යන්නට යයි.

සන්ධ්‍යා රාණි පාර්සලය අතට ගෙන පිටු පෙරළයි. එය ඇය භද්‍ර යෞවනයේ දී කළ කීර්තිමත් සිනමා රංගනයේ විචිත්‍රවත් දර්ශන සහිත ඡායාරූප කපා ඇල වූ ඇල්බමයකි. එය දැක ඇය තුෂ්ණිම්භූත වෙයි. මේ පැමිණියේ තම දියණිය බව පසක් වෙද්දී ඇයට කිසිිවක් කරකියා ගත නොහැකි වෙයි.


අනතුරුව ප්‍රියා තම මවට දුරකතන ඇමැතුමක් දෙමින් කටහඬ අවදි කරයි.

‘සන්ධ්‍යා රාණි!‘

‘ඔව්‘ පිළිතුර මවගෙනි.

‘ඔය පින්තූර කපලා එකතු කළේ තාත්තා.
හිතුවද මං කියලා.

‘තාත්තා මැරුණාමයි මට ඕක හම්බවුණේ.‘
‘තාත්තා මැරුණ නෙවි මරා ගත්තා.‘

‘ඔහේට මාව මරාගන්න බැරි වුණා.‘

‘ඔහේ පොලීසියට කිව්ව නේද මුුළු ලංකාවම දන්නවා ඔහේ කසාද බැඳල නෑ කියලා.‘

‘ඒ වුණාට මං ජීවත් වෙනවා.‘

‘බය වෙන්න එපා මට ඔහෙගෙන් මුකුත් ඕනේ නෑ.‘

‘ඔහේට මුකුත් කියන්න තියෙනවාද?‘

තම දියණිය එසේ එක දිගට කියවාගෙන යද්දී සන්ධ්‍යා රාණි රිසීවරය කන තබාගෙන සිිටිනවා හැර කිසිවක් නොකියයි. ඇය නිරුත්තරය! මෙය මවක මුහුණ දෙන බිහිසුණුම ශෝචනී‍යම මොහොතකි. ප්‍රේක්ෂකයා කම්පා කරවන, ඔහුගේ ඇසට කඳුළක් නංවන සුළු මේ මොහොත ප්‍රතිනිර්මාණය කිරීමට නිම්ම මෙන්ම මාලිනී ද පෑ පෙළහර විශිෂ්ටය.

අනතුරුව ඇමැතුම විසන්ධි කරන ප්‍රියා ඉකි ගසමින් වහා උඩු මහලයේ තාප්පයකට හේත්තු වී හිස් අහස දෙස බලා හිඳී. නිල්වන් අහසේ සුුදුවන් වලා ඇදෙනු ඇගේ දෑසට යොමු වෙයි.

මේ දියණියක විසින්, තමා මඟ හැර ගිය මවට දුන් ඉහළම දඬුවමකි. මේ දඬුවම හමුවේ සන්ධ්‍යා රාණි හදවතින් හඬා වැලපෙද්දි ප්‍රියා ද තම ආත්මානුකම්පාව මුසු කෝපය මුදාහැරීමෙන් කම්පාවට පත්ව සිටී. මව මෙන්ම මවට රිදවූ දියණියගේ චිත්ත ස්වභාවයේ සාධාරණත්වය දෙදෙනාගේ භාව ප්‍රකාශන ඔස්සේ අධ්‍යක්ෂවරයා අපූරුවට ගෙනහැර දක්වයි.

ප්‍රියා තම මව සමඟ දුරකතනයෙන් කතා කිරීමේදී මෙන්ම ඇය ඇස ගැසෙද්දී එකී දෑස සහිත ඇයගේ මුහුණේ නැගෙන හැම ඉඟියකින්ම මව කෙරෙහි පැසව පැසවා වැඩෙන වෛරයේ කිරණ විහිදුවන්නා සේය.

වරක් සන්ධ්‍යා රාණි සිය දියණිය හමුවන්නට ඇය සේවය කරන රාත්‍රී සමාජ ශාලාවට පැමිණෙයි. ඒ අවස්ථාවේදී ප්‍රියා සිටියේ කැරොකේ ශාලාවේ බීමත් පුරුෂයකු සමඟ එකට වාඩි වී මත්පැන් වීදුරුවක් තොල ගාමිනි.
කැරොකේ ශාලාවේ නැටුමට එක්වුවන් අතරින් තමා දෙස එබී බලන එන මව දැකීමෙන් ප්‍රියා තුළ වහා හටගන්නේ කෝපයකි. ද්වේශයකි. ඒ මොහොතේ ඇය ඒ කෝපය, ද්වේශය වහා පිට කරන්නේ මව දැඩි අපහසුතාවකට ලක් කරවමිනි. ඇය දෑසින් ගිනි පුපුරු විහිදුවන්නාක් මෙන් මව දෙස ඔරවා බලා වහා අනෙක් පස හැරී බීමත් පුරුෂයා වැලඳගෙන ඔහුගේ තොල් බලෙන් සිප ගනී.

ඒ දුටු සැනින් සන්ධ්‍යා ද රාණි විදුලි එළියක වේගයෙන් වහා ආපසු හැරෙන්නේ දියණියකගේ ඒ ක්‍රියාව මවක ලෙස දරා ගත නොහැකිවය. එය ‘අාකාස කුසුම්‘ චිත්‍රපටයේ සන්ධ්‍යා රාණි ලෙස චරිත නිරූපණය කළ මාලිනී ‍ෙෆාන්සේකාගේ රංගනයේ විශිෂ්ටතම අවස්ථාවක් වන අතර එකී රංගනයට අවශ්‍ය අනුප්‍රාණය ලැබෙන්නේ ප්‍රියා ලෙස නිම්මි හරස්ගම දැක් වූ යථෝක්ත කුරිරු ප්‍රතිචාරයෙනි. මේ අවස්ථාව නිම්මිගේ මෙන්ම මාලිනීගේ භාව ප්‍රකාශන චිත්‍රපටයේම ඉහළින්ම ඉස්මතු වූ බව විචාරකයන්ගේ අදහසයි.