වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නත්තලට නිවෙස සරසන්න
සීතල උඳුවප් මාසයේ ආරම්භයත් සමඟ ම නත්තල් අසිරි සිරියත් දසත පැතිරෙනවා. වෙනදාට මේ වනවිට විවිධාකාරයේ විසිතුරු බඩු භාණ්ඩවලින් කඩසාප්පු පිරී ඉතිරී යන අතර නත්තල් සාප්පු සවාරියත් ඇරැඹිලා. නමුත් කොරෝනා වසංගතය සමඟ සාප්පු සවාරියකට ඉඩකඩ ඇහිරිලා විතරක් නෙමෙයි වෙනදා තරම් කලඑළියත් නැහැ.
නමුත් පුංචි පැටවුන්ට නම් මේ වසංගත කාලයක් කියලා තේරුමක් නැහැ. එයාලා හැමදාමත් වාගේ මෙදාපාරත් නත්තල් සැරසිලි, තෑගිබෝග, රසවත් කෑම බීම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මවක් වුණු ඔබ ඒ පුංචි සිත් සනසන්න මොනවා හෝ කළ යුතුමයි.
ඉතින් හැමදාමත් කඩෙන් මිලදී ගන්නා රසකැවිලි, විවිධ නිර්මාණ, තෑගිබෝග වෙනුවට මෙවර නිවෙසේදී ම ඒවා සකසා ගැනීමට උනන්දු වුවහොත් පුංචි හිත් වඩාත් සතුටු වේවි.
බලන්න මේ නිර්මාණ දෙස. පොඩි උත්සාහයක් ගතහොත් ඔබට ම සකස් කරගන්න පුළුවනි නේද ? විවිධ හැඩරුව සහිත වීදුරු බඳුන්, පාට පාට ඉටිපන්දම්, වර්ණවත් රිබන්, වියළි මල් කොළ, වර්ණ ගන්වාගත් වියළි ෆයිනස් ගෙඩි, පාට පාට ලොකු කුඩා පබළු ආදියට අමතරව හණ නූල්, ඉවත දමන වර්ණවත් රෙදි කැබැලි මෙන්ම නිවෙසේ ඇති කුඩා කුඩා විසිතුරු ද්රව්යත් මේ සඳහා යොදා ගන්න පුළුවනි.
මේ දිනවල තරමක කාල වේලාවත් තියෙන නිසා නිවෙසට වෙලා සිටින ඔබ පුංචි පැටවුනුත් වටකරගෙන මේ වගේ අලංකාර නිර්මාණ කළහොත් කඩෙන් මිලදී ගන්නවාට වඩා සුන්දර නිර්මාණ ගොන්නක් එකතු වේවි. ඒ වගේම මුදලකුත් ඉතිරිවේවි. පවුලේ සැවොම එක්වී සමරන නත්තල වඩාත් ලස්සන වේවි.
ඡායාරූප - අන්තර්ජාලයෙනි