වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
නිවෙසේ කුණු ප්‍රශ්නයට සරලම පිළිතුරක්
“ඉන්න හිතෙන රටක්” මේ වචන පෙළ පසුගිය කාලය පුරාම කාගෙත් මුවඟ රැඳුණු වචන පෙළක්. ඉන්න හිතෙන රටක් ගැන අප කතා කළත් අපේ රට දැන් එවැනි රටක් ද යන්න බොහෝ දෙනකු අතර මතභේදයට බඳුන් වූ මාතෘකාවකි.
එහෙත් පසුගියදා අප රටේ සිදුවූ දේශපාලන පෙරළියත් සමඟ නැවතත් ඉන්න හිතෙන රටක් ගැන අප අතර බලාපොරොත්තුවක් දැල්වී තිබෙනවා.
හැබැයි එවැනි රටක් හදන්න පුළුවන් වෙන්නේ අපේ ආකල්ප හා චර්යා රටාවන් වෙනස් වුණොත් විතරයි. එයට කදිම උදාහරණයක් තමයි කසළ කළමනාකරණය. ලොව පිසූ ආහාර අපතේ යවන රටවල් අතර ලංකාව ඉදිරියෙන්ම සිටින බව පසුගිය කාලයේ කළ අන්තර්ජාතික සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඒ අතුරින් බස්නාහිර පළාත තුළ සක්‍රිය මට්ටමේ ඇති කුණු කඳු විසි එකකට නාගරික නිවාස හා ජනාවාසවලින් දිනකට පරිසරයට මුදා හරින ඉඳුල් අපද්‍රව්‍ය ප්‍රමාණය මෙට්‍රික් ටොන් පන්සීයක් හයසීයක් වන බව වාර්තා වී තිබෙනවා. මේ තරම් ඉඳුල් අපද්‍රව්‍ය ප්‍රමාණයක් දිනකට ඉවත් වන්නේ ඇයි? මෙය බස්නාහිර පළාතට පමණක් නොවෙයි මුළු රටටම ප්‍රශ්නයක්. සැබැවින්ම මේ තරම් ඉඳුල් අපද්‍රව්‍ය පරිසරයට එක් වන්නේ කුමන හේතුවක් නිසා දැයි ගෘහණියක් ලෙස තම හදවතට කතා කළ යුතු පැනයක්. මේ පැනයට විසඳුමක්වත් නැද්ද.... අප මේ ගැන විමසුවේ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතාගෙනි. ඔහු තරුණී ට සඳහන් කළ එම තොරතුරු හා හෙළිදරව්ව කාලීන වශයෙන් සෑම ගෘහණියකටම වටිනා පණිවුඩයක්.
“නාගරික අපද්‍රව්‍ය කියන්නේ එක් පුද්ගලයකුගේ හෝ එක් ආයතනයක ප්‍රශ්නයක් නොවෙයි. අපද්‍රව්‍ය කළමනාකරණයේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ ප්‍රජාව අපද්‍රව්‍ය කළමනාකරණයට කොයිතරම් දුරකට පෞද්ගලිකව දායක වෙනවාද යන ගැටලුවයි. අප බොහෝවිට ජනමාධ්‍ය තුළින් දකින්නේ අපද්‍රව්‍ය ගැන ඇතිවන ගැටලුවේදී ඒ ගැන සිහි කැඳවීම කරන්නේ අදාළ ආයතනවලට. නගර සභාවට, ප්‍රාදේශීය සභාවට හෝ පළාත් සභාවට මේ ගැන සිහි කැඳවීම නිරතුරුවම මාධ්‍ය මගින් සිදුවන දෙයක්. නමුත් ප්‍රජාවට මේ ගැන දැනුවත් කිරීම සාධනීය වශයෙන් අඩුවක් පෙනෙන්නට තිබෙනවා.
පරිසරයට මුලින්ම අපද්‍රව්‍ය ජනනයවීම සිදු වන්නේ ප්‍රජාව තුළින්. ඒ කියන්නේ නිවෙසින් තමයි මුලින්ම අපද්‍රව්‍ය පරිසරයට එක් කරන්නේ. ජල කරාමයක ජලය ගලාගෙන යෑමේදී එය අවසානයේදී වසා දැමීමෙන් කිසි පළක් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ කුණු කසළ ප්‍රශ්නයත්. පරිසරයට කසළ මුදා හැරීමෙන් පසු අවසානයේදී එය නැවත්වීමෙන් එයට විසඳුමක් සෙවිම අසීරුයි. මෙය චක්‍රීය ක්‍රියාදාමයක්. එයට ඔබගේ නිවෙස, පළාත් පාලන ආයතනය, කොම්පෝස් ව්‍යාපෘතිය ආදී සියලුම කොටස් සම්බන්ධයි.
ආසියානු රටවල මිනිසුන්ගේ ආර්ථික මට්ටම ඉහළ යෑමත් සමඟ පාරිභෝජනය වැඩි වෙනවා. ඒ සමඟම පරිසරයට මුදා හරින කුණු අපද්‍රව්‍ය ප්‍රමාණයත් එයට සාපේක්ෂව වැඩි වෙනවා. ආසියාතික රටක් ලෙස සෑම සංවිධානයක්ම මෙම ගැටලුවට විසඳුම් සෙවිය යුතුයි. මෙහිඳී කසල කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. එසේම පළාත් මට්ටමේ ක්‍රියාවලියක් පවතිනවා.
කසළ කළමනාකරණයේ සරලම සිද්ධාන්තය තමයි 3R සංකල්පය. Reduce (අවම කිරීම), Re use ( (නැවත භාවිතය), Recycale (ප්රතිචක්රීයකරණය). කුටුම්බයක මේ සංකල්පය ක්‍රියාත්මක කිරීම තුළින් මේ කසල ප්රශ්නය ඉතාම පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට පුළුවන්. අපේ ගෙදර තිබෙන කුණු කසල ප්‍රමාණය අවමකර ගැනීමට පුළුවන් නම්, අප පාවිච්චි කරන යම් යම් ද්‍රව්‍ය නැවත භාවිතයට ගතහැකි නම් හෝ ඒවා නැවත කොම්පෝස්ට් ලෙස ප්‍රයෝජනයට ගත හැකි නම් කසළ ප්‍රශ්නයට විසඳුම ඉබේම ලැබෙනවා.
ඉඳුල් අපද්‍රව්‍ය
අපද්‍රව්‍ය ප්‍රමාණයේ වැඩිම ප්‍රතිශතයක් තිබෙන්නේ ඉඳුල් අපද්‍රව්‍යයයි. එසේම දිරන අපද්‍රව්‍ය හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආදිය තිබෙනවා. මෙයින් 20% තරම් ප්‍රමාණයක් විතරයි අපට ප්‍රයෝජනයට ගත නොහැකි මට්ටමේ පවතින්නේ. 80% ක ප්‍රමාණයක්ම සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ගෙදර වැඩිම අපද්‍රව්‍ය ප්‍රමාණයක් (50% ක්ම) තිබෙන්නේ පිසූ ආහාරයි. බස්නාහිර පළාතේ පළාත් පාලන 49 න් දවසකට මෙට්‍රික් ටොන් 2100 ක ප්‍රමාණයක් අපද්‍රව්‍ය බැහැර කරනවා. එයින් මෙට්‍රික් ටොන් 900 ක ප්‍රමාණයක් තිබෙන්නේ පිසූ ආහාර අපද්‍රව්‍යයි. මේ තරම් ප්‍රමාණයක් පිසූ ආහාර අප ඉවත් කිරීමේ ප්‍රධානම ගැටලුව ආහාර කළමනාකරණය නොකිරීමයි. අප වගේ ඝර්ම කලාපීය රටවල පවතින උෂ්ණත්වය වැඩි නිසා පැය කිහිපයකින් ආහාර නරක්වීම සිදු වෙනවා. එයින් දුඟද හමනවා. ඒ නිසා පිසූ ආහාර අපද්‍රව්‍ය ලෙස ඉවතට විසි කිරීම අවම කර ගැනිමට හැකි නම් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනවා.
උදාහරණයක් ලෙස ගෙදරක සිටින සාමාජිකයන් සංඛ්‍යාව හතරක් නම් ඒ ප්‍රමාණයට ආහාර පිසීම නිවැරැදිව කළමනාකරණය කර ගැනීමට ගෘහණියක් බුද්ධිමත් විය යුතුයි. අප උදේ පිසූ ආහාර දවල්ට ගන්නේ නැහැ. අපේ පැරැණි ගෙවල්වල කිසිම දෙයක් ඉවත් කළේ නැහැනේ. ඉතුරු බත් ටික වේලාගෙන අග්ගලා හදනවා. කෑම ටික සතෙකුට දෙනවා. මේ වගේ නිවැරැදි කළමනාකරණයක් සිද්ධ වුණා. නමුත් අද අපෙන් ඒ සියල්ල ඈත්වීම නිසයි මේ සියලු ගැටලු නිර්මාණය වෙලා තිබෙන්නේ.
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය
කළමනාකරණ අධිකාරියේ
අධ්යක්ෂ නලින් මාන්නප්පෙරුම
2019/12/11 තරුණි බලන්න