දවසේ වෙහෙස නිවාලන්නට පාවෙන නිදන ඇඳක්

මාර්තු 28, 2022

 

තමන්ගෙම සිහින නිවහනක හිමිකාරත්වය හැමෝගෙම අවිහිංසක බලාපොරොත්තුවක්. අපි කතාවට වගේ කියන්නේ වැටිලා ඉන්න තැනක් හදාගන්න ඕන කියලා. ඉතිං මේ සිහින නිවහනේ ගත කරන සුවපහසු ජීවිතයේ දී වටිනාම අංගය වෙන්නේ නිදන ඇඳ.

 

දවසේ හෝරා ගණනාවක් කාර්යබහුලව ගතකරලා සනීපදායි නින්දකට යන්නයි හැමෝම හිතන්නේ. නිදන ඇඳ, මෙට්ටය, නිදන කාමරය කලබලකාරී වටපිටාවකින් තොර තැනක් නම් මේ සනීපදායි නින්දට කිසිම බාධාවක් එල්ල නොවේවි.

බොහෝ විට නිදන ඇඳක් නිම කරන්නේ ලීයෙන්. තම තමන්ගේ ආර්ථික මට්ටම් අනුව නොයෙකුත් වටිනාකම්වලින් යුත් ලීවලින් තනන ඇඳ පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුයි.

නවීන පන්නයේ නිවෙසක් තනද්දී මාස්ටර් බෙඩ්රූම් එකට සුවිශේෂී ඉඩකඩක් වෙන්වෙනවා. කාමර 2, 3, 4... මේ ආදී වශයෙන් තිබුණත් නිවෙසක මාස්ටර් බෙඩ්රූම් යනුවෙන් හඳුන්වන්නේ එක් කාමරයක් පමණයි.

ඇඳ, අල්මාරිය, කණ්ණාඩි මේසය... ලෙස බෙඩ්රූම් සෙට් එකක් පැමිණියත් මාස්ටර් බෙඩ්රූම් එකේ නිදන ඇඳ, පොතක් පතක් කියැවීමට සුවපහසු පුටුවක් ආදිය පමණක් තබා අල්මාරිය, කණ්ණාඩි මේසය තැබීමට ඊට යාබදව Wardrobe එකක් නිර්මාණය කෙරෙනවා.

විසිත්ත කාමරයේ ලීබඩු ගළපා ගත්තා මෙන් නිදන කාමරයේ ඇඳ ඇතුළු අනෙකුත් අංගෝපාංග ගළපා ගනිද්දී සිවිලිම, පොළොව, දොර, ජනෙල් සඳහා ඇති වර්ණයන් පිළිබඳත් සිතිය යුතුයි. පොළොව ලීයෙන් නිම කර ඇත්නම් ඇඳේ ලීයේ වර්ණය පොළොවේ වර්ණයට වඩා තද පැහැ හෝ ළා පැහැයක් ගත යුතුයි. ජනෙල්, දොරවල්වල ලීයත් මෙලෙසම ගළපා ගත යුතුයි.

Floating bed

නිදන ඇඳක අලුත්ම විලාසිතාව වෙන්නේ Floating bed. මෙය නිමවෙන්නේ මේ අන්දමටයි. ඇඳක ප්‍රමාණය 6x6ක් නම් ඇතුලේ 4x4 වැනි ප්‍රමාණයක රාමුවක් සාදා ගන්නවා. ඇඳේ කකුල් වෙනුවට ඇත්තේ මේ 4x4 රාමුවයි. ඇඳේ මෙට්ටය තබන කොටස වන්නේ 6x6 ප්‍රමාණයේ රාමුවක්. මේ ලී රාමුව කලින් සකස් කරගත් 4x4 කොටස උඩින් තබා ඊට උඩින් මෙට්ටය තබනවා. දැන් මේ ඇඳ දිස්වන්නේ පාවෙන ස්වරූපයෙන්.

ඇඳක් යනු සාමාන්‍යයෙන් කකුල් හතරකින් ඇඳ විට්ටමකින් යුතු එකකි. මේ කකුල් සඳහා සම්මත උසක් පවතී. එහෙත් විවිධ උසින් යුතු කකුල් ඇති ඇඳන් දැකිය හැකියි. ඇඳ විට්ටම සාමාන්‍ය පරිදිත් කැටයම් යොදාත් සකසයි. කැටයම්වලින් එක්වන්නේ ගාම්භීර බවකි. මීට අමතරව මීට දශක ගණනාවකට පෙර තිබූ වියන් ඇඳ ද අදත් දක්නට ලැබේ. ඇඳ විට්ටම එහෙමත් නැත්නම් Bed head එක කුෂන් එකකින් කරන්නත් පුළුවන්. මේ බෙඩ් හෙඩ් එක නොයෙකුත් රටාවන්ගෙන් නිර්මාණය කළ හැකියි. ඇඳේ ලීයෙන් දිස්වන රළු ගතිය මේ කුෂන් එකෙන් අවම වී දිස් වෙනවා.

අලුතින්ම තනන නිවෙසක් වේවා, තිබෙන නිවෙස අලුත්වැඩියා කරද්දී වේවා නිදන ඇඳ කල්තියා සැලසුම් කළ යුතුයි.

නිදන ඇඳට දමන මෙට්ටය වඩාත් සුව පහසු එකක් විය යුතුයි. මෙය බොහෝ විට බැස්සවිය හැකි ලෙසයි නිර්මාණය වන්නේ. මේ මෙට්ටය උසට තිබෙන තරමට පෙනුමත් ඉහළයි, පහසුවත් වැඩියි. මෙට්ටයේ උස ප්‍රමාණය අනුවයි, බෙඩ් හෙඩ් එක නිමවිය යුතු වන්නේ.

අතේ ඇති මුදලට මහා ලොකු මුදලක් නොදරා නවීන පෙනුමකින් යුතු නිදන කාමරයක්, නිදන ඇඳක් සකසා ගැනීමට අවශ්‍ය වන්නේ නිර්මාණශීලී සිතක් පමණයි. ගෘහ අභ්‍යන්තර අලංකරණයට අනුව මේවා ගළපා ගනිද්දී දිස්වන නිමාව, පෙනුම ඉතාම ඉහළයි.

 

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ නිර්මාණ ශිල්පිනි

ආචාර්ය දිලිනි හල්විටිගලගෙනි