මහල් නිවාසයකට ගැළපෙන ලෙස වගා කුලුනක් හදමු

අප්‍රේල් 18, 2022

 

 

පසුගිය කලාපයෙන් අපි කිව්වා වගා කුලුනක් හදන විදිහ විමසා බලමු කියලා. මෙය වඩාත් ගැළපෙන්නේ ඉතාම කුඩා ගෙවතු සහ මහල් නිවාස වලයි. විශේෂයෙන්ම නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල සංක්‍රමණික වාසීන්ට ඉතා හොඳින් ගැළපෙනවා.

 

කොහොම කළත් කවර වගාවකදී හෝ වේවා හිරු එළිය කියන්නේ අතිශය තීරණාත්මක සාධකයක්. අවිධිමත් මහල් නිවාස සැලසුම්වල ඉදිකිරීම් සමහරක් හිරු එළිය කියන තීරණාත්මක සාධකය ගැන කිසිදු අවධානයක් යොමුකර නැහැ. එහෙම තැන්වල නම් ඉතිං වගාව කියන එක හීනයක් විතරයි.

 

වගා කුලුනු නිර්මානය කිරීමේ ප්‍රශස්තම ක්‍රමය තමයි ධාරකය ලෙස (රඳවා තබනය) ලෙස පෝචිචියක් යොදා ගැනීම එයින් ලැබෙන විශාලතම වාසිය තමයි චලනය කිරීමේ හැකියාව. දැන් ඉතින් බලමු කොහොමද වගා කුලුනක් හදා ගන්නෙ කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

* අඩියක පමණ විෂ්කම්භය සහිත

පෝච්චියක්.

* අඩි 3 1/2ක් පමණ උස අඟලේ කොටු

දැලක් (මීටරයක් පළල)

* කොටු දැලේ උඩට දැමීමට කළු

පොලිතීන්

* බකට් කම්බි ග්‍රෑම් 100ක් පමණ

* අඩි 4ක් උස අඟල් 1 1/2 පීවීසී බටයක්

* කොහුබත්

* මතුපිට පස්

 

01. පෝච්චිය තුළට බැස්සවිය හැකි ආකාරයට කම්බි දැල බකට් කම්බි මඟින් රවුමට බැඳගන්න.

02. PVC බටය දිගට සර්පිලාකාරව කුඩා සිදුරු විදගන්න. (අඟල් 2 පරතරයට)

03. කොම්පෝස්ට් කොහුබත් සහ මතුපිට පස් සම ප්‍රමාණයට ගෙන මිශ්‍ර කරන්න.

04. PVCබටයේ එක කෙළවරක් එන්ඩ් කැප් එකකින් හෝ පොලිතීන් මඟින් ජලය කාන්දු නොවන සේ ආවරණය කරගන්න.

දැන් පෝචිචිය තුළට කම්බි දැල දමන්න‍. එතුළට කළු පොලිතීන් එක දමා උඩින් අඟල් හයක් පමණ පිටතට නමා බකට් කම්බියකින් වටේට බැම්මක් දමන්න. පොලිතීන් රවුමේ අඩියට අඟල් හයක් පමණ වැලි දමා, හරි මැදින් එන්ඩ් කැප් යෙදූ ‍අග්‍රය යටට සිටින සේ වැලි තට්ටුව තුළින් අඩියටම තද කළ යුතුයි.

PVC බටය මැදිවන සේ වටේට පස් මිශ්‍රණය දමා තරමක් තද කරන්න. මේ ආකාරයට පොලිතීන් රවුමේ උඩ මට්ටමට අඟලක ප්‍රමාණය දක්වා පොහොර පස් පුරවන්න. පිටත කම්බි දැල සහ මැද PVC බටය නිසා වගා කුලුනේ ස්ථාවර බව රඳවා ගන්න පුළුවන්.

දැන් අඩියක පමණ පරතරය සිටින සේ ත්‍රිකෝණාකාර සිදුරු දැල් කොටු මතින් කුලුන වටේටම යොදා (පොලිතිස් එක සිදුරු කර) පස් මඳක් ඇතුළට තද කරන්න.

රෝපණ ද්‍රව්‍ය ලෙස කංකුන්, මුකුණුවැන්න, ගොටුකොළ, නීරමුල්ලිය, අසමෝදගම්, කිරිහැන්ද, මිංචි ආදිය යොදා ගත හැකියි. එහිදී මුල් අද්දා ලැබූ රෝපණ ද්‍රව්‍යය පමණක් යොදා ගන්න. නිවිතිය කුලුනේ පහතින්ම සිටුවන්න. උඩම කොටසේ මාළු මිරිස්, මිරිස්, තක්කාලි ආදියෙන් පැළ තුනක් පමණ වගා කළ හැකියි.

වතුර යෙදීම කළ යුතු වන්නේ මැදින් සවිකළ PVC බටයටයි. එයට ජලය පිරවූ පසු සර්පිලාකාරව යෙදූ සිදුරු තුළින් කුලුනේ උඩ සිට පහළටම සමාන්තර ජල සැපයුමක් ලබා දීමට පුළුවන්.

මේ වගා කුලුන සඳලුතලයක තබනවා නම් දින දෙකකට පමණ වරක් හිරු එළිය නොලැබෙන දිශාව හිරු දෙසට හරවන්න. මෙබඳු කුලුනු තුනක් පමණ යොදා ගැනීමෙන් භෝග විවිධාංගීකරණය කිරීම පහසුවෙන් සිදු කර ගන්නට පුළුවන්.

බලන්න මොන තරම් සරල ක්‍රියාදාමයක් ද කියලා. වල් ගලවන්න, පෝර දාන්න අමතර වෙහෙසක් හෝ මුදලක් යන්නේ නැහැ. ඒ වගේම වස විසවලින් තොර ආහාරයක් අත ළඟම තිබෙනවා.