වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මහල් නිවාසයක බෝග වගා කළ හැකි විවිධ ක්‍රම
පසුගිය සතියේ සඳහන් කළා මතක ඇති '...ආදි අපේ මුතුමිත්තෝ - ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ...' යන සඳහන තිබුණා. ලෝකයේ හඳුනාගෙන ඇති ඉපැරැණිම ශිෂ්ඨාචාරය වන්නේ සුමේරියානුවන් බිහි කළ අධිරාජ්‍යය යි. මෙය ක්‍රිස්තු පූර්ව හයදහසත් - හාරදහසත් අතර කාලයේ ප්‍රභවය ලැබ ඇති බව සැලකේ. මොවුන් ලෝකයට අපරිමිත දැනුම් සම්භාරයක් දායාද කළ අතර, තාරකා ශාස්ත්‍රය ඉන් එකක් බව පෙන්වා දෙන්නට පුළුවන්.
නමුත් ඒ දැනුම හෙළයන් වන අපට අදාළ නැහැ. මක්නිසාදයත් සූර්ය වංශික 'රාවණ නිරිඳුන්' පිළිබඳ පුරාවෘත්තය අයත් වන්නේ ද ඉහත සඳහන් කාල පරාසටයම යි. රාවණ රජු ද ඉර, හඳ, තාරකාවලින් වැඩගත් අයෙකු බව රාවණ වෙදකම, ගොවිතැන පිළිබඳ විමසීමේදී හඳුනා ගන්නට පුළුවන්. පුරාණ සුමේරියානුවන් සේම ආදි හෙළයෝ ද බිම් සැකැසීම, බීජ රෝපණය, අස්වනු නෙළීම සහ පසු අස්වනු සංරක්ෂණය කළේ ද හිරු, සඳු තාරකා ආදියේ බලපෑම පිළිබද මනා අවබෝධයෙන් යුතුවයි. ඒ අනුව භෝග සිටුවීම වසරේ කාල දෙකකින් ක්‍රියාත්මක වුණා. එනම් 'මාර්තු - අප්‍රේල් සහ අගෝස්තු - සැප්තැම්බර්' මේ ගත වෙමින් පවතින්නේ භෝග වගාවට ප්‍රශස්ථ කාලවකවානුවක්. භෝගවල මුල් ඇදීම ඉතාම හොඳින් සිදුවනුයේ මෙම කාලයේදීයි.
දීප ව්‍යාප්ත ගෙවතු වගා සංකල්ප කරළියට පැමිණ දශක තුනකට වඩා නැහැ. ඉන් පෙර විධිමත් ලෙස ව්‍යාප්ත වූ කෘෂි ආර්ථිකයකට පදනම වැටුණේ හැත්තෑව දශකයේ මුල් කාර්තු තුනේදීයි. ඉන් පසුව කිසිදු වගා සංග්‍රාමයක් ඵලදායි වූයේ නැහැ. වර්තමානයේ සංකීර්ණ සමාජ ස්ථරයන් කිහිපයක් ස්ථාපිත වී තිබෙනවා. මෙය,
* ග්‍රාමීය
* අර්ධ නාගරික
* නාගරික
* මහල් නිවාස
ආදි වශයෙන් බෙදා දැක්විය හැකි අතර ගෙවත්තේ ස්වභාවය ද ඒවා අනුරූපව වෙනස් වෙනවා. නාගරික සහ අර්ධ නාගරික කලාපයන් හි පාරම්පරික නේවාසිකයන් සහ සංක්‍රමණික නේවාසිකයන් සතු ගෙවතුවල ස්වභාවය ද සපුරා වෙනස්. සමහර සංක්‍රමණික පදිංචිකරුවන්ට ගෙවත්තක් කියා ඉඩක් නොමැති අතර නිවෙස් වටා පටු බිම් තීර සහිත නිවාස වැඩිවශයෙන් දක්නට ලැබෙනවා. වගාවේ ස්වභාවය තීරණය කළ යුතු වන්නේ මෙම සමාජ ස්ථර හතරම මනා පිරික්සුමකට භාජනය කිරීමෙන් අනතුරුවයි.
මෙහිදී හිරු එළිය ලැබෙන දිශාව අතිශයින් තීරණාත්මකයි. හිරු එළිය නොමැතිව ඵලදායී ගෙවත්තක් පවත්වා ගැනීම යථාර්ථයක් කර ගන්නට බැහැ.
කෙසේ වෙතත් වර්තමානයේ හඳුන්වා දී ඇති වගා ක්‍රම නිසා ගෙවතු වගාවේ දී භූමිය යනු තීරණාත්මක සාධකයක් නොවෙයි. එබැවින් මහල් නිවාසවලද යම් මට්ටමකින් භෝග වගා කිරීමේ හැකියාව පවතිනවා. භූමිය සීමාසහිත නම් ඔබට අයිති වපසරියේ සිරස් අවකාශය යොදා ගැනීම හැර වෙනත් විකල්පයක් නැහැ. ඒ සඳහා,
* වගා කුළුනු
* වගා මලු
* නිර්පාංශු වගාව
* පිරමීඩාකාර වගාව
* බිත්ති ආශ්‍රිත වගා ක්‍රම
* රාක්ක මත වගාව
* බේසම්, බාල්දි ආදියේ වගාව
* ඉවත ලන ප්ලාස්ටික් වෙගා බෝතල් සහ කෑන්
* භාවිතයෙන් ඉවත් කළ ටයර්
* උණ බට ආදිය
භෝග වගාවන් සඳහා ඉතා සාර්ථක ලෙසින් ගළපා ගන්නට පුළුවන්. මේ පිළිබඳව ලබන කලාපයේ සිට වෙන් වශයෙන් අවධානය යොමු කරමු.
අජන්ත ජයසේකර