මුළුතැන්ගෙයි මිදුල සශ්‍රීක ගොවි බිමක් කරමු

අප්‍රේල් 4, 2022

 

අද කාලෙ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බූදයෙන් ගොඩ එන්න නම් අපිට වගා කරන්නම වෙනවා. මහා පරිමාණ වගාව ගැන නෙමෙයි අපි මේ කියන්නේ. ගෙදර සාමාජිකයන් වෙනුවෙන් හදන ආහාරවලට අත්‍යවශ්‍ය මිරිස් කරල, කොච්චි කරල, රම්පේ, කරපිංචා ටික ගැන.

 

ඒ වගේම ගොටුකොළ, බටු, බණ්ඩක්කා වගේ එළවළුවක් ගැන. වෙළෙඳපොළේ එළවළු මොනතරම් ගණන් ගියත් ගෙදරම මේ ටික හදාගන්න පුළුවන්නම්.

ඒ ගැන තමයි අපි දැන් සති ගණනාවක සිට කතා කරන්නෙ. මුළුතැන්ගෙයි උද්‍යානය නැතිනම් නාගරික කාන්තාවන් එකතු වුණහම කතා කරන Kitchen Garden එක ගැන.

ගෘහණියට මොන තරම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන්ද පිළිවෙළකට Kitchen Garden එකක් හදා ගත්තොත්. ඒ ගැන ඉතින් අත්දැකීමෙන්ම දැනගන්න වෙනවා. අපි මුළුතැන්ගෙයි උද්‍යානය හදනවැඩේ පටන් ගත්තෙ කරපිංචා ගහෙන්. එහි භෝග වගාව පටන් ගන්න පෙර තවත් කිවයුතු විශේෂ කාරණාවක් තියෙනවා.

පුංචි ඉඩක ආරම්භ කරන මුළුතැන්ගෙයි උද්‍යානය වගේම තරමක ඉඩක් තිබෙන අයට පුංචි ගොවිපොළක් හදාගන්නේ කොහොමද කියලත් දැනුවත් කරන්න කියලා බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා.

ඒ නිසා අද අපි ටිකක් ඒ ගැනත් කතා කරමු. සාමාන්‍යයෙන් කාලෙන් කාලෙට ගෙවතු වගා ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒවා වැඩි කල් තියෙන්නෙ නෑ. එහෙම වෙන්නෙ ඇයි? ප්‍රායෝගිකවම ගොවිතැන ගැන දන්නා කෙනෙක් නිසා; වසර තිහක පමණ කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ වගා සංග්‍රාම ගැන බලද්දි ඒවායේ දුර්වලතා දෙක තුනක් පැහැදිලිවම දකින්නට ලැබෙනවා.

01. සොබා දහමට අනුගත නොවීම

02. උපකරණ අමුද්‍රව්‍ය මිලට ගැනීමට සිදුවීම

03. ආකල්පමය වෙනසක් සිදු නොවන නිසා අමතර කරදරයක් ලෙස දැනීම.

04. ව්‍යාපෘති අධීක්ෂකයන්ගේ පසුවිපරමක් නොමැතිවීම.

 

මේ කරුණු අතරින් වැදගත්ම දේ තමයි “සොබා දහමට අනුගත නොවීම“. මෙන්න මේ දෙයම තමයි සෑම ආණ්ඩුවකටම සහ නිලධාරීන් අමතක කර දමා තිබෙන්නේ. මැදි වියේ පසුවෙන අයට මතක ඇති ඉස්සර ගෙවල්වල තිබුණ පෑලදොර පැත්තේ මිදුල. මේකට කියන්නේ පිළිකන්න කියලා. ‘පිළී කන්නන් සිටින තැන - පිළිකන්න‘. අතීතයේ බොහොමයක් ගැමි නිවාසවල ජල නළ පහසුව තිබුණේ නැහැ. මුළුතැන්ගෙයි එකතු වෙන ඉඳුල් වතුර විසි කළේ පිළිකන්නට. මේ වතුරෙ මිරිස්, කොච්චි ඇට, තක්කාලි ඇට, ගස්ලබු, වට්ටක්කා, කැකිරි, පිපිඤ්ඤා ඇට ආදියත් තිබුණා. ඒ වගේම ඉඟුරු, සුදුලූනු, කහ, ගම්මිරිස් අඹරලා මිරිස් ගල හෝදපු වතුර, මාළු හෝදපු වතුර ආදියත් විසි කළෙත් එතනටමයි.

 

පිළිකන්න අයිති කොටස වන්නේ මුළුතැන්ගෙයි දිගට සීමා වෙන පිටුපස මිදුල කෙළවර වෙන තැන තියෙන පටු බිම් තීරුවකට. මිදුල අතුගාන කොළ රොඩු තුනී වුණෙත් මෙතන.

ඉතින් ආයෙ තවත් කවර කතාද? ලෝකයේ තිබෙන හොඳම කාබනික පොහොර එකතුව තමයි මෙතැන තියෙන්නේ. ඒ වගේම සුපිරිතම ලෝම පස (හියුමස්). එතකොට මෙතැනට වැටෙන වතුරේ තිබෙන බීජවල ප්‍රජනන ශක්තිය තිබුණා. ඉතිරි හරිය සොබා දහම ඉටු කළා.

අර කිව්ව මිරිස් ගල හෝදපු වතුරේ, මාළු හෝදපු වතුරේ වගේම සබන් වතුරේ කෘමීන් පලවා හරින සංඝටක තිබුණ නිසා කෘමි උවදුරු ගැන ප්‍රශ්නයක් වුණේ නැහැ. පොහොර ගැන කොහෙත්ම ගැටලුවක් වුණේ නැහැ.

අපේ මුතුන්මිත්තො මේ අද කියන හුණ්ඩු ගෙවතු නෙමෙයි, අක්කර ගණන් හේන්, කුඹුරු යායවල් වගාකළේ සොබා දහමේ ආශිර්වාදයෙන්.

"මේ කාගේ මේ කමතා

හිරු දෙවියන්ගේ කමතා

සඳු දෙවියන්ගේ කමතා"

 

"ආදි අපේ මුතු මිත්තෝ

ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ"

 

අන්න එහෙමයි ජනශ්‍රැතියේ තියෙන්නේ. හොඳින් අවධාරණය කර ගන්න '... ඉරෙන් හඳෙන් වැඩ ගත්තෝ...' කියල කිව්වේ නිකම් නෙමෙයි. අද කාලෙ පිළිකන්නක් නැහැ. බැහැර කරන්න ඒ විදිහට ජලය එක් රැස් වන්නෙත් නැහැ.

කෙළින්ම සින්ක් එකෙන් ගලියට. ගම්වල ඉන්න ගෘහණියන්ට නිවැසියන්ට මෙන්න මේ අවබෝධය ලබා දී ආකල්පමය වෙනසක් ඇති කිරීමයි. වගා සංග්‍රාමයට පෙර කළ යුතු වන්නේ. එතකොට අත්‍යවශ්‍යයෙන්ම කළයුතු මහා රාජකාරියක් තියෙනවා. අද කාලෙ වෙළෙඳපොළෙන් ගෙනෙන එළවළුවල, පලතුරුවල බොහොමයක් බෝගවල බීජවලින් පරපුර ගෙනියන්න බැහැ.

ඒ සියල්ල ජාන තාක්ෂණය (Genetic Engineering) අනුව නිපදවූ ඒවා නිසා පැළවුණත් නියම විදිහට හැදෙන්නෙ නැහැ. මේ ගැන දැනුම ලබාදීල දේශීය බීජ ටිකකුත් ලබාදුන්නා නම් ගෘහණියො වැඩේ ලස්සනට කරාවි.

කාගෙන්වත් සහායක් අවශ්‍ය වෙන්නෙත් නැහැ.

එහෙම නම් ලබන සතියේ ‘කලට වේලාවට ගොවිතැන් කර‘ උසස් පලදාවක් ලබා ගන්නේ කොහොමද කියා විමසා බලමු.