මුදල් වියදම් නොකර ම නිවෙසට අලුත් හැඩයක්

අප්‍රේල් 11, 2022

 

සිංහල අලුත් අවුරුදු කාලේ කියන්නෙම අපේ කාන්තාව අතිශයින් කාර්යබහුල වෙන කාලයක්. අලුත් ඇඳුම් ගන්න එහෙමත් නැත්නම් මහන්න, කැවිලි පෙවිලි හදන්න, ඒ විතරක් ද නිවෙස අලුත්වැඩියා කරලා ලස්සනට පිරිසුදුවට තියාගන්නත් එපැයි.

මේ දේවල් සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දක දී කෙරෙන දේවල් වුණත් මේ එළැඹිලා තියෙන්නේ බඩුමිල අහස උසට නැඟි කාලයක්. අත්‍යවශ්‍යම දෙයක් හැරෙන්න අවශ්‍ය දෙයක්වත් කරගත නොහැකි කාලයක්.

අපි මේ කියන්න සැරසෙන්නේ අලුත් අවුරුද්දේ දී නිවෙස අලුත්වැඩියා කරගන්න. හැඩවැඩ කරගන්න අවැසිවන පුංචි පුංචි කාරණා කිහිපයක්. සුළු මුදලක් වියදම් කරලා එහෙමත් නැතිනම් මුදල් වියදම් නොකරම කළ හැකි වෙනස්කම් කිහිපයක්.

මකුළු දැල් කඩලා දූවිලි පිසදාන එක වසරකට දෙතුන්වතාවක් කරන්න අපි පුරුදුවෙලා ඉන්නවා. මේ සඳහා අපි තෝරාගන්නේ සාමාන්‍යයෙන් පාසල් නිවාඩු කාලය. ඉතිං සිංහල අවුරුදු කාලයට මකුළු දැල් කඩලා බිත්ති හොඳට පිහදාලා ගෙවල් හෝදලා දානවා. සෝදා කුණු දූවිලි ඉවත් කළ හැකි තීන්ත වර්ගයක් බිත්තිවල ආලේප කර තිබීම ඇත්තටම වැදගත්. මේ තීන්ත තරමක් මිල අධික වෙන්න පුළුවන්. නමුත් කුණු දූවිලි සෝදා හැරිය හැකි නම් එය ආර්ථිකයට කෙතරම් සහනයක් වේවිද?

බෙඩ්ෂීට්, කොට්ට උර, දොර ජනෙල් රෙදි අලුත් කරන්න කාන්තාවෝ හරිම කැමැතියි. මේ වගේ කාලයක වියදම් කරන එක ඒ සඳහා තරමක් හරස් වෙන්න පුළුවන්. නමුත් නිර්මාණශීලීව හිතන්න පුළුවන් දෑතේ හැකියාව ඇති කෙනකුට ගෘහ අලංකරණය කියන්නේ මුදල් වියපැහැදම් වන දෙයක් ම නොවෙයි.

තොග මුදලට රෙදි මිලදී ගත හැකි සාප්පුවකට ගොස් රෙදි ගෙන නිවෙසේදී ම මසා නිම කළ හැකියි. ජනෙල් රෙදි ආදියට විශාල මුදලක් වැය කළ යුතු නිසා අතේ මුදල් ගැවසෙන වෙලාවක, අඩු මුදලකට ගන්න ලැබුණොත් දොර ජනෙල් රෙදි සෙට් දෙකක් හදාගෙන තිබීම ප්‍රයෝජනවත්.

අලුත් අවුරුද්ද නිසාම වෙනස් පෙනුමක් ගෙන දෙන්න හිතනවා නම් ඉර, සූරියකාන්ත මල, බුලත් කොළය, කොම්බුව හැඩය ගත් මෝස්තරයක් රෙදි පින්තාරුවක් ලෙස වෙනම සාදා කටුවකින් ගසා ඇමිණිය හැකියි.

මේ මෝස්තරයට විසිත්ත කාමරයේ තැන් තැන්වලට ආදේශ කළ හැකියි. සෝෆා සෙටියේ පැත්තකින් තබන කුෂන්වලට එවැන්නක් එකතු වෙද්දී අමුතුම චමත්කාරයක් ගෙන දේවි.

අවුරුද්දට නිවෙස හැඩවැඩ කරද්දි හැමදාම එකම විදිහට දකින ගෘහභාණ්ඩ ටික පැත්ත වෙනස් කරලා වෙනමම විදිහට තැබුවම හරිම නැවුම් බවක් දැනෙන්නේ. සෝෆා සෙටිය, කෑම මේසය විසිත්ත කාමරයේ ඇති දේ එකම විදිහට තිබිය යුතුයි කියලා නැහැ.

අවුරුදු කෑම මේසයට අමුත්තන් හිටියත් නැතත් තමන්ගේ පවුලේ උදවිය සමඟ වුවත් කෑම ගනිද්දී ඊට නිර්මාණශීලී දේ එකතු කරන්න. කෙසෙල් කොළ හැඩැති පිඟන්, කැවිලි දැමීමට පන් වට්ටි... මේ දේවල් දරුවන්ට පවා අලුත්ම අත්දැකීමක් ගෙන දේවි.

ආහාර අනුභවය සඳහා වන නැකැතේ දී සකසන මේසයට එක් කරන කැවිලි දමන්න නම් කුඩා පන් වට්ටි කිහිපයක් එකතු කරගන්න පුළුවන්. කුඩා පොල්තෙල් පහනක්, බුලත් අතක් තියන්න. මේ සිරිත් විරිත් දරුවන්ටත් උගන්වන්න.

නිවෙස අලංකරණය කරද්දි අවුරුද්දට ඔබේ තේමාව රැගත් බිත්ති සැරසිල්ලක් එකතු කරන්න පුළුවන්. මේවා තරමක් මිල අධිකයි. පේන්ටිංන්ස්වල නිරතවන අයකුට නම් තමන්ගෙම අතින් කරන්න පුළුවන්.

කෑම මේසය, කොෆි ටේබල් එක සරසන මල් සැරසිලිවලට වත්තේ පිටියේ තියෙන දේවල් හොයා ගන්නත් පුළුවන්. පුරුද්දක් විදිහට වතුරට මල් ටිකක් දාලා තිබීම හරිම නැවුම් සුදුමල් වතුරේ පාවෙද්දි හරිම ලස්සනයි. පිවිතුරුයි. නිවෙසට ඇතුළුවන තැන මෙවැනි දර්ශනයක් දැකීම පවා ප්‍රියජනකයි.

මුළුතැන්ගෙයි විවිධ වෙනස්කම් කරන්න හිතනවා නම් පළමුව තුනපහ ආදිය දමන බෝතල් වෙනස් කරන්න පුළුවන්. වීදුරු බෝතල්වල මේවා ඇසිරීම තමයි අලුත්ම මෝස්තරය. මේ බෝතල්වල නම් ගසා නැත්නම් නම් ගැසීම, මෙතෙක් තිබු නම් වෙනුවට වෙනත් මෝස්තරයේ නම් ටිකක් එකතු කිරීම කළ හැකියි. මේවගේ සුළු සුළු දේවලිනුත් ඉස්මතු වෙන්නේ වෙනස් හැඩයක්. දෙනෙතට නැවුම් බවක්.

මුළුතැන්ගෙයි අත් පිස්නා ආදිය පරණ වී නැත්නම් අලුත් අත්පිස්නාවක් එකතු කරන්න හොඳම කාලය මේ. මේ දේවල් විවිධ මැහුම් ක්‍රම උපයෝගි කරගනිමින් පැච්වර්ක්, ග්ලිටර් වර්ක්, පින්තාරු ක්‍රම මේ ආදී විවිධ ක්‍රමවලට සකසා ගත හැකියි.

පරණ අයිස්ක්‍රීම් පෙට්ටි, මෙගා බෝතල් ආදි ඉවත දැමිය යුතු ප්ලාස්ටික් බෝතල් පෙට්ටි... මේ දේවල් කුණු කරත්තයටම දිය යුතුයි. හදිසි ප්‍රයෝජනයට එකක් දෙක්ක තබා ගැනීමේ වරදක් නැහැ. අවුරුද්දක් , මාස ගානක් ගත වෙද්දි අනවශ්‍ය ප්ලාස්ටික් ගොඩක් ඔබේ මුළුතැන්ගෙයි රැස්ව ඇතිවාට සැකයක් නැහැ.

කැඩුණු බිඳුණ ඉලෙක්ට්‍රොනික් උපකරණ පවා අලුත්වැඩියා කළ නොහැකි තත්ත්වයේ පවතී නම් ඉවත දැමීම තමයි වඩාම සුදුසු.

මේ දිනවල පරණ බඩු මිලදී ගන්නා ලොරි රථ එහා මෙහා යනවා. ඔවුන්ට ඔබේ අහක දමන දෑ ලබා දී ඔවුන් ලබාදෙන ප්ලාස්ටික් උපරකණ තමාට අත්‍යවශ්‍යම නම් විතරක් ගන්න. එසේ නොවුණ විට වෙන්නේ තවත් ගොඩගසා ගැනීමක් පමණයි.

උපදෙස්

ප්‍රවීණ ගෘහ අලංකරණ ශිල්පී

ආචාර්ය දිලිනි හල්විටිගල