මාස දෙකෙන් අස්වැන්න ලබාදෙන බණ්ඩක්කා වගාවක්

මැයි 27, 2020

බණ්ඩක්කා ඔබේ ගෙවත්තේ පවත්නා සීමිත ඉඩකඩෙහි වවා ගත හැකි තවත් එළවළුවකි. සාමාන්‍යයෙන් හොඳීන් වැඩුණු බණ්ඩක්කා ගස් හතරක් පහක් පමණක් තිබීමෙන් ඔබේ පවුලට දින තුන හතරකට වරක් රසවත් බණ්ඩක්කා ව්‍යංජනයක් පිළියෙල කරගත හැකි වේවි.

විශේෂයෙන්ම බීජ සිටුවා මාස දෙකක් ගතවන විට අස්වැන්න නෙළිය හැකි බෝගයක් වන බණ්ඩක්කා වගා කිරීමත් ඉතා පහසුය.

බණ්ඩක්කා කඳු පාත්ති ලෙසත, වළ ක්‍රමයේ පාත්ති ලෙසත් සකසා ගත හැකිය. මෙහිදී ඔබේ ගෙවත්තේ පසෙහි ජලය රඳා පැවැත්ම තරමක් වැඩි ගතියක් තිබේ නම් උස් පාත්ති ලෙසින්ද පසෙහි ජලය අඩු නම් වළ පාත්ති ලෙසින් ද සකසා ගත ගන්න.

පාත්ති සැකසීම

පාත්ති සකසා ගැනීමේ දී හොඳීන් පස පෙරළා එයට ඔබේ ගෙවත්තෙන්ම සපයාගත හැකි කාබනික ද්‍රව්‍ය ද එකතු කරන්න. මේ සඳහා ඔබේ කසළ වළෙහි දිරාගිය කොටස් එහෙමත් නැතිනම් ඔබ සකසා ගන්නා කොම්පෝස්ට් පොහොර, වියළි ගොම, කුකුළු පොහොර, එළු පොහොර ආදිය එකතු කර ගැනීමට හැකියාව ඇත.

බීජ සිටුවීම

ඉන්පසුව හොඳීන් පස් කැට පොඩි කර මතුපිට මට්ටම් කරගන්න. අනතුරුව පැළ අතර අඩි එකහමාරක් සිටින සේ ද පේළි අතර අඩි දෙකක පරතරය තිබෙන සේ ද වළවල් සාදා ගන්න. එම වළවල් වල ඉහත පරතරය තිබෙන සේ අඟලක් පමණ ගැඹුරු සිදුරු සාදාගන්න. මෙහිදී එක තැනෙක සිදුරු තුන බැගින් සාදා ඒවාට බීජ තුන බැගින් දමන්න.

 

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ

ශිල්පී, විසිතුරු මල් වගා උපදේශක, කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

2020/05/27 තරුණි  පුවත්පත බලන්න.