නිවෙසේදී කෙනකුට විදුලිසැර වැදුණොත්...

දෙසැම්බර් 13, 2021

විදුලිය පරිස්සමින් පාවිච්චි කරන හැටි...

විදුලිය කියන්නේ ‘මාරයෙක්‘ කියන කාරණාව මුලදීම සඳහන් කළා මතක ඇති. නඩත්තුවකදී විතරක් නෙමෙයි සාමාන්‍ය තත්ත්වයක දී පවා ‘විදුලියෙන් ආරක්ෂා වීමේ‘ ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කිරීම අතිශයින් වැදගත් කරුණක්. විදුලිය කියන්නේ ඇසට නොපෙනෙන ප්‍රබල ශක්ති විශේෂයක්.

විදුලියෙන් අනතුරු සිදුවන ආකාරයන් මොනවාද යන්න පළමුවෙන්ම විමසා බලමු. මෙය ප්‍රධානවම දෙආකරයකින් සිදු වෙනවා. ඒතමයි,

¾ සෘජුව විදුලිය සැර වැදීම

¾ විදුලි කාන්දුවක් වීමෙන් හට

ගන්නා ගින්නකින්

බහුලව විදුලි සැර වැදීම සිදුවිය හැකි අවස්ථා මොනවාදැයි හඳුනාගෙන තිබීම ජීවිත ආරක්ෂාවට හොඳ පිටිවහලක් වෙනවා.

¾ 01. හෝල්ඩර් / ප්ලග් බේස් සවිකර නැති වයර කෙළවර කම්බිය (සන්නායකය) විවෘතව තිබීම.

¾ 02. කම්බිය වටා ඇති පරිවරණ පළුදු වී සන්නායක (කම්බි) මතුවී තිබීම.

¾ 03. ආරක්ෂක ආවරණ කැඩී තිබෙන හෝල්ඩර් / ප්ලග් ටොප් හේතුවෙන්

¾ 04. අබලන් විදුලි උපකරණවලින් විදුලි කාන්දුවකදී

¾ 05. විදුලිය විසන්ධි නොකර බිම තෙතමනය සහිත ස්ථානවල අලුත්වැඩියාවන්වල යෙදීම.

ඉහතින් දක්වා ඇති අවස්ථා මඟහැරීමට අවශ්‍ය කටයුතු නොපමාවම යොදන්න. ඒ සඳහා පළුදු වී තිබෙන වයර වෙනුවට අලුතින් විදුලි රැහැන් යෙදීම හෝ එය සිදුකරන තුරු ඉන්සියුලේටඩ් ටේප් මඟින් එබඳු ස්ථාන ආවරණය කිරීම, කැඩුණු හෝල්ඩර්, ප්ලග් ටොප් වෙනුවට නව උපාංග යෙදීම, මුල් ලිපිවල සඳහන් කළ පරිදි විවෘත අග්‍ර සහිත සන්නායක සඳහා ස්ථාවර ආවරණ යෙදීම, තෙතමනය තිබුණද / නොතිබුණද විදුලිය නඩත්තුවකදී රබර් අඩි සහිත පාවහන් පැළඳ සිටීම.

විදුලිය නිසා ඇතිවන ගින්න

මෙය සිදුවන්නේ කෙසේදැයි ගැටලුවක් ඔබට මතු වේවි. ස්ථාවර සම්බන්ධයක් නොමැතිව සජීවී විදුලි ධාරාවක් සහිත වයර අග්‍ර දෙකක් වරින් වර ගැටෙන අවස්ථාවලදී ගිනි පුළිඟු ඇති වෙනවා. අන්න ඒ වෙලාවට ගිනි ඇවිලෙන සුළු දෙයක්, පෙට්‍රල්, ටිනර් වගේ දෙයක් (ද්‍රව ඉන්ධනයක්) සමීපයේ තිබෙනවා නම් ගින්නක් ඇතිවීමේ බරපතළ අවදානමක් තියෙනවා. ඒ නිසා සක්‍රිය විදුලි රැහැන් අග්‍ර දෙක එකිනෙක ගැටෙන ආකාරයට නිරාවරණ වී පවතිනවා නම් එය කඩිනමින් පිළිසකර කරන්න.

විදුලි සැර වැදුණු පුද්ගලයකුට ප්‍රථමාධාර දීම

අර්ත් වයරය ගෘහස්ථ විදුලි පරිපථ සහ භූගත සම්බන්ධය නිසි ලෙස සිදුව සහ ට්‍රිප් ස්විචය මනා ක්‍රියාකාරීත්වයෙන් තිබේ නම් විදුලි සැර වැදීමේ අවස්ථා විරළය. කවර තත්ත්වයක් යටතේ හෝ එම ආරක්ෂාව නොවී නම්; අනතුර සිදුවෙනු බව දකීනම් එම පුද්ගලයා ස්පර්ශ නොකර වහාම මේන් ස්විචය 'off' කර පරිපථයේ විදුලි සැපයුම විසන්ධි කරන්න. යළි කඩිනමින් අනතුරට පත් පුද්ගලයා වෙත යන්න. ඔහු හෝ ඇය සිහි සුන්ව ආශ්වාස ප්‍රාශ්වාස නොකරන්නේ නම් ක්ෂණිකවම කළ යුතු වන්නේ කෘත්‍රිම ස්වසනය ලබාදීමයි. ඒ සඳහා අනතුරුවූ තැනින් පිටතට ගෙන,

¾ ඇඳුම් සිරුරට තද වූ ස්වරූපයක් පෙනේනම් උදරය සහ පපුව ප්‍රදේශයෙන් ඇඳුම් ලිහිල් කරන්න.

¾ ගෙල යට පැත්තෙන් අත හෝ රෙද්දක් රෝලක් සේ සකසා තබා හිස පහතට සිටින සේ (නිකට දෙසින් උඩට එසවී) තබන්න.

¾ වැඩිහිටි අයෙක් නම් දෙඅත්ල උපයෝගී කරගෙන පපු පෙදෙසට තෙරපුම් වාර කීපයක් (30) ලබා දෙන්න.

¾ දැන් නාසය තදින් වසා (ඇඟිලි දෙකකින්) අවහිර කර මුඛය විවර කරවන්න. ඔබ ගැඹුරු හුස්මක් ගෙන රෝගියාගේ මුවට මුව තබා ප්‍රශ්වාසය මුදා හරින්න. යළිත් වරක් එසේම කරන්න.

¾ යළි තෙරපුම් වාර තිහක් ලබා දෙන්න‍

මෙලෙස වාර කිහිපයක දී සිහිය නොආවොත් හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු වෙත රැගෙන යන්න. ඒ අතර වාරයේ ද කෘත්‍රීම ස්වසනය ලබා දීම නොකඩවා සිදු කරන්න.

  •  කුඩා දරුවෙකුට නම් නාසය මුව දෙකම මුවෙන් වැසෙන සේ ගෙන තබා කෘත්‍රිම ස්වසනය ලබා දිය යුතුයි.

කෘත්‍රීම ස්වසනයේ දී රෝගියාට සිහිය පැමිණියද වෛද්‍යවරයකු වෙත යොමු කොට පරීක්ෂාවක් සිදුකර උපදෙස් ලබා ගැනීමට වග බලා ගන්න. අනතුර සිදුවෙන අවස්ථාවේ දී බිම ඇද වැටීමේදී හිසට, අස්ථි, පේශි ආදියට හානි සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. ඒ පිළිබඳ මෙන්ම විදුලිය වැදීමෙන් සිදුව ඇති හානියේ ප්‍රමාණය සම්බන්ධයෙන් නිගමනයකට පැමිණ,

  •  රෝගියා රෝහල් ගත කළ යුතුද?
  •  ඖෂධ නියම කළ යුතුද?
  • පවතින තත්ත්වය යහපත් ද?

යන තත්ත්ව ඔස්සේ නිමනයකට පැමිණීම වෛද්‍යවරයා තීරණය කරාවි. වඩාත්ම සුදුසු නිවැරැදි ක්‍රමවේදය එයයි.

විදුලි සැර වැදීමක් බොහෝ විට සිදුවන්නේ සිටගෙන, මේසයක් පුටුවක් මත නැඟී හෝ ඉනිමඟක නැඟී වැඩ කරමින් සිටිය දී යි. හානිකර මට්ටමට නොවුණත් ඉතාම සුළු විදුලි සැර වැදීමකදී වුවද අත පස්සට විසිවී සිරුරේ සමතුලිතභාවය බිඳී යන්නේ නිරායාසයෙන්. එවන් අවස්ථාවක බිම ඇද වැටීමෙන් බරපතළ තුවාල, ආබාධ ඇතිවීමේ අවදානමක් තිබෙනවා. අන්න ඒ නිසා.... හොඳ කල්පනාවෙන් වැඩ කටයුතු කිරීම ගොඩක් හොඳයි.