ජලය අධිකව යෙදුවොත් බැක්ටීරියා ආසාදන ඇති වේ

දෙසැම්බර් 13, 2021

 

දම්, රෝස, සුදු, කහ, රතු ආදී සොඳුරු වර්ණ බොහොමයකින් හැඩවැඩ වූ තවත් අපූරු උඩවැඩියා කුමාරියකි කැටලියා. මනාලියන්ගේ මල් කලඹට මනරම් චමත්කාරයක් ලබාදෙන හැඩකාරියක් වූ මේ කැටලියා මලද කැපූ මල් සඳහා නිරන්තරයෙන්ම වගා කරන්නකි.

කැටලියා ශාකය සතු සුවිශේෂතා වාගේම ඊට සමාන වෙනත් ප්‍රභේද පිළිබඳ අප පසුගිය සතියේ දී හඳුනාගත්තා.

එබැවින් කැටලියා වගාවක් පවත්වාගෙන යාමේදී අවධානය යොමු කළයුතු කරුණු ගැන අද අපි දැනගනිමු.

සාමාන්‍යයෙන් කැටලියා කුලයට අයත් සෑම ශාකයකටම ඉඟුරුවැනි පාදයක් ඇති බැව් ඔබ දන්නවා. එයින් පැන නගින සෑම ව්‍යාජ බල්බයකින්ම පත්‍ර හටගන්නා අතර මේ බල්බ තුනක් සහිත කොටස කැටලියා පැළයක් ලෙස සලකනු ලබයි.

 

වගා මාධ්‍යය

වෙනත් ඕකිඩ් ප්‍රභේදයන්ට සේම කැටලියා ප්‍රභේදයට ද වගා මාධ්‍යය ලෙස භාවිත කරන්නේ අඟුරු සහ උළුකැට කැබලිය. මෙහිදී කැටලියා වර්ගයේ මුල් තරමක් මහත බැවින් ඒ සඳහා තරමක් විශාල අඟුරු කැබැලි සහ උළු කැට කැබැලි යෙදීමට ඔබ වගබලාගන්න.

 

පැළ සිටුවා ගැනීම

 

කැටලියා පැළ බඳුන්ගත කිරීමේ දී බඳුනේ බිත්තියට සවි කළ ආධාරකයකට පැරණිම බල්බය තබා ගැටගැසිය යුතුය. එහිදී මුල් පමණක් බඳුන්ගත මිශ්‍රණය තුළ තිබිය යුතු වේ. අලුතින් හටගත් අංකුර වර්ධනය විය යුත්තේ මේ බඳුනේ මැද දෙසටයි. එක් අංකුරයකින් එක් ව්‍යාජ බල්බයක් හටගන්නා අතර මේ එක් ව්‍යාජ බල්බයකින් මල් කිනිත්තක් හට ගන්නේ එක්වරක් පමණකි. එබැවින් ශාකය බඳුන පිරෙන තෙක් වැඩුණු පසු ගලවා ව්‍යාජ බල්බ තුන බැගින් වෙන්කර වෙන වෙනම බඳුන්ගත කළ යුතුය.

මෙම බඳුන් සිදුරු සහිතවීම ඉතා වැදගත්වන අතර ඒවා මැස්සක් මත තැබීම හෝ ආධාරකයකින් එල්ලීම කළ යුතුය.

 

සෙවණ සැපයීම

කැටලියා ශාකයට 50%ක පමණක් සෙවණක් ලබාදිය යුතු වේ. එහිදී දහවල් උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් පමණද රාත්‍රී උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ක් පමණද තිබීම සෑහේ. ඒ උෂ්ණත්වය යටතේ හොඳින් මල් පිපෙනවා පමණක් නොව මල්වල ප්‍රමාණය ද විශාලය.

 

පොහොර

මෙම ශාකයට අධික ලෙස ආහාර අවශ්‍ය වේ. මේ නිසා සතියකට දෙවරක්වත් පොහොර සැපයීම කරන්න.

 

රෝග සහ හානි

අධික ආර්ද්‍රතාව මෙන්ම අධිකව ජලය යෙදීම නිසා දිලීර සහ බැක්ටීරියා ආසාදන ඇතිවීමට හේතු වේ. අලුත් මොටෙයියන් කුණු වී යාම සහ පත්‍ර මත තිත් ඇතිවීම මේ නිසා දැකිය හැකි රෝග ලක්ෂණයකි.

මල් පිපි ඇති විට එම මල්වල සුදුපාට රේඛා මතුවීම (Colour Break) සහ ළා පැහැති මල් දුඹුරු වර්ණ වීමද රෝග ලක්ෂණයකි. මැන්කොසෙබ්, ඇන්ට්‍රොකෝල් සහ තඹ මිශ්‍රිත දිලීර නාශක ඉසීමෙන් මෙය වළක්වා ගත හැකිය. මල්වලින් නිපදවන සීනි වැනි ද්‍රාවණය නිසා මල් වෙත කුහුඹුවන් ඇද ගැනීම එක් හේතුවකි. එතරම් සැර නැති කෘමිනාශකයක් භාවිතයෙන් මෙය වළක්වා ගත හැකිය.

 

එමෙන්ම කැටලියා පත්‍ර තරමක් ගනකම් සහිත වීම නිසා මයිටා හානිය ඇතිවීමට ද ඉඩ තිබේ. පත්‍රවල උඩ පැත්ත කහපැහැති වනවිට පත්‍රයේ යටි පැත්තට ඇබමැක්ටින් ඉසීමෙන් මේ තත්ත්වය ඔබට වළක්වා ගත හැකියි.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ