වේයන් කූඹින් නිසා ඔබේ‍ ෙගදර විදුලි පද්ධතියට සිදු වන හානි

ගෘහණියගේ දැනුම් පොත - 05
නොවැම්බර් 29, 2021

 

විදුලි බලය අපේ ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙලා. රාත්‍රියට නිවෙස ආලෝකවත් කරන්න විතරක් නොවෙයි අද වනවිට අපේ ජීවිතය පවත්වාගෙන යාමට උදව්කරන බොහෝමයක් උපකරණ ක්‍රියාත්මක වන්නේ විදුලියෙන්.

විශේෂයෙන් මුළුතැන්ගෙයි උපකරණ සියල්ලම පාහේ විදුලියෙන් ක්‍රියාත්මක වන ඒවා. ඒ නිසාම නිවෙසක විදුලි බලය වැඩියෙන් භාවිත වන අතරම කිසියම් දෝෂයකින් විදුලි සැර වැදීමේ අනතුරුදායක බවත් වැඩිවී තිබෙනවා. මෙයට විසඳුම වන්නේ නිවැරැදි ආකාරයට ප්‍රමිතියෙන් ඉහළ උපකරණ භාවිත කරමින් නිවෙසේ වයරින් එක හරියට කර ගැනීමයි. අප මේ ලිපි පෙළින් කතා කරන්නේ නිවෙසක විදුලි පරිපථයේ දෝෂ පිළිබඳව ගෘහණියක් ලෙස ඔබ දැනසිටිය යුතුම කරුණු කිහිපයක් ගැනයි. ඒ අනුව පසුගිය සතියේ නිවෙසට විදුලිය සම්බන්ධවන තැන පිහිටුවන ට්‍රිප් ස්විචය ගැන කතා කළා. අද ඒ ගැන තවත් තොරතුරු දැන ගනිමු.

ට්‍රිප් ස්විචයක් නිවැරැදිව ක්‍රියාත්මකවීමක ඇති වැදගත්කම එසේම අධි බලැති විදුලි ධාරාවක් වැරැදීමකින් මාර්ග විදුලි පද්ධතිය ඔස්සේ නිවෙසට යොමුවුවහොත් ඒ අවස්ථාවේ දී ද ට්‍රිප් ස්විචය ක්ෂණිකව විසන්ධි වී ගෘස්ථ විදුලි රැහැන් පද්ධතියට මෙන්ම විදුලි උපකරණවලට ආරක්ෂාව සලසනවා. මෙයට දශක දෙක තුනකට ඉහතදි ගම්පහ දිස්ත්‍රික්කයට අයත් විදුලි බල ප්‍රදේශයක සිදුවූ මෙවැන්නකින් නිවාස ගණනාවක විදුලි උපකරණ විනාශ වී ගියා. එවැනි අවස්ථාවක දී පමණක් නොව පෙර සඳහන් කළ අවස්ථාවලදී ද ජීවිත හානියක සිට ඕනෑම දෙයක් සිදුවිය හැකියි.

“මිගාර.... ඔයා ආවෙ හොඳ වෙලාවට. මගෙ මැෂින් රූම් එකට ඊයෙ රෑ ඉඳල කරන්ට් එක නැහැ. වැඩ කරන ළමයින්ට අද එන්න එපා කිව්වා. මොනව වෙලාද මන්දා....““මොකක් කරද්දිද කරන්ට් එක නැතුව ගියේ?“

“මොකුත් කරද්දි නෙමෙයි අනේ... උදේ ළමයි ඇවිත් මැෂින් ප්ලග් කරල ඔන් කළා. කරන්ට් එක තිබුණෙ නැහැ.“

“මැෂින්වල ප්ලග් ටොප් ගලවලා බැලුවෙ නැද්ද පූර්ණි?“

“බැලුවා මිගාර, ඒත් කරන්ට නැහැ... මොනව වෙලාද මන්දා.“

“සර්කිට් බ්‍රේකර් එක ඕෆ් වෙලාද කියල චෙක් කළාද?“

“ ඔන්න උඹ කිව්වමයි මතක් වුණේ මිගාර. මම ඕෆ් කරන්න හදද්දි එක බ්‍රේකර් එකක් ඕෆ් වෙලා තිබුණා.“ කාශ්‍යප කිව්වා.

“බලමු ගිහින් ෂුවර් එකටම Room එකේ ස්ර්කිට් එකේ මොකක්හරි අවුලක් ඇති.“

එහෙම කියපු මිගාර ප්‍රධාන පුවරුව පරීක්ෂා කළා. එහි එක් සර්කිට් බ්‍රේකර් එකක් විසන්ධි වී තිබුණා. එය ඉහළට දැමීමට මිගාර උත්සාහ කළත් සාර්ථක වූයේ නැහැ.

“යමුකො බලන්න මැෂින් රූම් එකට. බොහෝ දුරට ප්ලග් පොයින්ට් එකක අවුලක් ඇති.“

“ඒකෙ ප්ලග් හතරක් තියෙනවා මිගාර.“

“බලමුකො පූර්ණි චෙක් කරලා.“

ප්ලග් පොයින්ට්වල ඇණ ගලවා පරීක්ෂා කරන්නට ගත් මිගාරට තුන්වැනි වාරයේ දී දෝෂය හසුවුණා. බිත්තියේ කුස්තූර අතරින් ප්ලග් බොක්ස් එක තුළට වේයන් ගේ ආක්‍රමණයක් ආරම්භ වී තිබුණා.

“දැක්කද කාශ්‍යප... වේයො තමයි වැඩේ කරල තියෙන්නෙ.“

“වේයො නිසා කොහොමද කරන්ට් එක ඕෆ් වෙන්නෙ?“ ඒ ප්‍රශ්නය පූර්ණිමාගෙන්.

“මෙහෙමනෙ... තෙතමනය තියෙනවා මේ වේ පස්වල. තාම මැටි වේළිලා නැහැ. ජලය සන්නායකයක්. ඒ කියන්නේ ජලය හරහා ඉලෙක්ට්‍රෝන ගමන කරනවා. බලන්න මේ ප්ලග් බොක්ස් එක පුරාම තෙත මැටි තද වෙලා. ඉතින් පේස් වයර් එකෙන් අර්ත් පින් එකට කරන්ට් ෂෝට් වෙනවා.“

“හිතා ගන්න බැරි වැඩක්නෙ අප්පා...“

“ඔය විතරක් නෙමෙයි පූර්ණි, ඔය වගේ කූඹිත් ඕව අස්සෙ ගුල් බඳිනවා. එතකොට හූනො මැරෙන අවස්ථාත් තියෙනවා. උන් කුණු වෙලා ඕජස් ගැලුවාමත් ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. මොන විදිහෙන් වුණත් තෙතමනය වේළිලා යනතුරු මේ වගේ ෂෝට් තියෙනවා.“

මිගාර දිග පැහැදිලි කිරිමක් කළා.

“කොහොමද මිගාර ගෙස් කළේ, අවුල තියෙන්නෙ ප්ලග්වල කියලා?“

“අත්දැකීම් එක්ක ඒ ඉව එනවා කාශ්‍යප. අර මම කිව්ව විදිහේ හූනෙක් සම්බන්ධ කේස් එකත් මට හම්බ වෙලා තියෙනවා. පොතේ දැනුමෙන් ම හැම දෙයක්ම කරන්න බැහැ.“

“ට්‍රිප් ස්විච් එකක මාරම වටිනාකමක්නෙ තියෙන්නෙ නේද මිගාර?“

“පැහැදිලිවම පූර්ණි... මෙතැනදි සැලකිලිමත් වෙන්න ඕනෙ කාරණා කිහිපයකුත් තියෙනවා. සමහරු අතින් මිදුල අතුගාන්න යද්දි අර්ත් රොඩ් එකට සම්බන්ධ වෙලා තියන වයර් එක කැඩෙනවා. සමරහ වෙලාවට අර්ත් රොඩ් එකට වයර් එක සම්බන්ධ කරන ක්ලිප් එක කැඩිලා හෝ දිරලා යාම හින්දත් සර්කිට් එක කම්ප්ලීට් වෙන්නෙ නැහැ. තවත් අවස්ථාවක් තමයි ගේ ඇතුළෙ සේරම පොයින්ට්වලට ප්ලග් බේස් හයි නොකරන වෙලාවල් තියෙනවා. අර්ත් වයර්වලත් ලූප් වෙන අවස්ථා තියෙනවා නියුට්‍රල් වයර්වල වගේම. අන්න ඒ වයර් පොටවල් දෙක එකට සම්බන්ධ නොකර වෙන වෙනම තිබුණොත් අර්ත් පරිපථය සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට එතනින් ට්‍රිප් එක දිහාට නෙවෙයි අනෙක් දිසාවට තියෙන ප්ලග් හෝ වෙනත් කිසිම දෝෂයක දී ට්‍රිප් ස්විච් එක විසන්ධි වෙන්නෙ නැහැ. ඒ වගේම තමයි ප්‍රබල අකුණක් ගහන අවස්ථාවක දී අපි නොදැනුවත්වම ට්‍රිප් ස්විච් එක පිච්චිලා යන්නත් ඉඩ තියෙනවා. එතකොටත් අපි අනාරක්ෂිතයි. ඒ නිසා තමයි ට්‍රිප් ස්විච්වලට ටෙස්ට් බට්න් එකක් එකතු කරලා තියෙන්නෙ. ට්‍රිප් ස්විච් එක හොඳ තත්ත්වයේ නම්, ටෙස්ට් බට්න් එක ප්‍රෙස් කරපු හැටියෙම ඕෆ් වෙලා කරන්ට එක නැතුව යනවා.“

“ඔය බට්න් එක කැඩිලා නම් අපි කොහොමද ට්‍රිප් ස්විච් එක වැඩ කරනවද කියලා චෙක් කරන්නෙ මිගාර?“

“අන්න මිගාර ප්‍රශ්නය.... වරින් වර ට්‍රිප් එකේ නිවැරැදිතාව පරීක්ෂා කරන එක කළ යුතුමයි. Test Button එක වැඩ නොකරනවා නම්, වයරින්වලට ගන්න වයර් පොඩි කෑල්ලක්, අඟල් හත අටක විතර... ඒකෙ දෙකෙළවර ශුද්ධ කරල කම්බිය මතුකර ගන්න ඕනෙ සෙන්ටිමීටරයක් විතර. ඉන් පස්සෙ ප්ලග් පොයින්ට් එකක අර්ත් සිදුරට එක ‍ෙකළවරක් ඇතුළු කරල, අනෙක් වයර් කෙළවර විදුලිය තියෙන සිදුරට ඇතුළු කරලා ස්විච් එක ඔන් කළාම, ට්‍රිප් එක හොඳ නම් අර ෂෝට් එක, එහෙමත් නැත්නම් අර්ත් වයර් එකට වෙන විදුලි කාන්දුව හේතුවෙන් ට්‍රිප් ස්විච් එක ක්ෂණිකවම off වෙනවා... දැන් තේරුණාද?“