වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
නිවෙස තුළ ඇතිවන ගින්නක් නිවාගන්නා හැටි
* අතට අසුවන දෙයකින් ගින්න නිවන්නට යාම භයානකයි
* පළමුවෙන් කළ යුත්තේ පැතිරයාම වළක්වා ගැනීමයි
විදුලිය කියන්නේ අපට එදිනෙදා ජීවිතයේ නැතුවම බැරි බලශක්ති ප්‍රභවයක්.
අතීතයේ නිවෙස් එළිය කරන්න ප්‍රයෝජනවත් වුණු විදුලිය වර්තමානය වන විට මුළුතැන්ගෙයි උයන පිහින උපකරණ ඇතුළු දහසකුත් එකක් උපකරණ ක්‍රියාත්මක කිරීමට භාවිත කරනවා.
එහෙත් නිසි අවබෝධයක් නැතිකම, නොසැලකිල්ල, අත්වැරැදීම් වැනි හේතු නිසා විදුලියෙන් බොහෝ අනතුරු සිදුවනවා.
ඇතැම් විදුලි අනතුරුවලදී ජීවිත හානි පවා සිදුවනු දැකිය හැකියි.
අපේ මේ ලිපිපෙළේ අරමුණ වන්නේ නොපෙනෙන ලෙස මාරයා සැඟවී ඇති එහෙත් බොහෝ වැඩ ගතහැකි විදුලිය නිසි පරිදි එදිනෙදා ජීවිතය භාවිත කරන්නේ කොහොමද කියලා ඔබව දැනුවත් කරන්නයි.
“ඇත්තමයි මිගාර, මොනවා දැනගෙනද අපි මෙච්චරකල් කරන්ට් යූස් කළේ කියලා හිතෙනවා.“
“ඒකනෙ පූර්ණි මමත් කල්පනා කළේ.... හරිනම් මේ වගේ කරුණු ඇතුළත් පත්‍රිකා වගේ දේවල් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් පාරිභෝගිකයන්ට ලබා දෙන්න ඕනෙ“ කාශ්‍යප කිව්වා.
“පත්‍රිකාවලින් ඒ දේ කරන්න බැහැ කාශ්‍යප. පොඩි පොතකට විතර කරුණු තියෙනවා දැනුවත් කරන්න.“
“මොනවද අප්පා තව තියෙන්නෙ?“
“අහගන්නකො පූර්ණි... විදුලිය නිසා ගිනි ඇති වෙන්න පුළුවන් කියලා මම කිව්වනෙ...“
මිගාර යළිත් දැනුවත් කිරීමකට මුල පිරුවා.
කවර ආකාරයේ හෝ ගින්නක් හටගත්විට පළමුවෙන්ම කළයුතුවන්නේ ගින්දර පැතිරීයාම වළක්වා ගැනීමට අවශ්‍ය කටයුතු යෙදීම ය. කවාරාකාරයේ ගින්නක් ද යන වග තීරණය වන්නේ මූලික තාප ප්‍රභවය (ඇවිලෙන ද්‍රව්‍ය) අනුවය. එය කොටස් තුනකින් වර්ගීකරණය කර ඇත. එනම්,
* A කාණ්ඩය - ලී, කඩදාසි, රෙදි
* B කාණ්ඩය -පෙට්‍රල් ඇතුළු ඉන්ධන, ටිනර්, මධ්‍යසාර ස්ප්‍රිතු ආදිය
* C කාණ්ඩය - විදුලිය දෝෂ ආදිය හේතුවෙන් ගින්නක් ඇති වු විට එම ගින්න නිවා දැමීමට භාවිත කළයුතු මාධ්‍යය පිළිබඳ අවබෝධය පොදුවේ සෑම දෙනෙකු තුළම තිබීම අතිශය වැදගත් ය. එසේ නොමැතිව අනවබෝධයෙන් අතට අසුවන දෙයක් ගිනි නිවන මාධ්‍යය ලෙස භාවිත කිරීම අනතුරුදායක බව තරයේ සිහි තබාගත යුතු කරුණකි. ගිනි නිවීම සඳහා යොදා ගතහැකි මාධ්‍ය හතරක් තිබේ. එනම්,
01. ජලය (H20)
02. කාබන් ඩයොක්සයිඩ් (Co2)
03. වියළි කුඩු ( Dry Powder)
04. පෙණ (Frath)
මෙමඟින් පෙර සඳහන් කළ ගිනි කාණ්ඩ සඳහා අනතුරුදායක, සුදුසු, ඉතා සුදුසු මාධ්‍ය මොනවාද කියා විමසා බලමු.
“දැන් තේරුණා නේද දෙන්නටම, ගින්නක් නිවන්න කිව්වාම මුලින්ම මතකයට එන්නෙ ‘වතුර‘ වුණාට, ඒකෙන් අනතුරක් තියෙනවා කියලා.“
“ඒකනෙ මිගාර, තමන්ගෙ ගෙදර තමයි සුරක්ෂිතයි කියලා හිතුණට ඒක එහෙමම නෙමෙයි කියලා දැන් හිතෙනවා.“ කාශ්‍යප කීවේය.
“විදුලියෙන් ආරක්ෂා වෙන විදිහ ගැන අපි කතා කළේ රෙපයාර් එකක් කරන වෙලාවෙදි විතරනෙ. දැන් බලමු නිවැසියන්ට වගේම උපකරණවලට හානි සිදුවෙන්න පුළුවන් අවස්ථා මොනවද කියලා.“
මිගාර තවත් දැනුවත් කිරීමකට මුල පිරුවා.
“මුලින්ම අවධානය යොමු කරමු අකුණු සහිත වැසි පවතින අවස්ථා ගැන.“
ගෘහස්ථ විදුලි උපකරණ පමණක් නොව නිවෙසේ සමස්ත විදුලි රැහැන් පද්ධතියට මෙන්ම නිවැසියන්ට පවා අනතුරු සිදුවි හැකි අවස්ථාවක් ලෙස අකුණු සහිත වර්ෂාව පෙන්වා දීමට පුළුවන. එබැවින් පදිංචි ප්‍රදේශය අවට ප්‍රදේශයට මෙම තත්ත්වය පවතීනම් පළමු අවස්ථාවේදීම විදුලි උපකරණවලට (ශීතකරණය, රූපවාහිනිය, විදුලි පංකා, වායු සමීකරණ, පරිගණක) ලබා දී ඇති සම්බන්ධතා පේනු මඟින්ම (Plug Top) ගලවා දමන්න. අකුණු පවතින විට කවර තත්ත්වයක් යටතේ හෝ ජංගම දුරකතනවලට බැටරි ආරෝපණය කිරීම හෝ ඇමතුම් ලබාගැනීමෙන්, අන්තර්ජාල ක්‍රියාකාරකම්වලින් බැහැර වී සිටීමට වගබලාගන්න.
අකුණු ගසන අවස්ථාවක දී හැර සාමාන්‍ය තත්ත්වයක් යටතේ ට්‍රිප් ස්විචය (Residual Curent Circuit Breaker - ශේෂ ධාරා පරිපථ සිඳලනය) ක්‍රියාත්මක වී විදුලිය ස්වයංක්‍රීයව බිඳවැටිමක් සිදුවුවහොත් ඒ සඳහා බලපෑ හේතු කුමක්දැයි පරීක්ෂා නොකර විදුලි සැපයුම යථාවත් කිරීම (Trip Switch On) නොකළ යුතුය.
ගෘහස්ථ පරිපථයේ සහ පිටත භූගත අර්ත් වයර් සම්බන්ධතා නිසි ලෙස ක්‍රියාත්ක තත්ත්වයේ පවතීදැයි නිරන්තර අවධානයෙන් සිටීම වැදගත් කරුණකි.
විදුලි උපකරණවලට සැපයුම ලබා දෙන කේබල් අධික තාපය සහිත තත්ත්වයන්ට සමීපයේ තිබීම අතිශය හානි කරවීමට ඉඩ තිබේ. බොහෝවිට මෙය සිදුවන්නේ රයිස් කුකරය, හීටරය, බ්ලෙන්ඩරය ආදියේ දීය. අධික ලෙස රත්වී පවතින යමක මෙම වයර් ස්පර්ශ වුවහොත් සන්නායකයේ පිටත ආවරණය උණු වීමෙන් අනතුරු සිදුවීටම ඉඩ තිබේ. මේ සඳහා ආරක්ෂක විකල්පයක් ලෙස කපු භාවිතයෙන් සන්නායක ආවරණය කළ කේබල් (Cotton Cover Cable) යොදා ගැනීමට පුළුවන. මෙබඳු කේබල් විදුලි ඉස්ත්‍රික්ක සඳහා භාවිත වේ.
නිවෙසට මුලින්ම විදුලි රැහැන් අදින විටදී හෝ පසු කාලයකදී වෙනත් ස්ථානයකට විදුලි බුබුලක්, ප්ලග් පොයින්ට් එකක් යෙදීමේ දී හරුවක් (Fuse Point / Circuit Breaker) විදුලි පහන් ධාරකයක්, (Holder) කෙවෙනි පිටුවානක් (Plug Base) යන ස්ථානයකින් අදාළ වයර් සම්බන්ධතා ලබා ගන්නවා මිස, රැහැන් පද්ධතියේ අතර මැද දී විදුලි රැහැනේ ආරක්ෂක ආවරණය පලුදු කර ගැනීම කිසිසේත් නොකළ යුතුය.
සටහන
අජන්ත ජයසේකර