වැන්ඩා පවුලට අයත් තවත් ප්‍රභේද කිහිපයක්

නොවැම්බර් 29, 2021

චමත්කාරජනක ඕකිඩ් මල් ලෝකයේ වටිනාකමින් ඉහළ අගයක් ගන්නේ වැන්ඩා ප්‍රභේදයයි. වැන්ඩා යනු සුන්දරත්වයෙන් සේම ප්‍රමාණයෙන්ද තරමක් විශාල ඕකිඩ් මලකි.

කුඩා වැන්ඩා පැළෑටියක් බඳුන්ගත කරන ආකාරය පමණක් නොව ජලය, පොහොර සපයමින් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නා අයුරුත් මේ වනවිට ඔබ හොඳින් දැනුවත්. ඒවාගේම වැන්ඩා සහ ස්ට්‍රැප් වැන්ඩා ශාක සතු විශේෂත්වයන් පිළිබඳ ද ඔබ දන්නවා.

වැන්ඩා පවුලට අයත් තවත් සොඳුරු ඕකිඩ් කුමාරියන් කිහිපදෙනකුම සිටින අතර ඔවුන්ගේ වගතුග මොනවාදැයි අද අපි සොයා බලමු.

 

ඇස්කොසෙන්ඩා (Ascocenda)

වැන්ඩා සහ ඇස්කොසෙන්ට්‍රම් (Ascocentrum) අතර දෙමුහුන් ප්‍රභේදයක් වන මේ ඇස්කොසෙන්ඩා ද කැපුම් මල් සඳහා වගාකරන ඕකිඩ් වර්ගයකි. මේ ඇස්කොසෙන්ඩා පැළෑටිය ස්ට්‍රැප් වැන්ඩා පැළෑටියට වඩා තරමක් කුඩාය. ඒවාගේම අනෙක් වැන්ඩා ප්‍රභේදයන්ට සාපේක්ෂව මේ ඇස්කොසෙන්ඩා ප්‍රභේදයේ වාර්ෂිකව වැඩි මල් කිනිති සංඛ්‍යාවක් නෙළා ගත හැකියි. එමෙන්ම විෂ්කම්භය සෙන්ටිමීටර් 03ක් පමණ වූ කුඩා මල් සමූහයක් එක් කිනිත්තක දැකිය හැකියි. ඔබේ ඕකිඩ් වගාවටත් මේ ඇස්කොසෙන්ඩා ප්‍රභේදය එකතු කරගැනීමට රුචිකත්වයක් දක්වන්නේ නම් අනෙක් වැන්ඩා වගාකරන ක්‍රමයම අනුගමනය කළ හැකි වේ.

 

රයිකොවැන්ඩා (Rhycovanda)

 

අතීතයේ දී එතරම් ජනප්‍රියත්වයක් හිමි නොවූ නමුත් පසුකාලිනව සීග්‍රයෙන් ජනප්‍රියත්වය කරා යොමු වූ තවත් වැන්ඩා ප්‍රභේදයකි රයිකොවැන්ඩා. මේ රයිකොවැන්ඩාවල ද දෙමුහුම් ප්‍රභේද දැකිය හැකි අතර මේ දෙමුහුමේ මට්ටම අනුව ඇතැම් ඒවායේ මල් කිනිති ඉහළටද සමහර ඒවායේ මල් කිනිති පහළට සිටින සේ සකස් වේ. රයිකොවැන්ඩා වගා කිරීමේ දී ද අනුගමනය කළ යුත්තේ වැන්ඩා වැවීමේ දී සිදු කළ යුතු ක්‍රියාපටිපාටියමයි.

 

ක්‍රිස්ටියාරා බැංකොක් සන්සෙට් (Christear Bangkok Sunset)

 

ඉතාමත්ම දැකුම්කලු වැන්ඩා ප්‍රභේදයකි මේ. සොඳුරු වර්ණ කිහිපයකම සංකලනයක් සහිතව බිහි වූ දෙමුහුමක් වූ මේ ක්‍රිස්ටියාරා බැංකොක් අධික මිලකට අලෙවිවන පැළෑටියක් බවත් අමතක කරන්න එපා.

සෙමි ටෙරීට් වැන්ඩා, ඇරැන්ඩා, රෙනන්තරා වැනි ඕකිඩ් වර්ග සිමෙන්ති පෝච්චිවල හෝ ගඩොල් වැනි ද්‍රව්‍යයකින් තැනූ දිග බක්කිවල වගා කළ හැකියි. එම බක්කි උළුකැට කැබැලි සහ දැව අඟුරුවලින් අඩක් පමණ පුරවා වගාව සඳහා සකසාගන්න. පැළෑටි සිරස්ව වැඩීම සඳහා මෙම බක්කි තුළ සිරස් ආධාරක සිටුවා පැළ ඒවාට තබා ගැට ගසන්න.

 

මෙම ප්‍රභේද සඳහා පූර්ණ සූර්යාලෝකයක් අවශ්‍ය වේ. කලකට ඉහතදී අපේ රටේ කැපුම් ඕකිඩ් සඳහා මෙම වර්ග වගා කළ ද වර්තමානය වනවිට ඉල්ලුමේ අඩුවක් ඇති බවද දක්නට ලැබේ.

නමුත් මල් අපනයනය කරන රටවල් කිහිපයක්ම පහත දැක්වෙන වර්ග විශාල වශයෙන් වගා කෙරේ.

• ඇරැක්නිස් මැගි වී (Arachnis maggie oei)

 

• ඇරැන්ඩා ක්‍රිස්ටීන් (Arenda Christine)

 

• ඇරැන්ඩා හිල්ඩා ගැලිස්ටන් (Arenda Hilda Galiston)

 

• ඇරැන්ඩා නූරා අල්සගොෆ් (Aranda Noorah Alsagoff)

 

• ඇරැන්ඩා වෙන්ඩි ස්කොට් (Aranda Wendy Scott)

 

• ඇරැන්තරා ඇන් බ්ලැක් (Arenthera Anne Black)

 

• ඇරැන්තරා ජේම්ස් ස්ටෝරි (Arenthera James Storeii)

 

• මොකාරා බැංකොක් ගෝල්ඩ් (Mokara Bangkok Gold)

 

• මොකාරා ප්‍රින්සස් මිකාසා (Mokara Princess Mikasa)

 

• රෙනන්තරා කැල්සම් (Renanthera Kalsom)

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ