එළවළු පලතුරු නිවැරැදිව ශීතකරණයේ අසුරමු

කාලයත් මුදලුත් ඉතිරි කරමු
නොවැම්බර් 29, 2021

 

නිවෙසක අත්‍යවශ්‍ය භාණ්ඩයක් වුණු ශීතකරණයේ නිවැරැදි පිළිවෙළට බඩුභාණ්ඩ ඇසුරුම් කළේ නැත්නම් එය වැඩ පහසු කරවන උපකරණයක් වෙනුවට කාලය සහ මුදල් කා දමන භාණ්ඩයක් බවට පත්වේවි.

ශීතකරණය පිරිසුදු කරගන්නා අන්දම පිළිබඳ පසුගිය සතියේ කතාබහ කළා ඔබට මතක ඇති. මෙවර අපි බලමු කොහොමද නිවැරැදි පිළිවෙළට එළවළු, පලතුරු යනාදිය අසුරන්නේ කියා.

ආහාර රටාවේදී එදිනෙදා අවශ්‍ය වන දෑ නරක් නොවී කල්තබා ගැනීමට ශීතකරණය අත්‍යවශ්‍යයි. ඔබ දක්ෂ ගෘහණියක් නම් මේ දේවල් මනාව කළමනාකරණය කරගත යුතුයි. උදාහරණයක් ලෙස දෙහි, අමුමිරිස්, තක්කාලි, ඉඟුරු ආහාර පිසීමේ දී එදිනෙදා භාවිතයට ගන්නා දේවල්. ඒවා වාරයේ දී මිල අඩුයි. අවාරෙදි මිල වැඩියි. මේවා අවාරයේදී භාවිතයට ගන්නට ශීතකරණයේ තබා ගත හැකියි.

එළවළු, පලතුරු

වෙළෙඳපොළෙන් ගෙන එන එළවළු සෝදලා කපලා ගේ ඇතුළෙම මඳ පවනේ වියළලා zip lock බෑග්වල දාලා තියන්න. මේ බෑග් දැන් සුපිරි වෙළෙඳසල්, තොග කඩ, බෑග් ඉටිකොළ වගේ විකුණන්න තියෙන තැන් වලින් ගන්න පුළුවන්. නැවත නැවත භාවිතයට ගත හැකි නිසා මුදල් අපතේ යෑමක් වෙන්නේ නැහැ. බෑග් එක වහද්දි වාතය ඇතුළේ නොරැඳෙන පරිදි වසා ගන්නට අමතක කරන්න එපා.

තරමක් වැඩියෙන් තියෙනවා නම් අධි ශීතකරණ කොටසේ තියන්නත් පුළුවන්. ඊට අමතරව එදිනෙදාට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් වෙන වෙනම මේ බෑග්වල අසුරන්නත් පුළුවන්. වතුර ගතිය අඩු එළවළු වර්ග මේ විදිහට අසුරලා භාවිතයට ගන්න පුළුවන්. උයන්න අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් ම හෝදලා එහි අසුරද්දි හරිම පහසුයි. උදේට උයන විට මේ වගේ උපක්‍රම වැඩ පහසු කරාවි. කාලය ඉතිරි කරාවි. වෙනදා උදේ පහට විතර නැඟිටින කෙනකුට තව පැය භාගයක් විතර පහසුවෙන් ම නිදා ගන්නත් පුළුවන්.ෆ්‍රීස් කරපු මේ එළවළු උයන්න ගනිද්දි එහි සීතල ගතිය ඉවත්වන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් එහි වතුර ගතිය වැඩි වෙලා ව්‍යංජනයට දිය ගතියක් එකතු වේවි. වෙනදා දමන වතුර ප්‍රමාණයට වඩා අඩු වතුර ප්‍රමාණයක් එකතු කරන්න. සීතල තියෙද්දි ව්‍යංජනය පිස ගන්න.පලතුරුත් මේ ක්‍රමවලට අසුරා ගන්න පුළුවන්.

 

දෙහි කල් තබා ගැනීම

දෙහි ගෙඩි එකින් එක ටිෂු එක බැගින් ගෙන ඔතලා පෙට්ටිවල දාලා අසුරන්න පුළුවන්. තවත් කෙනකුට දෙහි මිරිකලා අයිස් කියුබ්ස් විදිහට දාලා තියන්නත් පුළුවන්. දෙහි මිරිකලා භාජනයකට දාන්නත් පුළුවන්. ලුණු දෙහි දැමීමත් එක් ක්‍රමයක්.

දෙහි ගෙඩියක් කුඩා කැබලිවලට කපලා පුංචි බෝතල්වලට මිරිකලා දාලා අධිශීතකරණයේ තියන්න. මේවා භාවිතයට ගනිද්දි විනාඩි කිහිපයකට කලින් අරන් භාවිතයට ගන්න පුළුවන්. දෙහි කුඩාවට කපලා මිරිකන්නේ නැතිව වුවත් බෝතලයකට දාන්න පුළුවන්. මේ දේවල්වලදි දෙහි හොඳින් හෝදලා කිචන් ටවල් එකකින් තෙත පිහදාන්නත් අමතක කරන්න එපා. දෙහි ගෙඩි පිටින්මත් zip lock බෑග් එකකට ටිෂු එකක් උඩටයි යටටයි දාලා අධිශීතකරණයේ දැමීමෙන් කල්තබාගන්නත් පුළුවන්.

 

අමුමිරිස්

අමුමිරිස් කල් තබා ගනිද්දි එහි නැටි කොටස ඉවත් කළ යුතුයි. කහ, විනාකිරි දමපු වතුර එකකට මේ අමුමිරිස් දමා විනාඩි දහයක් විතර තියලා නැවත ගලා එන ජලයෙන් සෝදලා කිචන් ටවල් එකක් උඩට දාගන්න. හොඳින් තෙත මාත්තු කරලා මඳ පවනේ තියන්න. අව්වේ නම් තියන්න එපා. මෙහිදී රතු, කහ පැහැයන්ට හැරී ගෙන එන අමුමිරිස් කල්තියාගන්න ගන්න එපා. පෙට්ටියක් අරන් ටිෂු එකක් එළලා ඒ මත අමුමිරිස් ටිකක් අසුරලා තවත් ටිෂු එකක් එළන්න. ඒ මතටත් අමුමිරිස් දාලා උඩින් නැවත ටිෂු එකක් එළන්න. මේ විදිහට තට්ටු කිහිපයකට ඔබේ පෙට්ටියේ ප්‍රමාණයට අමුමිරිස් අසුරාගන්න පුළුවන්. ඔබත් මතක තබාගන්න ශීතකරණයේ සාමාන්‍ය කොටසෙහි මේ අමුමිරිස් ඇසිරීම කළ යුත්තේ.

 

ඉඟුරු, සුදුලූනු

ඉඟුරු සුදුලූනු පේස්ට් එකක් විදිහට හදලා කල්තියාගන්න පුළුවන්. මෙහිදී ඉඟුරු හොඳින් හෝදලා පිහියකින් පොත්ත සූරගන්න. නැවත ගලායන ජලයෙන් සෝදලා, ටිෂු එකකින් හෝ කිචන් ටවල් එකකින් පිහදලා තෙත මාත්තු කර පුංචි කෑලි කෑලිවලට කපලා zip lock බෑග් එකක දාලා තියන්න. ඉඟුරු කැබැලි අයිස් කියුබ් ට්‍රේ එකක දාලා අධි ශීතකරණයේ තැබීමෙන් පසු නැවත ඒවා බෑග් එකක දාලා ශීතකරණයේ තියන්නත් පුළුවන්.

ඉඟුරු, සුදුලූනු සුද්ද කර සෝදා වේළලා සිහින්ව කපාගන්න. දැන් ග්‍රයින්ඩරයකට දාලා ලුණුකුඩු, පොල්තෙල් ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ පේස්ට් එක බෝතලයක අහුරලා තියන්න පුළුවන්. නැත්නම් පෙර මෙන් අයිස් කියුබ් විදිහට හදලා zip lock බෑග් එකක දාලා අධිශීතකරණයේ තියන්නත් පුළුවන්.

 

කරපිංචා

කරපිංචා මැලවිලා, කොළ හැළිලා, කොළ කළු පැහැවෙලා නම් ඒ කරපිංචා ශීතකරණයේ තියලත් වැඩක් නැහැ. කරපිංචා මිටිය හොඳින් සෝදලා වතුර බේරලා මඳ පවනේ තියන්න. කිචන් රටවල් එකකින් මේ කරපිංචා ටික හොඳින් ඔතලා තියන්න. මේ කරපිංචාත් පෙට්ටියක ටිෂු කඩදාසියක් එළලා ඒ මත ඉති කිහිපයක් දමා ඊට උඩින් තවත් ටිෂු එකක් එළා මේ වගේ තට්ටු තට්ටු විදිහට අහුරගන්න පුළුවන්. zip lock බෑග් එකක දෙපැත්තට ටිෂු දාලා ඉතිපිටින් අහුරන්නත් පුළුවන්. කරපිංචාවල දලු කොළ නම් කල්තියාගන්න බැහැ. දලුවල තෙත ගතිය නිසා කළුවෙන්න බලනවා.

ලබන සතියේ මස්, මාළු ශීතකරණයේ නිවැරැදිව අසුරා ගන්නේ කොහොමද බලමු.