සරුසාර ගොටුකොළ වගාවකින් අතමිට සරුකරගත හැකියි

ජූලි 1, 2020

ත් පත රසකරන අපූරු පලා වර්ගයක් වූ ගොටුකොළ, සම්බෝලයට, මැල්ලුමට සේම කැඳවලට ද ඇත්තේ ඉහළ ඉල්ලුමකි.ඉතා රසවත් පලාවක් ලෙසින් මෙන්ම විවිධ රෝගාබාධ සඳහා ඖෂධයක් වශයෙන් ද මෙය ආහාරයට එක්කර ගැනේ.

එමෙන්ම ගොටුකොළ යනු ඉතා පහසුවෙන් වගා කරගත හැකි පලා වර්ගයක් බැවින් තම ගෙමිදුලට එකතු කර ගැනීමට ද බොහෝ දෙනකු කැමැතිය. විශේෂයෙන්ම ගොටුකොළ පත්‍රයේ ඇති සොඳුරු පෙනුමටත්, වැඩි අපහසුවකින් තොරව වගා කරගැනීමට හැකිවීමත්, එක් බඳුනකින් වුවද වේලකට ප්‍රමාණවත් පරිදි පලාවක් නෙළා ගතහැකි වීමත් යන කාරණා නිසාම බොහෝ දෙනෙක් තම ගෙමිදුලේ හෝ බඳුනක දෙකක ගොටුකොළ වගාවක් පවත්වා ගැනීමට උනන්දු වෙති.

වර්ග කිහිපයකි

සාමාන්‍යයෙන් වැලි මිශ්‍ර පසක් සහිත ඕනෑම ප්‍රදේශයක ගොටුකොළ පහසුවෙන් වගා කර ගත හැකිය. මෙහිදී ගොටුකොළ වර්ග කිහිපයක්ම ඇති බැවින් ඔබ වගා කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ සොයා බලා සුදුසු වර්ගය තෝරා ගතයුතුය.

වතු ගොටුකොළ,වැල් ගොටුකොළ, පෝච්චි ගොටුකොළ, යෝධ ගොටුකොළ ආදී වශයෙන් වර්ග කිහිපයකි. මේ අතරින් වතු ගොටුකොළ යනු මුල් සමඟ උදුරාගෙන ප්‍රයෝජනයට ගන්නා වර්ගයකි. වැල් ගොටුකොළ ද ඊට බෙහෙවින් සමාන වන අතර එහි පත්‍ර කුඩාය. පහසුවෙන්ම ගෙමිදුලේ වැවේ.

යෝධ ගොටුකොළ, පෝච්චි ගොටුකොළ ආදිය බඳුන්ගතව වගා කළ හැකි අතර ඒවායේ දඬු තරමක් කහට රසයෙන් යුක්තය.

මේ කුමන වර්ගයක් වුවත් ඔබට ස්ථිර භූමියේ මෙන්ම බඳුන්වල ද පහසුවෙන් වගා කිරීමට හැකි අතර බඳුන් ලෙස ඉවත දමන සහල් කවර, ප්ලාස්ටික් බෝතල්, බේසම්, මල් පෝච්චි, පරණ ටයර් ආදිය යොදා ගත හැකිය.

වගා මාධ්‍යය

ඔබ මෙම වගාව ස්ථිර භූමියෙහි හෝ බඳුන්ගතව සිදුකළද පළමුවෙන්ම එහි වගා මාධ්‍යයේ පස ජීවානුහරණය කරගත යුතුය. ඉන්පසුව කුකුළු පොහොර හෝ කොම්පෝස්ට් පසට කලවම් කරගෙන ගොටුකොළ මුල් සහිත කොටස තැනින් තැන සිටුවිය හැකිය. ටික දිනකින් මේවා අපූරුවට පැතිරී යනු ඇත.

ජලය සහ පොහොර

ඒ අතරතුරේ උදේ සහ සවස ජලය යොදන්න. වගාව තුළ තරමක තෙතමනය රඳවා තබා ගැනීමෙන් සරුසාර වගාවක් ඇති කරගත හැකිය.

එමෙන්ම සති තුනකට වරක් කුකුළු පොහොර හෝ ගොම පොහොර යෙදීමෙන් ගොටුකොළ සරුවට වැඩේ.

උපදෙස් - ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී,

විසිතුරු මල් වගා උපදේශක,

කෘෂ ි විද්‍යා ශූරී, මාබොදලේ

රංජිත් කළුආරච්චි

2020/07/01 තරුණි පුවත්පත බලන්න.