ෆැලනොප්සිස් වගාවට පොහොර යොදන අයුරු

ජනවාරි 3, 2022

 

නේක වර්ණ රටා මවන උඩවැඩියා ලෝකයේ සුන්දර ප්‍රභේදයකි ෆැලනොප්සිස්. විශේෂයෙන්ම මංගල මල් කලඹට වාගේම මනාලියගේ හිස් පලඳනාවට ද අපූරු දැකුම්කලු බවක් එකතු කරනා මේ ෆැලනොප්සිස් වගාව හරහා හොඳ ආදායමක් උපයාගත හැකියි.

 

හැබැයි ඒ සඳහා ඔබ ෆැලනොප්සිස් වගාව ක්‍රමානුකුලව පවත්වාගෙන යායුතු වීම ඉතා වැදගත්. පසුගිය සතියේදී කුඩා ෆැලනොප්සිස් පැළ වෙන්කර සිටුවීම වාගේම ඊට ජලය සහ සෙවණ සැපයීම පිළිබඳ දැනුවත් කළා ඔබට මතක ඇති. එහෙමනම් මේ කුඩා පැළ තරමක් වැඩුණු පසු වෙනත් බඳුන්වලට මාරු කරන ආකාරය වාගේම ක්‍රමානුකුලව පොහොර සැපයීම ගැනත් අද අපි දැනගනිමු.

 

 

පොහොර සැපයීම

සමූහ බඳුන්වල හෝ කුඩා මැටි භාජනවල සිටවූ පුංචි ෆැලනොප්සිස් පැළවලට දිනක් හැර දිනක් ජලය සැපයිය යුතු බව අප සඳහන් කළා. ඒ වාගේම දින දෙකක් හැර දිනයක් පොහොර සැපයීමත් කළ යුතුයි. මෙහිදී සමබර පොහොරක් (N:P:K 20:20:20) සහ පොස්ෆරස් වැඩි පොහොරක් (N:P:K 10:52:10) අඩු මාත්‍රාවකින් ඉසින්න.

ඊට අමතරව ඉතා වියළි කාල වකවානුවලදී සති දෙකකට වරක් පමණ කාබනික පොහොර ඉසීමද සුදුසුය.

 

දිලීර නාශක

පළමු මාස හතර තුළ ෆැලනොප්සිස් පැළ සිටවූ කුඩා පෝච්චි එකිනෙකට ළංව මැස්සක් මත තැබීම සුදුසුය. එවිට දිලීර හානිවලට ලක්වීමට ඉඩ ඇති බැවින් සතියකට වරක් කැප්ටාන්, මැන්කොසෙබ් හෝ ඇන්ට්‍රකෝල් වැනි දිලීර නාශකයක් ඉසින්නට අමතක නොකරන්න.

 

බඳුන් මාරුකිරීම

මෙම පැළෑටිවල පත්‍ර හතරක් පමණ හටගත් පසුව බඳුන් මාරු කිරීම කළයුතු වේ. ඒ සඳහා සිදුරු සහිත සෙන්ටිමීටර් 12ක් පමණ විෂ්කම්භයකින් යුතු මැටි පෝච්චි තෝරාගන්න.

 

 

 

වගා මාධ්‍යය

වගා මාධ්‍යය වශයෙන් දැව අඟුරු සහ උළු කැට කැබැලි මෙහිදී ද යොදා ගත හැකියි. නමුත් මේ උළුකැට සහ අඟුරු කැබැලි සෙන්ටි මීටර් 2 1/2ක් පමණ විශාල විය යුතු අතර ඕකිඩ් ශාකයේ මුල් පමණක් එම කැබැලි අතරේ රඳවන්නට වගබලාගන්න.

මෙලෙස වෙනත් බඳුන්වලට මාරු කළද ඉහත සඳහන් කළ පොහොර වර්ගම නියමිත මාත්‍රාවෙන් යොදන්න. ඊට අමතරව දිනයක් හැර දිනයක් ජලය දැමීම ද ප්‍රමාණවත්ය.

වර්ෂා කාලයේ දී මේ ෆැලනොප්සිස් පැළ වැසි දියෙන් ආවරණය කර තැබුවත් ජලය දමන වාර ගණන තවත් අඩු කළ හැකිය. ඒවාගේම සවස් කාලය වනවිට ඔබේ වගාවේ පත්‍රමත, කරටියේ හෝ වගා මාධ්‍යයේ ජලය රැදී නොතිබිය යුතු වේ. මන්ද එලෙස ජලය රැදී තිබුණහොත් පත්‍ර වාගේම කරටි සහ මුල් කුණුවී යාමට බොහෝදුරට ඉඩකඩ ඇති බැවිනි.

 

 

උපදෙස්

සුමුදු ඕකිඩ්ස් හි

ජයන්තිමාලා එදිරිසිංහ