විදුලි අනතුරු අවම කරගන්න Safety First

ජූලි 15, 2024

 

අද වනවිට විදුලිය අපට අත්‍යවශම අංගයක් බවට පත්ව තිබේ. එසේ විදුලිය භාවිතයේදී, විදුලි සැර වැදීම් නිසා සිදුවන ජීවිත හානි, තුවාල වීම්, පිලිස්සීම්, විදුලි කාන්දු වීම නිසා ඇතිවන ගිනි ගැනීම්, දේපොළ හානි අපට නිතරම අසන්නට ලැබේ.

මේ කොයි කරුණටත් ගෙදර දොරේදී සිදුවන විදුලිසැර වැදීම්වලට අඩු හෝ වැඩි වශයෙන් මුහුණ පාන්නට සිදුවන්නේ ගෘහිණියටයි. එබැවින් කාන්තා ඔබ විදුලිය භාවිතය සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් වීම ඉතා වැදගත්ය.

අපගේ නිවෙසට, කාර්යාල ආදී ස්ථානවලට විදුලිය ලබා ගන්නේ ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ලංකා විදුලි පුද්ගලික සමාගමෙනි. විදුලි බලය බෙදාහැරීම තෙකලා (Three Phase) හා එකලා (Single Phase) ලෙස දෙවර්ගයකි. තෙකලා විදුලිය වෝල්ටීයතාවක් පවතින සජීවී රැහැන් (Live Wire) 3ක් හා උදාසීන (Neutral) රැහැනකින් සමන්විත වේ. විශාල නිවෙස් සඳහා තෙකලා විදුලිය ලබා ගනී. එකලා විදුලිය එක් සජීවී රැහැනකින් හා උදාසීන රැහැනකින් සමන්විතවන අතර බොහෝ නිවෙස් සඳහා එකලා විදුලිය භාවිත කරයි.

සාමාන්‍යයෙන් නිවෙසක විදුලි පද්ධතියේ සජීවී කම්බියේ විභවය (Voltage) වෝල්ට් 230කි. විදුලි සැර වැදීම සහ ඉන් මියයෑම ගැන සැලකීමේදී මිලි ඇම්පියර් 30ක් වැනි ඉතා සුළු ධාරාවක් (Current) මිනිස් සිරුර හරහා ගමන් කිරීමෙන් ජීවිත හානියක් සිදුවිය හැකිය. එවිට මිනිස් සිරුරේ ප්‍රතිරෝධය (Resistance) එනම් ධාරාව ගැලීමට ඇති බාධාව අනුව වෝල්ට් 50කට වඩා වැඩි විභවයක් ඇල්ලීම හානිකරය. විදුලි සැර වැදීම නිසා කෙනකු මිය යා හැකි ආකාර කිහිපයකි. එනම් හෘද ස්පන්දනය අධිකව වැඩි වීම නිසා මොළයට ලේ සැපයුම නතර වීම, පපු ප්‍රදේශයේ පේශි සංකෝචනය නතර වීම, පපු ප්‍රදේශයේ පේශි සංකෝචනය වීම නිසා හුස්ම හිර වීම, අධික පිලිස්සීම නිසා ඇතිවන තුවාල ආදියයි.

විදුලි සැර වැදීම් නිසා ජීවිත හානි ඇතිවීමට බලපාන ප්‍රධාන සාධක ලෙස සිරුර තුළින් ගලන ධාරාව, විදුලියට නිරාවරණය වූ කාලය සහ සිරුර තුළ ගමන් කරන විදුලි ධාරාවේ මාර්ගය වැදගත් වේ. උදාහරණයක් ලෙස සිරුර තුළින් ගලන ධාරාව වැඩි වූ විට අඩු කාලයකින් මරණය සිදුවිය හැකියි. තවද විදුලිය පපු පෙදෙස හරහා ගමන් නොකරයි නම් හානිය අවම කරගත හැකියි. උදාහරණයක් ලෙස මිනිසකුගේ දකුණු අත විදුලිය හා ස්පර්ශ වන අවස්ථාවක විදුලි මාර්ගය ශරීරය හරහා දකුණු පාදය හරහා පොළවට ගමන් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති අතර, එම අවස්ථාවේ විදුලි ධාරාව හෘදය හරහා ගමන් කිරීමේ ස්වභාවය අඩු බැවින් හානිය අවමවන අතර මාරාන්තික නොවේ. විදුලි සැරවල බලපෑම් අවම කළ යුතු අතර ධාරාව අවම කිරීමට සිරුර හරහා ප්‍රතිරෝධය හැකි ලෙස උපරීම කළ යුතුය. සාමාන්‍යයෙන් සිරුර වියළි වූ විට ප්‍රතිරෝධය වැඩි අතර, සිරුර තෙත් වූ විට විදුලිය සමඟ සම්බන්ධ වීම වැළකිය යුතුය. තවද විදුලිය සමඟ වැඩ කරන උපකරණ භාවිත කරන අවස්ථාවලදී සිරුරේ ප්‍රතිරෝධය වැඩි කිරීමට රබර් වැනි පරිවාරක අත් ආවරණය, පාවහන් පැලඳීම කළ හැකිය. එසේම රබර් පාපිසි, බුමුතුරුණු වැනි පරිවාරකයක් මත සිට වැඩ කිිරීමෙන් විදුලි සැර වැදීම අවමකර ගත හැකිය.

ඔබේ නිවෙසේ සැබෑ තත්ත්වය

අද ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් විදුලි බලය සඳහා ඇති ප්‍රවේශය 99% පමණ වේ. එබැවින් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බහුතරයකට නිවෙස් සඳහා විදුලිය ලබා ගැනීමට හැකි වී තිබේ. මෙම විදුලි පහන් හා උපකරණවල පාලනයට හා පුද්ගලයන්ගේ ආරක්ෂාවට ප්‍රධාන ස්විචය (Main Switch) ශේෂ ධාරා පරිපථ බිඳිනය (Trip Switch) සහ සිඟිති ධාරා පරිපථ බිඳින (MCB) වැනි විදුලි උපාංග යොදා ගනී. ප්‍රධාන ස්විචය (Main Switch) ආරක්ෂිත උපකරණයක් නොවන අතර අවශ්‍ය විටෙකදී එමඟින් විදුලිය විසන්ධි කළ හැකියි.

ප්‍රධානතම ආරක්ෂිත උපකරණය ලෙස ශේෂ ධාරා පරිපථ බිඳිනය (Trip Switch) භාවිත කරයි. මෙහිදී සජිව කම්බි (Live Wire) සහ උදාසීන (Neutral) කම්බි අතර, ධාරාවේ වෙනස අනුව මෙය ක්‍රියාත්මකවන අතර, නිවෙස්වල භාවිත කරන ශේෂ ධාරා පරිපථ බිඳිනවල සංවේදීතාව මිලි අැම්පියර් 30කි. එනම් කිසියම් පුද්ගලයකු සජීවී කම්බිය ඇල්ලීමෙන් මිලි ඇම්පියර් 30ක ධාරාවක් ඔහුගේ සිරුර තුළින් ගමන් කිරීමෙන් ශේෂ ධාරා පරිපථ බිඳිනය ක්‍රියාත්මක වී විදුලිය විසන්ධි වී පුද්ගල ආරක්ෂාව සැලසේ.

 

 

උපදෙස් -

ආචාර්ය එච්. එච්.ඩී. නලින්

ප්‍රධාන ඉංජිනේරු

වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාව

ලංකා විදුලිබල මණ්ඩලය