මිනී මරන ලකී ප්ලාන්ට්

ජනවාරි 13, 2025

ගෙමිදුලේ හැඩ වැඩ වැඩි කර ගන්නට නේක වර්ණයෙන් මල් පිපෙන ශාක මෙන්ම විචිත්‍ර පත්‍රික ශාක බොහොමයක් එකතු කරගන්නට අපි කවුරුත් කැමැත්තෙමු. මේ විවිධ වර්ණ සහ හැඩ රටා නිසා ඔබේ ගෙමිදුලට ඉහළ පෙනුමක් විචිත්‍රවත්වයක් එකතු කළ ද ඇතැම් ශාක තුළ සැඟවුණු මාරයකු ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

 

විශේෂයෙන්ම විස සහිත මේ ගහකොළ නිසා බොහෝවිට කරදරයට පත් වන්නේ ද වැඩිහිටියන් නොව කුඩා දරු පැටවුන් වීම කනගාටුවට කරුණකි. පසුගිය දා සමාජ මාධ්‍ය

ජාලා තුළ එවැනි සිදුවීමක් පිළිබඳ සංසරණය වූවා ඔබට මතක ඇති. එබැවින් ගෙමිදුල හැඩකරන මේ විචිත්‍ර පත්‍රික ශාක අතරේ ඇති විස සහිත ශාක මොනවාදැයි අප කල්තියා දැන හඳුනාගෙන ඒවා පුංචි දරුවන්ගෙන් ඈත්කර තැබීම වඩා වැදගත්.

 

සාමාන්‍යයෙන් මෙම ශාකවල අඩු වැඩි වශයෙන් පවතින ‘කැල්සියම් ඔක්සිලේට්‘ නම් වූ රසායනික සහ වෙනත් විස අධික රසායනික නිසා ශාක පත්‍ර, ඇට, මල් ආදිය ශරීර ගතවීමෙන් විවිධ සංකූලතා ඇතිවීමට ඉඩකඩ තිබේ. කුඩා දරුවන් මෙම විස සහිත ශාක කොටස් සපා කෑම නිසා හෘද ස්පන්දනය අඩුවීම, හුස්ම ගැනීම අපහසු වීම මෙන්ම ඇතැම්විට මාරාන්තික තත්ත්වයක් ද උදාවිය හැකි බව විවිධ අවස්ථා වල දී සෞඛ්‍ය අංශ ද පෙන්වා දී තිබේ.

 

එබැවින් ඔබගේ දැනුවත් වීම උදෙසා එවැනි විස සහිත ශාක කිහිපයක් මෙසේ හඳුන්වා දෙන්නම්.

 

සෝමියෝ කැල්කස් නොහොත් සෙමිකොලියා (ZAMIOCULCAS)

 

මෑත කාලයේ මෙරට විචිත්‍ර පත්‍රික ශාක අතරට එකතු වූ ශාකයක් වූ සොමිකොලියා මේ වනවිට බොහෝ ගෙමිදුල්වල ඉහළින් වැජඹෙන ශාකයක් බවට පත්ව තිබේ. දිලිසෙන පත්‍ර සහිත මේ සෝමියෝ අතු පිරුණු පඳුරක් ලෙස වැඩේ. කොළ පැහැ පත්‍ර, කොළ - කහ මිශ්‍ර පත්‍ර, මෙරූන් පැහැ පත්‍ර, විශාලව වැඩෙන හා කුඩාවට වැඩෙන ශාක ආදී වශයෙන් වර්ග කිහිපයක්ම දැකගත හැකියි. මෙම පත්‍ර ශරිර ගතවීම බොහෝ භයානකයි.

 

ඩිෆන්බාකියා නොහොත් ඩම්ප් කේන්

(DEFFENBACHIA DUMB CANE)

 

වර්තමානයේ විසිතුරු පත්‍රික ශාකයක් ලෙසින් ගෙඋයනට සපැමිණිය ද ඩිෆන්බාකියා අතීතයේදී නම් දැකගත හැකි වූයේ වෙල් යායවල් අසබඩ හෝ සෙවණ සහිත දිය සීරාව වැඩි ස්ථානවලයි. නමුත් මෙහි විවිධ වර්ණ සහිත ශාක ප්‍රභේද වෙ‍ෙළඳපොළට එකතුවීමත් සමඟ උද්‍යාන අලංකරණයෙහි ප්‍රධාන තැනක් ගන්නා ශාකයක් ලෙස ඩිෆන්බාකියා යොදාගන්නා අයුරු පෙනේ. මේවායේ යුෂ මුඛයේ තැවරීම නිසා උගුර බැරැන්ඩි වීම, උගුර ඉදිමීම, රතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, ආතතිය වැනි රෝග ලක්ෂණ ද වැඩිපුර ශරීරගත වුවහොත් කථන හැකියාව එනම් ගොළු බවට පත්වීමට ද ඉඩ තිබේ.

 

එමෙන්ම මේ ශාකය වැඩි වශයෙන් ගෘහ අභ්‍යන්තරය හැඩකරනා Indoor Plant එකක් වශයෙන් යොදා ගන්නා නිසා කුඩා දරුවන්ට

 

පහසුවෙන් ළංවීමට ඇති හැකියාව වැඩිය. එබැවින් කුඩා දරුවන් සිටිනා නිවෙස් තුළින් මේ ශාකය පිටමං කිරිම වඩාත් ගුණදායකය.

 

කනේරු (Oleander)

 

අතීතයේ දී මෙන් නොව අද වනවිට විවිධාකාරයේ අලංකාර මල් සහිත, විවිධ වර්ණයේ ප්‍රමාණයෙන් කුඩා කනේරු ශාක ගෙමිදුලට පැමිණ ඇතිබව පෙනේ. මේවායේ පත්‍ර, මල්, ඇට ආදිය ශරීරගත වීමෙන් වමනය, ක්ලාන්තය, ආතතිය, උදර අපහසුතා ඇතිවීමේ ඉඩකඩ පවතී.

 

ඉහත සඳහන් ශාකවලට අමතරව නියඟලා, ඇග්ලොනිමා (කෙටල වර්ග) ආදිය ද උග්‍ර විස ඇති කරන ශාක වේ. එමෙන්ම මඳ විස සහිත විසිතුරු ශාක වූ සැන්සිවේරියා (Sansevieria), මනි ප්ලාන්ට් හෙවත් ලකී ප්ලාන්ට් ආදිය ද මෙලෙස ගෙඋයනේ තබා ගැනීමට නුසුදුසු ශාක ලෙස සඳහන් කළ හැකියි. යම් ලෙසකින් ඔබේ ගෙවත්තේ මේ ශාක දක්නට ලැබෙන්නේ නම් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම වඩා වැදගත්ය.

 

උපදෙස් 
 ප්‍රවීණ උද්‍යාන නිර්මාණ ශිල්පී 
විසිතුරු මල් වගා උපදේශක 
දේශබන්ධු, කෘෂිවිද්‍යා ශූරී
මාබොදලේ රංජිත් කළුආරච්චි