රෙදි සෝදන්න ද යන්නේ එසේ නම් මේ කරුණු දැනගන්න

සැප්තැම්බර් 26, 2022

 

ගෘහිණියගේ වගකීම් ලැයිස්තුවේ ඉහළින්ම ලියැවෙන කරුණු අතර රෙදි සේදීම ප්‍රධානයි.

 

හොඳම රෙදි සේදීමක් සඳහා රෙදි සෝදන සබන්, කුඩු හෝ දියර වැනි රෙදි සේදීම සඳහා ම නිර්මාණය කර ඇති රෙදි සෝදන සේදුම් කාරක භාවිත කිරීම වැදගත් වේ.

රෙදි සෝදන යන්ත්‍රය නොදන්නා කෙනකුට සංකීර්ණ උපකරණයකි. ඒවා භාවිත කිරීම දුෂ්කර බව පෙනෙන්නට තිබුණත් නිවැරැදි ක්‍රමවේදන්ට අනුව භාවිත කිරීමෙන් ඔබටත් රෙදි සේදීමේ ප්‍රවීණයකු විය හැකියි.

ඒ සඳහා පහත කරුණු වෙත ඔබේ අවධානය යොමු විය යුතුයි

1 රෙදි සෝදන යන්ත්‍රයක් තෝරා ගැනීම

2 නිවැරදිව ස්ථාන ගත කිරීම

3 නිවැරදි භාවිතය හා නඩත්තුව

4 භාවිතයෙන් ඉවත් කිරීම

රෙදි සෝදන යන්ත්‍රයක් තෝරා ගැනීම

පිට රටකින් හෝ තෑගි වශයෙන් ලැබෙන යන්ත්‍රයක් භාවිත කිරීමේදී නම් ඔබට තෝරා ගැනීමේ අයිතියක් නොමැත.

එහෙත් රෙදි සෝදන යන්ත්‍රයක් නිවැරැදිව භාවිත කරන්නේ කෙසේද යන්න සහ සවි කරන්නේ කෙසේද යන්න නිෂ්පාදකගේ මාර්ගෝපදේශන පොතේ පෙන්වා ඇත.

ඔබේ සිතැඟි පරිදි යන්ත්‍රයක් තෝරා ගන්නේ නම්, ප්‍රධාන වශයෙන් දෛනිකව සේදීමට නියමිත රෙදි ප්‍රමාණය ගැන සිතා බැලිය යුතුයි. මෙය කිලෝවලින් කොපමණ තිබේ ද? ඒ අනුව ධාරිතාව (capacity) තෝරා ගත යුතුය.

යන්ත්‍රයේ ටැංකිය නැතහොත් ඩ්‍රම් එක, ටබ් එක, බෙරය, බැරලය ලෙස හඳුන්වන කොටසේ අල්ලන ජල ප්‍රමාණය හෙවත් ධාරිතාවය වැදගත් ය.

ඇල් ජලයෙන් සේදීමට අමතරව, උණු ජලයෙන් සේදීම, රෙදි සෝදන කුඩු හෝ දියර ස්වයංක්‍රීයව යෙදීම, වියැළීම, සුවඳ කාරක යෙදීම යන කරුණු ද සලකා බැලිය යුතුය.

මෙහිදී පූර්ණ ස්වංක්‍රීය සහ අර්ධ ස්වයංක්‍රීය වශයෙන් දෙවර්ගයක් ඇත. දොර තිබෙන්නේ ඉහළින් ද ඉදිරිපසින් ද යන වග තෝරා ගැනීමේ ද සලකා බැලිය යුතු යි.

 

විවිධ සේදුම් ක්‍රම සහ ඒ ඒ ක්‍රමවේදයන් සහ ඒ සඳහා ගත කරන කාල පරාසයන්, නි‍වෙසේ මේ සඳහා ප්‍රමාණවත් ඉඩකඩ තිබේ ද? භාවිත කරණ විදුලි ප්‍රමාණය කොපමණ ද?

යන මූලික කරුණු පිළිබඳ සලකා බැලිය යුතුයි.

නිවැරැදිව ස්ථාන ගත කිරීම

ඇසුරුමෙන් ඉවතට ගැනීමේදී සමහර අවස්ථාවල ප්‍රවාහනයේ දී සිදුවන ගැස්සීම් අවම කිරීමට අගුල් සහිත කොකු තිබෙන්නට ඉඩ ඇත.

ඒවා ගලවා ඉවත් කර මට්ටම් පොළොවක තැබීම වැදගත් ය.

නිවෙසේ කොතැනද තියන්නේ යන්න වැදගත් වෙන්නේ පහත හේතු නිසා ය.

 

ජලය ලබා ගන්නේ කෙසේ ද? ජලය, බැහැර කරන්නේ කෙසේ ද? විදුලිය ලබා ගන්නේ කෙසේ ද?

 

තෙතමනය අඩු තැනක් හා හොඳ ආලෝකයක් හා වාතාශ්‍රයක් ලැබෙන්නේ නම් වඩා වැදගත් වනු ඇත. තෙතමනය නිසා දිරා යාම් හා විදුලි පද්ධතියේ ඔක්සයිඩ තැන්පත් වීම නිසා දෝෂ ඇති වීම ඉක්මන් කරයි.

නිවැරැදි භාවිතය හා නඩත්තුව.

සාර්ථකව බොහෝ කාලයක් භාවිත කිරීම සඳහා රෙදි සෝදන යන්ත්‍රයේ මූලික කරුණු ඉගෙන ගැනීම වඩා වැදගත්ය.

රෙදි සෝදන යන්ත්‍රය මුල් වරට භාවිත කරන්නකුට ව්‍යාකූල බවක් දැනීම සාමාන්‍ය දෙයකි. රෙදි සෝදන යන්ත්‍රයන් විවිධ හැඩයන්, ප්‍රමාණ සහ වර්ගවලින් පැමිණෙන බැවින්, එක් එක් රෙදි සෝදන යන්ත්‍රය එහි සැලසුමේ වෙනස්කම් නිසා එකිනෙකට වෙනස් ලෙස භාවිත කළ යුතුය.

භාවිත නොකරණ සෑම අවස්ථාවකදීම විදුලි පේනුව (Plug point) විසන්ධි කර ගලවා තැබීම නිවැරැදි ජල පීඩනයක් ලබා දීම ඉතා වැදගත් ය. එසේ නොමැති නම් අනවශ්‍ය ලෙස කාලයත් විදුලියත් යන්ත්‍රයේ ආයු කාලය අඩු වීමත් වනු ඇත. ෙරදි ෙසා්දන යන්ත්‍රයක ජල පෙරහන් දෙකක් ඇත. ඒවා පිරිසුදු කිරීම නිරන්තරයෙන් කළ යුතුය. ජලය ඇතුළු වන නලයේ ජල පෙරණයෙන් මඩ හා රොඩු ඇතුළු වීම වළැක්වනු ඇත.

රෙදිවල ඇති කෙඳි හා දූවිලි රඳවා ගැනීමට ඇතුළත පෙරහන්කඩ එකක් හෝ කීපයක් ඇත. ඒවා ද නිරන්තරයෙන් පිරිසුදු කළ යුතුය. කාසි, බොත්තම්, කටු ආදී රෙදිවලින් ගිලිහී යන දෑ රැඳවීමට ද පෙරනයක් ජලය පිටවන නළයේ ඇත.

 

මෙම රඳවනය පිරිසිදු කිරීම නොකළහොත් ජලය පිට කිරීමට අවහිරතා ඇති වේ.

අලුත් රෙදි යොදන්නේ නම් වර්ණ දියවී යන්නේ ද බැලිය යුතුම යි. ඩෙනිම් වැනි රෙදිවල ‌‌‌බොහෝ කාලයක් වර්ණ දිය වී සායම ඉවත් වී යයි. ළදරුවන්ගේ රෙදි, රෝගීන් ගේ රෙදි, වැඩට අඳින රෙදි, ලෙස වෙන් වෙන් වශයෙන් ඔබේ කැමැත්ත අනුව තෝරා සෝදන්න. සේදුම් කුඩු තෝරා ගැනීමත් ඒවා නිවැරැදිව භාවිත කිරීමත් යන්ත්‍රයේත් රෙදිවලත් කල් පැවැත්මට හේතු වේ.

බොහෝ සේදුම් කුඩුවල මූලික සංඝටකය වී ඇත්තේ අලුහුණු ය. එය ඇස් වලට, සමට සහ ලෝහමය කොටස්වලට ඉතා අහිතකර වන්නේය.

ජලය සමඟ මිශ්‍ර වීමෙන් පසු මෙම ප්‍රතික්‍රියාව ඉතා වේගයෙන් සිදුවේ. බැහැර කරන ජලය නිසි පරිදි බැහැර කිරීමට සැලස් වීම ඉතා වැදගත් වන්නේ සෑමවිටම විස සහිත ජලය මෙයින් පිට වන නිසා.

 

භාවිතයෙන් ඉවත් කිරීම

ක්‍රියා විරහිත වූ රෙදි සෝදන යන්ත්‍ර බොහෝ නිවෙස්වල ඉඩකඩ අහුරණ හිසරදයක් වී ඇත. කිසියම් දෝෂයක් වෙතොත් හැකි ඉක්මනින් එය නිවැරැදි කරනවා විනා පසුවට කල් තැබීම මෝඩ කමකි. කල් ගත වීමෙන් පසු නැවත සකස් කළ නොහැකි මට්‌ටමේ දෝෂ ඇති‌ වේ. ඔබගේ පරණ රෙදි සෝදන යන්ත්‍රය අලුත් වැඩියා කළ නොහැකි නම් හැකි ඉක්මනින් එය ඉවත් කරන්න. එසේ නොමැති නම් සංකීර්ණ ගැටලු රැසකට එය හේතු වේ.