සොඳුරු වර්ණාවලියක් මවන සිසිල් සෙවණේ හැදෙන හැඩකාරි එපිසියා

ඔක්තෝබර් 31, 2022

 

විචිත්‍ර පත්‍රික ශාක සහිත මල් ලෝකයේ වඩාත් සොඳුරු ශාකයකි එපිසියා (Epishcia). එතරම්ම මිලාධික නොවන මේ අපූරු පැළෑටිය පහසුවෙන් නඩත්තු කළ හැකියි. ඒ නිසාම වැඩිදෙනකු තම අලංකාර මල් එකතුව සඳහා එපිසියා එක් කර ගැනීමට දෙවරක් නොසිතති.

 

මධ්‍යම සහ දකුණු අමෙරිකාව නිජබිම කරගත් එපිසියා අයත් වන්නේ ‘ග්ලොක්සීනියා (Gesneriaceae) විශේෂයටයි. සුදු, දම්, රතු, තැඹිලි, රෝස වැනි වර්ණ රැසකින් මෙහි මල් දැකිය හැකි අතර විවිධ වර්ණයේ පත්‍ර සහිත එපිසියා ද වේ. දිලිසෙන සුළු වෙල්වට් ස්වභාවයේ මේ පත්‍ර අතිශයින්ම දැකුම්කලුය. සශ්‍රීකව වැඩුණු එපිසියා ශාකයේ රිකිලි පිටතට ඇදී යන අතර ඒ නිසාම එල්ලෙන බඳුන්වල සිටුවා ගැනීමෙන් වැඩි අලංකාරයක් එකතු කරගත හැකියි. ඊට අමතරව තරමක් තද පෘෂ්ඨ මතද එනම් ගල්තලා, ලී කැබැලි මත ද මේ එපිසියා යායට වැඩෙනු ඇත.

 

සෙවණ

මේ ශාකය හොඳින් වැඩීමට නම් හිරු එළිය ඍජුව පතිතවීම අවශ්‍ය නොවේ. මන්ද එපිසියා යනු සෙවණ ප්‍රියකරන ශාකයකි. එබැවින් විශාල ශාක සෙවණේ හරි අපූරුවට මේ ශාකය වැවිය හැකි අතර සැමවිටම තද හිරු එළිය එක එල්ලයේ පතිත නොවන ආකාරයට සකසා ගන්න. මන්ද තද හිරුඑළියට එපිසියා ශාකය නිරාවරණය වීම නිසා අලංකාර පත්‍ර කහ පැහැගැන් වී මලානික වීමට ඉඩ තිබේ.

 

ජලය

දිනකට වරක් ජලය සැපයීම ප්‍රමාණවත්ය. වැඩි ආර්ද්‍රතාවක් සහිත පරිසරයේ හොඳින් වර්ධනය වේ. නමුත් ජලය පමණට වඩා සැපයූ විට කුණුවීමට ඉඩ ඇති බැවින් වැසි සහිත කාලගුණයේ දී වැඩි අවධානයක් යොමු කරන්නට අමතක කරන්න එපා.

 

ව්‍යාප්ත කිරීම

එපිසියා ශාකයෙන් පිටතට ඇදී යන දිගු අංකුර කතුරකින් කපා වෙන් කරන්න. මේ අංකුර ඔබට වෙනම බඳුන් තුළ සිටුවා ගත හැකියි. ඊට අමතරව එකම බඳුනේ මවු ශාකය වටා ද සිටුවා ගැනීමෙන් සරුසාර පඳුරක් බවට පත්කර ගත හැකියි. අංකුරවලට අමතරව එපිසියා ශාක පත්‍ර තරමක් ගැඹුරට පසට යට කිරීමෙන් ද මුල් අද්දවාගෙන පැළ ලබා ගත හැකියි.

 

වගා මාධ්‍යය

කොම්පෝස්ට් කොටස් තුනකට මතුපිට පස් කොටස් එකක් සහ වැලි කොටස් එකක් මිශ්‍ර කිරීමෙන් වගා මාධ්‍යය සකසා ගන්න. මෙහිදී තරමක් විශාල බඳුනක් තෝරා ගැනීමෙන් වඩාත් සුන්දර වගාවක් සකසා ගත හැකියි.

 

රෝග සහ හානි

පසෙහි තෙතමනය වැඩිවීම වාගේම ශාකයේ පඳුරු සහිත ස්වභාවය නිසා ඍජු හිරු එළිය නොවැටීම වැනි හේතු නිසා දිලීර වර්ධනයට වැඩි ඉඩකඩක් පවතී. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම තුළින් දිලීර හානිය වළක්වා ගත හැකියි.