නොනවතින වැස්සෙන් මල්වලටත් හානි වගාව රැකගන්න මෙන්න උපදෙස්...

නොවැම්බර් 7, 2022

 

ගහකොළ ප්‍රබෝධවත් කරමින් වහින වැස්ස පුදුමාකාර ලස්සනයි. ගහට, වැලට වාගේම අපේ සිත් තුළට අරගෙන එන්නෙ සුබදායි ආස්වාදයක්. හැබැයි දිගින් දිගටම පවතින නොනවතින වැසි සහිත කාලගුණයට කවුරුත් කැමැති නැහැ. එය හැමවිටම රැගෙන එන්නෙ අඳුරු හැඟීමක්.

ගහකොළවලටත් මේ හැඟීම ඒ විදිහටම බලපානවා. ඉඳහිට පතිත වන වැසි පොදයක් වාගෙ නෙවෙයි දිගින් දිගටම වහින වැස්ස මල් වගාවට අයහපත් ප්‍රතිඵල ළඟා කරවයි.

ඒ කොහොමද?

සුන්දරව පිපී සුවඳ හමන මල් වාගේම කොළ, අතු වැස්සට බර වී කඩා වැටීම

වගා මාධ්‍යයේ ඇති සාරවත් පස් කොටස් සේදී යාම

මාධ්‍යයේ ජල ප්‍රතිශතය අධික වීම

දිලීර වර්ධනය සහ පළිබෝධක හානි වැඩි වීම පරාග පෝෂණයට බාධා වීම

 

ශාක කඩා වැටීම

ගෙමිදුල හැඩ කරන ඔබේ සුන්දර මල් කැකුළියන් සහිත ඇතැම් ශාක ශක්තිමත් බවින් අඩුයි. ඒ නිසා දිගින් දිගටම පතිත වන වැසි ජලය මේ පත්‍ර සහ මල් මත රැඳී පැවතීම නිසා අතු සේම කඳ කැඩී බිඳී යාමට ඉඩ තිබේ. එබැවින් දින කිහිපයක් පුරා වැසි සහිත කාලගුණයක් පවතින විට එම ශාකවලට ආධාරක සපයන්නට අමතක කරන්න එපා. බඳුන්ගත ශාක නම් ආධාරක සිටුවා ශාකය එයට තබා ගැට ගසන්න. භූමියේ සිට වූ ශාක සඳහා අතරින් පතර ආධාරක සිටුවා කම්බි හෝ ලණු වැනි දෙයක් හරහට රඳවන්න. ඉතාමත් මෘදු කඳන් සහිත ශාක නම් වැසි නොවැටෙනා ස්ථානයක තාවකාලිකව රඳවන්න.

 

පොහොර සේදී යාම

නොනවතින වැසි හමුවේ ඔබ මුහුණ දෙන ඊළඟ ගැටලුව බවට පත් වන්නේ වගා මාධ්‍යයේ සාරවත් කොටස් සේදී යාමයි. ඊට අමතරව පිටත ඇති අපද්‍රව්‍ය පාත්ති තුළට ගලා ඒම ද සිදු විය හැකියි. එම නිසා තද වැසි වැටෙන කාලවකවානුවල දී මල් පාත්ති වටා වැටී දැමීම, වගා මාධ්‍යය එකවරම වැසි වතුරට නිරාවරණය නොවන ලෙස කොළ අතු ආදියෙන් වසුන් යෙදීම වැනි දෑ කළ හැකියි. බඳුන්ගත ශාක නම් තාවකාලිකව ආරක්ෂිත ස්ථානයක රඳවන්න.

එලෙස වගා මාධ්‍ය වර්ෂාවට ලක් වීම වළකාගත නොහැකි වූ විට වැසි සහිත කාලය පහව ගිය වහාම වගා මාධ්‍යයට කොම්පොස්ට් හෝ දිරාගිය කොළ රොඬු වැනි බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට නතු වූ ද්‍රව්‍යයක් මිශ්‍ර කරන්න.

 

ජලය රැඳී තිබීම

බඳුන් ගත වගා මාධ්‍යයේ මිශ්‍රණය හිර වී, තද වී තිබීම නිසා ඇතැම් විට ජලය රැඳී පැවතීමට ද ඉඩ තිබේ. එවැනි බඳුන්වල ජලය ගලා ගෙන යා හැකි පරිදි සුදුසු කාබනික ද්‍රව්‍ය මිශ්‍ර මාධ්‍යයක් මාරු කරන්න.

 

දිලීර ආසාදන

කෙසේ වෙතත් වගා මාධ්‍යයේ ජල ප්‍රතිශතය වැඩි වීමෙන් දිලීර ආසාදන ඇති වීමේ ඉඩකඩ වැඩිය. මූල පද්ධතිය තුවාල වූ ශාක කුණු වීමත්, අනෙකුත් ඒවා දිලීර ආසාදන නිසා මිය යාමත් සිදුවිය හැකියි. එමෙන්ම වැසි සමයට පළිබෝධ හානිය ද අනෙකුත් කාලයන්ට වඩා වැඩි වේ. එම නිසා මෙවැනි කාලයක මල් වගාව පිරිසුදුව පවත්වාගෙන යාමට වෙනදාට වැඩියෙන් තරමක් කාලය කැප කළ යුතුව ඇත.

 

පරාග පෝෂණයට බාධා

එමෙන්ම වැසි කාලය අධික වුවහොත් මල් පැළ සකස් කර ගැනීම නැතහොත් ශාක බෝ කර ගැනීමට ද බාධා ඇතිවිය හැකියි. එහිදී ස්වාභාවික පරාග පෝෂණය කිරීම සඳහා බලපෑම් ඇති වීම, පරාග පෝෂණය කිරීම සිදු කෙරෙන සතුන් ගේ පැමිණීම අඩුවීම මෙන්ම අලිංගික ප්‍රචාරණ ක්‍රමය නොහොත් වර්ධක ප්‍රචාරණ ක්‍රමවලට යොමුවීමට ඇති ඉඩකඩ අවම වීම වැනි දේ සිදුවිය හැකියි. එසේ නමුත් නිසි පරිදි අතු, ඉති, පැළ බෝ කිරීම සඳහා ප්‍රමිතියට සැකසූ ප්‍රොපග්‍රේටරයක් ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීම මෙවැනි කාලයක ඉතා ප්‍රයෝජනවත් වන බව සඳහන් කරමි.

 

 

ප්‍රවීණ උද්‍යාන අලංකරණ ශිල්පී ව්‍යාපාරික මල් වගා උපදේශක

දේශබන්දු මාබොදලේ රංජිත් කළුආරච්චි