නිවෙසට සිරිකත කැන්දන වොටර් ලිලී හරියට වවමු

දෙසැම්බර් 19, 2022

නිවෙස ඉදිරිපිට සැරසීමට මෙන්ම නිවෙස ඇතුළත අලංකරණය සඳහා එකලෙස යොදාගත හැකි ජලජ ශාක ඉතා පහසුවෙන් මැටි හෝ සිමෙන්ති බඳුන්ගතව වගා කර ගත හැකියි.වැටුණ කාලයක්. ඒත් ඉතිං තියෙන දේ රැකගෙන පවුලේ අයත් එක්ක ආදරණීයව ජීවත් වීම තමයි කළ යුත්තේ.

මල් කියන්නේ අපි හැමෝම ආස වගේම ආදරය කරන ව්ෂයයක්. මල් වවන්න කැමැති සියලු දෙනා වෙනුවෙන් බොහෝ වැදගත් කරුණු තරුණී හරහා නිබදවම සාකච්ඡා කරනු ලබනවා.

 

අපි අද සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ සෑම නිවෙසකම තිබිය යුතු මෙන්ම වෙනස්ම ආකාරයකින් නිවෙස අලංකරණය කරනු ලබන මල් විශේෂයක් පිළිබඳයි.

 

වෝටර් ප්ලාන්ට් එහෙමත් නැත්නම් ජලජ ශාක පිළිබඳ අප කොතෙකුත් අසා ඇතැත් ජලජ ශාක නිවැරැදිව වගා කරගන්නා ආකාරය පිළිබඳ අප දන්නා කරුණු අල්පයි. මේ සූදානම ජලජ ශාක ගැන බොහෝ දේ ඔබට කියා දීමටයි.

අද අප මේ විශේෂාංගය හරහා සාකච්ඡා කරනු ලබන්නේ ඉතා අලංකාර හරිත වර්ණ වෝටර් ලිලී වර්ගයේ ජලජ ශාක පිළිබඳවයි.

නිවෙස ඉදිරිපිට සැරසීමට මෙන්ම නිවෙස ඇතුළත අලංකරණය සඳහා එකලෙස යොදාගත හැකි ජලජ ශාක ඉතා පහසුවෙන් මැටි හෝ සිමෙන්ති බඳුන්ගතව වගා කර ගත හැකියි. Hardy water lilies සහ tropical water lilies යනුවෙන් දෙවර්ගයකි. සාමාන්‍ය ගෙමිදුලේ කුඩා බඳුන්්වල ට්‍රොපිකල් වෝටර් ලිලීස් ඉතා පහසුවෙන් වගා කර ගත හැකි වූවත් හාඩි වෝටර් ලිලීස් වගා කිරීම තරමක් දුෂ්කරය.

ලංකාවේ වගා කළ හැකි වෝටර් ලිලීස් අතරින් Tropic Sunset, Albert greenberg, White thammanoon, Carl's sunshine, Prow, Lindsey woods, Blue Spider, Pink Capensis, Yellow supun වර්ග අයත් ය.

මේ වෝටර් ලිලී වර්ග පැහැයෙන්, ප්‍රමාණයෙන්, පෙනුමෙන් එකිනෙකට වෙනස් වූවත් වගා කරන්නේ එකම ආකාරයකට වීම විශේෂත්වයයි.

 

වෝටර් ලිලී වගා කරන්නේ මෙහෙමයි

 

වෝටර් ලිලී යනු අලංකාරව පඳුරු ආකාරයෙන් වැඩෙන අලංකාර මල් සහිත ජලජ ශාක විශේෂයකි. නිවෙසෙහි සිරියාව වඩවන මෙම ලිලී කුලයට අයත් ශාක වගා කිරීමෙන් නිවෙසට සෞභාග්‍ය කැඳවන බව කියැවෙයි.

නෙළුම්, මානෙල්, ඕලු මෙම කුලයේ ශාක සඳහා සුලබ උදාහරණයකි. එබැවින් වෝටර් ලිලී වගා කිරීමේදී ගැඹුරු පැතැලි සිදුරු රහිත බඳුන් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

වගා කිරීමට සුදුසු මාධ්‍ය වෙල් පසයි. ගෙම්දුලේ සාමාන්‍ය පසට තෙත් කරගත් කොම්පෝස්ට් එක්කර ගැනීමෙන් වගා මාධ්‍ය සුදුසු මෙම වෙල් පස සකසා ගැනීමට හැකිය. නමුත් 100% ක් සාර්ථක අලංකාර මල් හට ගැනීම සඳහා වෙලකින් ලබා ගන්නා පස් යොදා ගැනීම යෝග්‍ය වේ.

 

බඳුන සකසා ගන්නා ආකාරය

පළමුව වෝටර් ලිලී පැළය විශාලව වර්ධනය කර ගත හැකි මැටි හෝ සිමෙන්ති බඳුනක් තෝරා ගන්න. ඉන්පසුව එය තැබීමට සුදුසු ස්ථානයක් සකසා ගන්න.

වෝටර් ලිලී සිටුවීමට ගන්නා බඳුනේ භාගයක් පිරෙන තරමට මේ වෙල් පුරවා ගන්න. ඉන්පසු ඔබ කැමැති වෝටර් ලිලී පැළයක් එහි සිටුවා ගන්න. වෝටර් ලිලී ජලයේ වැඩෙන ශාකයක් නිසා පැළයට හානි නොවන පරිදි බඳුනෙහි අඩකට වඩා පිරෙන ලෙස ජලය යොදන්න.

දැන් මේ පැළය සහිත බඳුන හිරු එළිය 85%ක් පමණ වැටෙන ස්ථානයක තබන්න.

 

පොහොර භාවිතය

 

ඕනෑම ශාකයක් ඉක්මනින් වැඩීමට නම් පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ. වෝටර් ලිලී සඳහා ද පොහොර යෙදීම තුළින් සාර්ථක මල් සහිත ශාකයක් ලබා ගැනීමට හැකි වේ. ඒ සඳහා සති දෙකකට වරක් නිල් කැට පොහොර එක් කිරීම යෝග්‍ය වේ.

 

කප්පාදුව

 

ශාකයක පැවැත්වීමට කප්පාදුව අත්‍යවශ්‍ය අංගයකි. නමුත් වෝටර් ලිලී කප්පාදුව ඉන් හාත්පසින් වෙනස් වේ. වෝටර් ලිලී කප්පාදුව ලෙස සිදු කරනු ලබන්නේ දුඹුරු සහ කහ පැහැ වී වියැළුණු කොළ වර්ග ඉවත් කිරීමයි.

 

මල් හට ගැනීම

 

ශාකය සිටුවා නඩත්තු කිරීමේ ක්‍රමවේදය අනූව මල් හට ගැනීමේ කාලය තීරණය වේ. ඉතාමත් හොඳින් නඩත්තු කරනු ලබන ශාකයක මාසයකින් පමණ මල් හට ගැනීම සිදුවේ. ඉන් පසුව මාසයකට කිහිපවරක් වෝටර් ලිලීවල මල් හට ගැනීම සිදු වේ.

 

ලෙඩ රෝග

 

වෝටර් ලිලී ශාක වගා කිරීමේදී ඇතිවන ප්‍රධාන රෝග කිහිපයකි. ඒ අතර මෘදු කුණුවීම සහ මලකඩ රෝගය ප්‍රධාන වශයෙන් ගත හැකිය. මෙම රෝග නිවාරණය කිරීම සඳහා දිලීර නාශක භාවිත කළ යුතුය.

 

නිවෙස ඉදිරිපස දොරටුව අසල වෝටර් ලිලී ශාකයක් තැබීමෙන් ඔබට ඉතාමත් අලංකාර දසුන් මවා ගත හැකිය. උදෑසන විකසිතවන මෙම මලට ඇදෙන මීමැස්සන් සමනලුන් මෙන්ම රොන් ගන්නා ජීවීන් ඔබේ ගෙවත්ත තවත් අලංකාර කරනු නියතය. වගා කිරීමට ඉතාමත් පහසු වෝටර් ලිලී පැළයක් ඔබත් නව වසරේ නිවෙස ඉදිරිපිට සකසා ගන්න. එමෙන්ම මෙම බඳුනෙහි විශාලව වැඩෙන වෝටර් ලිලී, මාළු ටැංකියකට හෝ සකසාගත් පොකුණක වවා ගැනීමෙන් ටවත් අලංක‍රයක් අත්විදීමට ඔබට හැකිවනු ඇත.

 

 

උපදෙස්

ජලජ ශාක පිළිබඳ පර්යේෂක

සඳරු දිසානායක

 

ඡායාරූප - ගයාන් පුෂ්පික